ඉක්බිති කඳුකරය දෝංකාර දුනි : කරදහි ගහක් යට හමුවන දුක



කඳුකරය පමණක් දෝංකාර දී නවතිනවා නම් කම් නැත. ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද විසින් සිංහලයට නගන ඛාලීඩ් හොසේනිගේ තෙවැනි නවකථාව “And The Mountains Echoed - ඉක්බිති කඳුකරය දෝංකාර දුනි” පෙරළා බලන පාඨක සහෘදයා ගේ හදවතින් පටන් ගන්නා දෝංකාරය ආදරය , වියෝව , අහිමි වීම් , පසුතැවීම් සහ දෙගිඩියාව යනාදී නොයෙක් මනුෂ්‍ය හැඟීම් දෙදරුම් කවමින් දෝංකාර කරන්නේ අවසන කඳුළු කෙවෙණි ද කළඹන්නට සමත් වේ. එය ඇෆ්ගනිස්ථානයේ බිම්ගත උරුමයක කථාවක්යැයි වරදවා නොසිතන්න. පාකිස්ථාන සරණාගතයින්ගේ කඳුළු කථාවක්යැයි වරදවා නොසිතන්න. තලේබාන් මිලිටරි ජුන්ටාව කෙරෙහි වෛරී කථාවක්යැයි වරදවා නොසිතන්න. සැබැවින්ම එය විප්‍රවාසගත ආදරයක, මතකයක හද පාරවන කතාවයි. සියක් වසක් නිදා සිටියද , ඇස් විවර කළ සැණින් පළමුව සිහියට නැගෙන, දැනෙන අහිමි වීමක , හුදකලාවක හද පාරවන කතාවයි. පිටු 496 ක් කියවා අවසන් වන්නට මත්තෙන් , මෙතුවක් නොදැන සිටියාට දෝංකාර දෙන කඳුකරය පිහිටා තිබී ඇත්තේ ඔබේ හදවතේ අතිශය සංවේදී තැනක බව ඔබට පසක් වනු බව නිසැකය.

“ සිය පියසි මත දිදුලන සඳවල්වත්
  සිය පවුරු පිටුපස සැඟවුණු මනරම් හිරු දහසවත් 
  ගණන් කරන්නට කෙනෙකුට නොහැකිය ”

දහ හත්වැනි සියවසේ දී සයිබ්-ඉ-තබ්රිසි විසින් එලෙස උත්කර්ෂයට නැගූ , ඛාලීඩ් හොසේනි මනරම් හිරු දහසක් හි දී යළිත් සිහියට කැඳවූ කාබුල් පුරවරය මේ කථාවට නවාතැන් සපයයි එය වෙනදාක් මෙන්ම විස්මයජනක ලෙස අනුබද්ධ වී ඇති ඇෆ්ගන් සහ ෆාර්සි ජන කතා , පුරාවෘත්ත වලින් අලංකෘත බව සිහිපත් කළ යුතු මනාය. අතීත ප්‍රෞඩත්වය කවියට සහ පොතපතට සීමා වූ සාපලත් පුරවරයක වෙසෙන මේ මිනිස් සමූහයා ගමන් ගන්නේ එකකට එකක් වෙනස් මං මාවත් වල වුවද , ඔවුන් සොයා යන්නේ එකම දෙයක් බව කිසිවෙකු හෝ වටහා ගන්නට සමත් වීද ? අබ්දුල්ලා සහ පාරි එක් කොණකත් මසූමා සහ පර්වානා තවත් කොණකත් දේවතා එළි සේ දෑස් දල්වා බලා සිටියද සබූර් ගේ ජීවිතය ට කිසි දිනෙක හෝ ආලෝකය උදා නොවීය. සුලෙයිමාන් ගේ හදවත නිහඬ ප්‍රේමයක් වෙනුවෙන් දසක ගණනක් තිස්සේ දිවා රෑ නොබලා වෙහෙසෙයි. තමා අබියස ප්‍රේමණීය හදවතක් නැවතී සිටින බව නොදත් නබී වෙනත් හදවතක් පසුපස හඹායයි. නමුත් නබී ගේ සිත්ගත්තිය තවත් ඉසවුවක් අත් කර ගැනීමේ අදිටනින් සියල්ල හැර දා පලා යන්නීය.එක් නිමේෂයකින් ජීවිත මිටියාවතේ කෙළවරටම ගොස් මරණයේ මිහිර ද වටහා ගත් නමුත් ජීවිත සටන අත් නොහරින රෝෂි ද තාලියා ද පිළිණ සහ ඉටු කිරීම් අතර දෝලනය වන සහ තිමූර් සහ ඉඩ්රිස් ගේ හෘද සාක්ෂිය ද අමතක කළ නොහැකිය. නමුත් මේ සියලුම දුක් සංතාපයන් මැද ඔවුහු කතාන්දර කීමට ද ගී ගැයීමට ද අමතක නොකළෝය.

“ කරදහි ගහක් යට හෙවණේදී 
   දුක්බර පුංචි සුරංගනාවියක් මට හමු වූවා
   එක දවසක් රෑ හුළගේ ගසා ගිය 
   දුක්බර පුංචි සුරංගනාවියක් මං අඳුනනවා  ”

සැබැවින්ම අබ්දුල්ලාට ජීවිතයේ තවත් වරකදී ඒ පුංචි සුරංගනාවිය මුණ ගැසිණි. නමුත් ඒ වන විට බොහෝ ප්‍රමාදය. පාරි ද ජීවිතයේ තවත් වතාවක් ඒ පුංචි සුරංගනාවිය හඳුනා ගන්නා නමුත් ඒ වන විට බොහෝ ප්‍රමාදය. ජීවිතයෙන් ඉල්ලා සිටි බොහෝ දෑ ඔවුන්ට ලැබෙද්දී ප්‍රමාදයේ වේදනාවද ඒ සමග නොමිලයේ ලැබිණ. එය ඔවුන්ගේ දෛවයයි. කඳුකරය දෝංකාර දෙන්නේ මේ මිනිස් සමූහයාගේ දෛවය දරාගත නොහැකි නිසා යැයි ඛාලීඩ් පවසයි.

“ මගේ පුංචි වයස මාව ආරක්ෂා කරපු නිසා මං වාසනාවන්ත වුණා. Je pouvais oublier. මට අමතක කරන්න පුළුවන්කම ලැබුණා. එයාට එහෙම අමතක කරන්න පුළුවන් වුණේ නැහැ ” ඒ පශ්චාත්තාපයක කඳුළුය. එම කඳුළු උනන්නේ ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද ගේ අකුරිනි. 

සරුංගල් ලුහුබඳින්නා” සහ “මනරම් හිරු දහසක්” තුළින් ඛාලීඩ් හොසේනි ව මැනවින් වටහාගෙන සිටි ගංගා කඳුකරය දෝංකාර දුන්නද නොසැලී තම හැකියාව ප්‍රකට කරන්නීය. ඔබ ඇයව හදාරන්නේ නම් ඇගේ පරිවර්තන හැකියාවේ අසීමිත වපසරිය සහ අකුරු තුළට හැඟුම් එබ්බවීමේ ඇස්බැන්දුම හඳුනාගත යුතුමය. ඇය සරුංගල් ලුහුබඳින්නා හි ආමීර් සහ හසන් ගැන පවසන ආකාරයත් මනරම් හිරු දහසක් හි මාරියම් සහ ලයිලා ගැන පවසන ආකාරයත් එකිනෙකට හාත්පසින්ම වෙනස්ය. එනමුදු අතිශය සිත්ගන්නා සුළුය. කියවන්නා කම්පනයට පත් කරවන සුළුය. සදාදර රෝසී හි රෝසී ගේ සහ ඇලෙක්ස් ගේ පෙම් ගැටුම් , ආදර කුණාටු ඒ සියල්ලටම වඩා වෙනස් ආරකින් පවසන ගංගා , ටීටා සහ පෙද්රෝ ගේ ප්‍රේමය , කඳුල සහ නුරාව රැගත් “ ලූණු සහ කඳුළු” තුළ පාටකයාට ගෙන දෙන ආනන්දය ඇති මහත්ය. ක්‍රිස්ටීහි කඳුකර පරිසරයේ දිවිගෙවන ගංගා අතිශය ග්‍රාම්‍ය සහ හීලෑ නැති කඳුකර වැසියෙක් ලෙස අප හමුවට එන නමුත් තැනිතලාවක පිහිටි කුඩා නිවසෙන් ඇරඹෙන කුඩා නිවස කතා මාලාව තුළ ජීවත් වන ගංගා ගොවි පවුලක මිහිරියාව රැගත් කෙලිලොල් දැරියකි. ඇය නිරන්තරව සතුටින් සහ කුහුලින් පසුවන්නීය. නමුත් මුතු කරාබුව පැළඳි යුවතිය හෙවත් ග්‍රීට් ඇසුරු කරන ගංගා තරමක නොහික්මුණුකම් , දඩබ්බරකම් කරන්නට පෙළඹෙන්නී මස් කඩයක කොලුවෙක් සමග පටු මාවත්හි ආලිංගනයේ ද යෙදී ඇත. එසේ බැවින් මා ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද වටහා ගැනීමේ උත්සාහය නවතා දැමුවෙමි. ඇයට ස්ථිර හදවතක් හෝ එක වචනයක් නැත. සැණින් ඕනෑම බඳුනක හැඩය ගන්නට සමත් පිරිසිදු ජල ධාරාවක් බඳු ඇගේ පරිවර්තන හැකියාවෙන් මෝහනය වී සිටින්නට පමණක් තීරණය කළෙමි.

එසේ නුමුදු ගංගා මුල් කෘතියට කිසි ලෙසකත් නොදෙවෙනි ලෙසින් මා පාරමින් සිටින්නීය. ඇගේ සිංහල අකුරු තුළින් හඳුනාගන්නා චරිත ඔස්සේ ඈ මට සිදු කරන බලපෑම වදනින් මිණිය නොහැකිය. එය විටෙක හෙණ පහරකි. විටෙක ආලෝක පුංජයකි. මා ඇස් පොතින් මෑත් කරන්නේ ඇය කැටි කරන වදන් තුළ සැඟවී ඇති වේදනාව දරා ගත නොහැකි වූ විටෙක පමණි. සුලෙයිමාන් වාහ්දතී ටත්, නබී ටත් , නීලා වාහ්දතී ටත් දැනුණු ඒ සිතිවිලි මට දැනෙන්නේ කෙසේදැයි තවමත් වටහාගත නොහී පසුවෙමි.

“ඒ ඔයා තමයි නබී - හැමදාමත් ඔයා තමයි.ඔයා ඒක දැනගෙන හිටියේ නැද්ද? ” කම්පනය ............. එය ඔබ හුනස්නින් නැගිටුවන තරම් විශාලය

කොළඹ සිට පොල්ගහවෙල බලා දිවෙන , දහසක් ගැවසෙන දුම්රියක් තුළ පොතක් කියවමින් හුන් අයෙක් මදකට පොත වසා ඉසිඹුවක් ගන්නේය. හොරැහින් අවට බලන ඔහු කිසිවක් සිදු නොවුවාක් මෙන් දෑස් අග පිස දමන්නේය.

ඉක්බිති කඳුකරය දෝංකාර දුනි
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. මාත් කියෙව්වා ඒකයි සරුංගල් ලුහු බඳින්නයි මනරම් හිරු දහසකුයි...අවසානයේ කඳළු පිහ ගන්න වුනා..ඒ පොත් 3ම මගේ ආත්මය ස්පර්ෂ කලා

    ReplyDelete