ලුසී වැන්ඩස්ට්‍රාටන් vs ලුවී වැන්ඩස්ට්‍රාටන්


වර්ෂ 1885 දී ලුසී වැන්ඩස්ට්‍රාටන් මෙනෙවිය ගාල්ල සවුත්ලන්ඩ්ස් විදුහල ආරම්භ කළාය. වසර 130 ක් තිස්සේ පවත්වාගෙන එන සවුත්ලන්ඩ්ස් හි ආදර්ශ පාඨය වන්නේ " ආදරයෙන් සහ එකිනෙකා කෙරෙහි යුතුකමින් රොද බැඳී ඇත" යන්නයි.
වර්ෂ 1995 දී ලුවී වැන්ඩස්ට්‍රාටන් "ඇගේ වෛරය" නිෂ්පාදනය කළේය. ඇගේ වෛරය කෙතරම් බංගසාල වී ද යත් එය කියා නිමකිරීමට වසර 5ක් තුළ දී චිත්‍රපට 4 ක් නිපදවීමට ලුවී ට සිදු විය.
ඇගේ වෛරය - 5 දැන් තිරගත වේ. ලුවී වැන්ඩස්ට්‍රාටන් ට පැත්තකට වී සිටින්නැයි කියා එය රඟ දක්වන්නේ ලුසී වැන්ඩස්ට්‍රාටන් ඇරඹූ පාසලේ ඇත්තියන් ය.
මව්වරුන් සහ ආදි සිසුවියන් යනුවෙන් හඳුන්වාගත් අසංවර ගැහැණුන් කණ්ඩායමක් වීදි බැස ප්‍රකට කළේ තමා සවුත්ලන්ඩ් විදුහලෙන් උගත් දෑය. ආදරයෙන් සහ එකිනෙකා කෙරෙහි යුතුකමින් රොද බැඳී ඇති බව අසංවර නොහික්මුණු සවුත්ලන්ඩ්ස් ගැහැණු රොත්ත සනාථ කළේ , තනි යුවතියකට වටකර පහර දීමෙනි.
සවුත්ලන්ඩ්ස් හි විදුහල්පතිය කර්නල් ශාන්ති සෙනවිරත්න "ඇගේ වෛරය" රඟ දක්වන්නේ විදුහල්පති කාර්යාලයේ සිටය. ස්ථාන මාරුවක් ලැබී තිබියදී තම අනුප්‍රාප්තිකයාට වැඩ භාර ගන්නට ඉඩ නොදෙන ඇගේ වෛරය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දක්වා පැතිර ඇත.
ලුසී වැන්ඩස්ට්‍රාටන් හැදුවේ සවුත්ලන්ඩ්ස් විදුහලය. එහි උගන්වන්නේ ලුවී වැන්ඩස්ට්‍රාටන් හැදූ ඇගේ වෛරය ය.


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment