නිලි වැස්ස : සම්ප්‍රදායික වපසරිය අතික්‍රමණය කළ ගැහැණිය


පරිවර්තනයට ලැදි කත්‍යානා, හා හාපුරා කියා ඓතිහාසික නවකතාවක් සමග කල එළි බසින්නට සූදානම් ඇතැයි සිතුවෙමි. අතීතයේ සිටම අපි රාජ කතා - චෝර කතා නැවත නැවත අසන්නටත් , ඒවා රස විඳින්නටත් රුසියන් වන්නෙමු. ඔබ බලාපොරොත්තු වන්නේ රාජාවලියේ එක් පදාසයක් උත්කර්ෂයට නැගීමක් හෝ පිළුණු වූ ඉතිහාසගත පෙම් පුවතකට සේලයින් ලබා දීමක් නම් මේ ඔබට ඇවැසි පොත නොවන බව පැවසිය යුතුම වේ. නවකථාවක් තුළින් ගැඹුරු ඉතිහාසයක් හැදෑරීමේ අවශ්‍යතාවයක් නොමැති නිසා දෝ "නිලි වැස්ස " හරහා චිත්‍රණය වන කාල සීමාව පිළිබඳව සෑහීමකට පත් වන්නෙමි. චරිත ගොඩ නැගෙන ආකාරයත් , ඒවායේ ගති ලක්ෂණත් බොහෝ සෙයින් සජීවි ය. පරිවර්තනයක දී පවා පාඨකයාගේ අර්ථ රසයට හානිකර නොවන ආකාරයෙන් සජීවි බව රැක ගන්නට සමත් කත්‍යානාගේ ස්වතන්ත්‍ර පරිකල්පනය ද පැසසිය යුතු වේ. සාමාන්‍ය මිනිස් ගති පැවතුම් ඉක්මවා ගිය , නිරන්තරවම පාණ්ඩිත්‍ය මුසු වදන්ම තෙපලන චරිත වෙනුවට ඔබ - මා මහපොළොව මත දකින , අසන , සැබෑ මිනිසුන් "නිලි වැස්ස" තුළින් දකිනු හැකි වේ. කොටින්ම කිවතොත් හිසරදයකින් තොරව සිහියේ තබා ගත හැකි මිනිසුන් "නිලි වැස්සේ" උරුමකරුවන් වේ.

රන් මැණිකා ගේ යුගයේ දී පවා නිවෙස් වල "කරණීයමෙත්ත සූත්‍රය " කියවුවේද යන්න ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රශ්න කරන ලදි. මගේ මතකය නිවැරදි නම් පොතේ තවත් තැනෙක "තුන් සූත්‍රය" පිළිබඳව ද එයාකාරයෙන්ම සටහනක් වේ. නිර්මාල් මහතා ගොඩ නගන්නේ සාධාරණ තර්කයකි. අද සිනමාවට නැගෙන සමහර රාජ කතා වල දෙවන පෑතිස් රජු රබර් වතු මැදින් අසු මෙහෙයවන කල්හි නිර්මාණකරුවන් ඉතිහාසය පිළිබඳ ගැඹුරින් හැදෑරිය යුතු බවට උසාවි නියෝගයක් ගෙන ආ යුතු මට්ටමක් උදා වී ඇත. නමුත් මා දකින්නේ කරණීය මෙත්ත සූත්‍රය යනු "නිලි වැස්ස" අරභයා නැගෙන චූල සාධකයක් පමණක් බවයි.අනෙක් අතට නිර්මාල් මහතා පැවසූ පරිද්දෙන්ම එය එසේ නොවුණා යැයි කීමට ද සාධක නැත. නමුත් කත්‍යානා දුටු රජවරුන් සහ ප්‍රියම්බිකාවන් අපේ පරම්පරාවට කුඩා කළ සිට වධ දුන් ගැටළු වලට සාර්ථක පිළිතුරු රැගෙන පැමිණ සිටිති. අප කුඩා කළ සිටම සිනමාවේ , නවකථාවේ සහ පුංචි තිරයේ ඓතිහාසික තේමාවන් රැගත් නිර්මාණ වල දුටු රජවරුන් අතිශය යාන්ත්‍රිකය. ඔවුහු සිංහාසනයේ දී පමණක් නොව නිදි ඇඳේදී පවා ගරු ගාම්භීර රජවරුමය. හිස ගසා දමන්නට අණ දෙන්නේත් , ප්‍රේමය පළ කරන්නේත් , පිටුවහල් කරන්නේත් , හාදුවක් ඉල්ලන්නේත් එකම රාජකීය ස්වරයෙනි. අඳෝමැයි ! ඔවුන්ගේ ප්‍රියම්බිකාවන් ද ඔවුනට කිසි ලෙසකින් හෝ දෙවැනි නොවේ.රූපා ඉන්දුමතී ගේ 'ප්‍රිය හිමියනි මා හදවත කුසුමෙ රොන් හිමි" ගීතයේ රූප රාමුවකට ඔබින ආකාරයට ගෞරවාන්විතව ප්‍රේමය පල කරන ඔවුන් නිරන්තරවම ස්වාමි භක්තියෙන් ඔද වැඩී සිටිති. ස්වාමියාගේ දෙපා මුළ වැතිරී සිය ජීවිතයම ඔහුට භාර කරති. මේ රජවරුන් සහ ප්‍රියම්බිකාවන් රාජ සභාවටත්, රාජකීය උද්‍යානයටත් , සිරි යහන් ගබඩාවටත් එකමාකාරයෙන් කසී සළු කච්චි ගණනක් ද, හෙට්ටිවීදිය පිරෙන්නට රන් රිදී අභරණ ද හැඳ පැළඳ සිටින්නෝය. නමුත් කත්‍යානා ගේ "නිලි වැස්සේ" රජු හෝ රන්මැණිකා ගත කරන්නේ එතරම් නාට්‍යානුකූල ජීවිත නොවේ. නන්නාඳුනන අසරුවෙකු ලෙස වෙස්වළාගත් රජු, ගැමි කෙල්ලකගේ නෙත්සැරයට ආසක්ත වෙයි. පසුකාලීනව ඇයට රාජ සැප සම්පත් ලබා දුන්න ද චාරිත්‍රානුකූල රාජකීය සළු පිළි අතර දිය වී යන රන්මැණිකාගේ ස්වභාවික සුන්දරත්වය පිළිබඳව ලොබ බඳින රජු ඇයට තම පෞද්ගලික හමුවීම් වල දී චාම් ලෙස සැරසීමට අණ කර සිටී. රාජ සභාවේදී පොළෝ මත වැතිර නළලත අත් තබා වැඳ කතා කරන රන් මැණිකාට පෞද්ගලික තෙපුල් - පෙම් රැඟුම් වලදී පෙර මෙන් සැහැල්ලුවෙන් සහ නිදහසින් කතා කරන්නැයි ඔහු නියෝග දේ. රාජකීය හදවත් තුළ උපදින ප්‍රේමය පවා රාජකීය මට්ටමින් ප්‍රකාශ කළ යුතුය යන මතයේ ඇලීගැලී සිටින නිර්මාණකරුවන්ට කත්‍යානා ලබා දෙන්නේ අගනා පූර්වාදර්ශයකි. යසලාලකතිස්ස රජු පවා සුභ නම් වූ දොරටුපාලයෙක් සමග හිස ගසා දැමෙන විහිළු වල යෙදුණේ නම් ප්‍රේමය ඉදිරියේ ස්වභාවික මිනිසෙකු ලෙස හැසිරෙන්නට කිරීටයෙන් කවර නම් බාධාවක් ද ?
රජු කෙරෙන් ගැබ් නොගන්නා , මුල් වකවානුවේදී ශාරීරිකව රජුව ප්‍රතික්ෂේප කරන රන්මැණිකා ලන්දේසි ජාතිකයෙක් අතින් ක්ෂණිකව ගැබ් ගැනීම ද සභාව තුළදී විමසීමට බඳුන් වූ කරුණකි. නමුත් "නිලි වැස්ස" තුළ එම සිදුවීම කෙරේ මනා ප්‍රවේශයක් ඉදි කර ඇති බව අමතක කළ යුතු නොවේ. රන් මැණිකා ගේ නෙත් සිත් පැහැරගත් , කවරෙක්ද කොහේ සිටින්නෙක්දැයි නොදන්නා විදේශිකයා පිළිබඳව ඇය නන්නාඳුනන අසරුවා සමග මුල් දිනයේ දීම පවසනු ලබන්නීය.ඒ ඇයගේ ප්‍රේමයේ පළමු අංකුරයයි. වසර ගණනකට පසුව ද අසරුවා , එනම් මහ රජු එය සිහියේ තබාගෙන රන්මැණිකා ගේ සිතේ ඔහු කෙරේ තවමත් ආලයක් තිබේ දැයි විමසන්නේය. එයින් පැවසෙන්නේ රජු ද ඇගේ සිත කියවීමට සමත් වූ බවය. එමෙන්ම නිවසේ වසනු නොහැකි මට්ටමට කරුණු යෙදුණු තැන තමා පලා ආවේ නිකම්ම නිකම් අසරුවෙක් සමග නොව දෙවන රාසිං රජු සමග බව දැන ගන්නා රන් මැණිකා සතුටු වනු වෙනුවට විස්සෝප වන්නීය. ඇයට ඔහුගේ රාජකීයත්වයෙන් පලක් නැත. ඇයට අවශ්‍ය වන්නේ රජෙකුගේ අන්ත:පුරයේ එක බිසවක වීමට නොව තම සිතෙහි ඇඳී සිටින මිනිසා සමග සතුටින් හෙට දවස ගත කිරීමටය. එවන් පසු බිමක රජු කෙරෙන් ගැබ් නොගන්නා ඇය වසර ගණනාවකට පසු අහඹු ලෙස අමුතු පරිසරයක දී මුණගැසෙන තම සිහින කුමරා , එනම් ලංදේසි ජාතිකයා සමග ප්‍රේමාතුරව ගැබ් ගැනීම සැකයට හේතුවක් නොවන්නේය. "නිලි වැස්සේ " රන් මැණිකා කූටප්‍රාප්තියට ළඟා වන්නේ එම සිදුවීමෙන් බව විශ්වාස කරමි. ලෝකය තුළ එවැනි අපූර්ව වූ ප්‍රේම කතා බොහෝය. අපූර්ව පෙම් සිතිවිලි බොහෝය. නමුත් අභාග්‍යයකට මෙන් බොහෝ දෙනෙකු එවැනි සම්ප්‍රදායෙන් නිවහල් වූ ප්‍රේම කතා අරඹා , අනතුරුව එම ප්‍රේම කතා අතිශය සාමාන්‍ය සහ සාම්ප්‍රදායික අයුරින් නිම කිරීමට යුහුසුළු වෙති. "නිලි වැස්සේ" රන්මැණිකා ගේ වෙනස වන්නේ ඇයට තම ප්‍රේමය හෝ ප්‍රේමණීය හැඟුම් ලෝකයාට වුවමනා ලෙස හැසිරවීමට නුවුවමනා වීමය. ඇය පතන නිදහස් ප්‍රේමය නිරීක්ෂණය කරන ඔබට කුසුම් පීරිස් ලියා යමුනා විනෝදනී ගයන මේ මනරම් ගී පද මතකද ?

  අසුරු සැණින් එක මොහොතකදී 

  කාලය නැවතී යලි ඇරඹී
  විශ්වය අලුතින් බිහි වේවා
  ඔබේම වී මා මගේම වී ඔබ
  අපේම වී අප ඉපදේවා
එහි ප්‍රේමය පිළිබඳව සහ අන්‍යොන්‍ය ආකර්ශණය කෙරෙහි පවසන්නට ඇති සෑම දෙයක්ම ගැබ් ව තිබේ. තම සිතැඟි උදෙසා පෙම්වත් සිත්හි පවතින අපරිම්ත බව සහ අසීමිත බව මැනවින් පහදවන සුලුය. වෙනකක් තබා එතැන ඇත්තේ විෂම ලිංගික ප්‍රේමය නොව සමරිසි බැඳීමක් වුවද එය පවා අතිශය හැඟුම්බර සහ සාධාරණ ලෙස උත්කර්ෂයට නගන්නට රචිකාව සමත් වේ. නමුත් ස්ථායි කොටසේ දී එවන් වූ නිර්භීත ප්‍රේමයක් වෙනුවෙන් ප්‍රාර්ථනා පුරන කුසුම් පීරිස් අන්තරා කොටස් වලදී දියාරු වූ හැඟුම් වලටත් ගතානුගතික කෝවකටත් හසු වන අයුරු දකින්න.
  යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
  ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
  මතු යම් දවසක හැකි වේවා
  ඔබේම වී මා මගේම වී ඔබ
  අපේම වී අප ඉපදේවා

  සෙනෙහෙ විමානේ කිරුල දරන දා
  සිඟිති තොලක කිරි හිනා දකින්නට
  එක සෙවණකදී හමුවේවා
  ඔබේම වී මා මගේම වී ඔබ
  අපේම වී අප ඉපදේවා


එතැන තවදුරටත් මනෝරම්‍ය වූ ප්‍රේමයක් හෝ අසීමිත චින්තන නිදහසක් නැත. එතන තවදුරටත් නිදහස් සිත් ඇති කුසුම් පීරිස් නැත. ඇත්තේ විවාහ වී - දරුවන් හදා ප්‍රේමයේ බුක්තිය සහ අයිතිවාසිකම පිළිබඳව සීමා මායිම් පළ කරන පෘථග්ජන ජීවිත කිහිපයක් පමණි. කාලය නැවතෙන්නට , යළි ඇරඹෙන්නට , විශ්වය අලුතින් බිහි වන්නට පතා ඇත්තේ සාම්ප්‍රදායික ගමන පිණිසමය. එය බොහෝ කාන්තාවන්ගේ ප්‍රේම කතාවල සුලබ ලක්ෂණයකි. නමුත් "නිලි වැස්සේ" රන් මැණිකා සිටින්නේ කුසුම් පීරිස් ට ගවු ගණනක් ඉදිරියෙනි. ඇය දකින ලෝකය දෑස් වසාගෙන අත දිගු කරන සැණින් හසු වන්නක් නොවේ. රාසිං රජුගේ යකඩ දෝලියක වීමෙන් හෝ රාසිං රජුට දාව දියණියක වැදීමෙන් ඇය ගේ සිහිනයට පණ ලැබෙන්නේ නැත. තම සිත් ගත් විදේශිකයා කෙරෙහි ප්‍රේමයෙන් බැඳෙද්දී , ඔහුගෙන් පිළිසිඳ ගත් දරුවා ගැන සෙනේ වැඩෙද්දී ඇයට රාජ කෝපය පිළිබඳව සිතන්නට හෝ ලෝකයා පිලිබඳ තැවෙන්නට ඉසිඹු නැත. ඇය කිසි විටෙකත් එසේ වද නොවන බව රාජසිංහ රජු පවා දැන සිටින්නට ඇත.
දැන් එළඹෙන්නේ "නිලි වැස්සේ" අවසාන භාගයයි. තමා දෙවැනි කොට නොරැටියෙක් කෙරේ වසඟ වූ රන්මැණිකා ඔහුටම භාර දී සියල්ලෝම සතුටින් විසිර යාම කෙරේ කපිල එම් ගමගේ මහතා විමතිය පල කළේය. " රජවරු එහෙමම කරයි ද ?" නමුත් කත්‍යානාගේ පොතේ එන රාජසිංහ රජු ට එසේ කරන්නට බොහෝ හේතු ඇත. ස්ත්‍රීන් විෂයයෙහි ඇලී ගැලී නොසිටින බව පවසන රජු ඔවුන් සමග අතිශය හැඟුම්බර සබඳතා පැවැත්වීමේ රුසියෙකි. ඔහු තම සිත් ගත් ළඳුන් තම ඇසිදිසි මානයේ, තමා වෙනුවෙන් ගැවසෙනු දකින්නට රිසි නමුත් ඔහුගේ ප්‍රේමයට සීමාවක් මායිමක් නොමැත. නිරන්තරවම එහි හිමිකාරියන් ගේ ගණන විචල්‍ය වේ.එහෙත් තමා සමග සිටින ළඳක් අන් හිමියෙක් ගේ ඇසුර රහසින් හෝ පතනු දකින්නට අකැමති ඔහු නිසැකවම සාම්ප්‍රදායික පුරුෂ ප්‍රාණියෙකි. යකඩ දෝලියක් ලෙස අප්‍රකටව කටයුතු කරන රන්මැණිකා විදේශිකයෙක් සමග හාද වීම පිළිබඳව එළිපිට උරණ වීම රජුට කිසි ලෙසකින් හෝ සිදු කළ නොහැක්කේ එමගින් ඔහුගේ ෆයිල් බොහෝමයක් එළියට ඇදෙන්නට ඉඩ ඇති බැවිනි. අනෙක් අතින් ද ඔහු පැරදී අවසානය. රස ආහර කවලා රන් කූඩුවේ දමලා ඇති කරන්න්න ගත්තු රන් මැණිකා ,සිංහලයේ මහරජු වෙතින් නොව පරදේශක්කාරයෙකු වෙති ගැබ් ගෙන ඇත. තවතවත් ඒ පිළිබඳව කෝප වී තම පුරුෂෝත්තමභාවය පිළිබඳව අන් අයගේ අවධානය යොමු කරනු වෙනුවට ඔහු එළඹෙන්නේ ඕනෑම පිරිමියෙකු ගන්නා උපාය මාර්ගය වෙතය. "නිලි වැස්සේ" රාජසිංහ රජු රන් මැණිකාට පවසන්නේ "දළ රළ පෙළේ" ජිරහාස් විජේවර්ධන තම මෙහෙකාරිය පබාවතීට පැවසූ වදන්මය. ඒ,අන් හිමියෙකු සරණ පැතූ පසු තව දුරටත් තම දෑසට පෙනෙන්නට සිටිය නොයුතු බවය. රන්මැණිකා නම් වූ සාම්ප්‍රාදාය නොඉවසූ ගැහැණිය ඉදිරියේ දී රාජසිංහ රජු සාම්ප්‍රදායික පිරිමියෙක් පමණක් බවට පත් වන්නේ එතැනදීය. එලෙසින්ය.
එම සිතිවිල්ල අමතක කරන්න. අනෙක් අතින් බලන කල ඇට මස් නහරයන් ගෙන් සැදුම් ලත් රජෙක් තුළ ද සාමාන්‍ය මිනිසෙක් තුළ මෙන් උපේක්ෂා සහගත සිතිවිලි පහළ වීමට ඉඩ නැති ද ? රාජ අණ සහ නියෝගයන්ට පරිබාහිරව ඔවුන් ට මෘදු මොළොක් හැඟීම ඇති නොවන්නට හේතුවක් තිබේද ? මොහොතක් සිතන්න. ගැමි කෙල්ලක් කෙරේ අච්චර ප්‍රේමාතුර වූ රජෙකුට , මෙවැනි සිතිවිල්ලක් නිකමට හෝ පහල වීම පාරාජිකාවක් වන්නේ ද ?
  සිටිනා කොදෙවුවක නුඹ සැප විඳි නම්
  මවෙතින් ලැබුණ ආදරයත් ලැබේ නම්
  මතකය නුඹට හිරි හැරයක් නොවේ නම්
  තව කුමකටද දුක් ගී කල්පනාවන්..
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment