පුංකුඩුතිව් හි විත්‍යා ද අද වන විට අතීතයට එක් වී අවසන්ය. දහ අට හැවිරිදි යෞවනිය තිඹිරි ගෙයට වඩා වැඩි වේදනාවක් අත් විඳිමින් සුසානයෙහි සැනසුම සොයා ගත් බව නොරහසකි. නීතිය වල්වැදුණු සමාජයක පෙති සුණු විසුණු වූ මලක් එලෙස මිහිදන් වෙද්දී, ඉන් අවසඟ දේශපාලනික සහ ජාතිවාදි මතවාද ඉස්මතුවේ නම් එය කල්පාන්තය පැමිණෙන බවට පෙර නිමිත්තකි. විත්‍යා ට සිදු වූ දෙය සුලුවෙන් දකින මිනිසුනි , යාපනය වැසියන්ගේ හැසිරීම අපායගාමීයැයි සිතනා මිතුරනි , යළි ඉපදෙන ත්‍රස්තවාදයකට වේලාපත්කඩ සකසන්නට ඉක්මන් නොවන්න. බණ අසන්නට එන්න. පිල ගසක් යටින් ඈඳි ගන්න.
විත්‍යා ට සිදු වූ දෙය අමතක කරන්න. ඇය උතුරුකරයේ වැසියෙකි. දමිළ ජාතික යුවතියකි. ඇය ගැන වද වීමෙන් පලක් නැත. කොට්ට කිලෙංගු ,තල් හකුරු ,තෝලගට්ටි නෙල්ලි ක්‍රෂ් හැරෙන්නට යාපනයේ අන් සියලුම ජීවි අජීවි දෑ තුළින් කොටි පුල්ලි දකින්නේ නම් විත්‍යාට සිදු වූ දෙය ඇවැතක් නොවේ යැයි ද සිතෙන්නට පුළුවන. නමුත් පොලිසිය අමතක නොකරන්න. දකුණේ සරසවි සිසුන්ට එළව එළවා පහර දෙන , වැල්ලවත්තෙන් මුහුදට පනින සැකකරුවන්ට ආපසු ගොඩබිමට නො එන්නට පහර දෙන , පුද්ගලික කෝන්තර මත අත් අඩංගුවට ගෙන ලුනාව වෙරළ තීරයේදී තරුණයන් දෙදෙනෙක්ට වෙඩි තබා මරා දමන පොලිසිය අමතක නොකරන්න. මත්තල දී එජාප නියෝජිතයන්ට පහර දෙද්දී , නගරාධිපති පිස්තෝලයක් රැගෙන තර්ජනය කරද්දී වදනකින් හෝ විරෝධය පළ නොකර ජංගම දුරකථනවලින් ඒවා රූ ගත කළේ ද ශ්‍රි ලංකා පොලිසිය බව අමතක නොකරන්න. පොලිසියට ගල් ගැසීම සාධාරණ නැත. එය පිළි ගනිමි. නමුත් ශ්‍රී ලංකා පොලිසිය යනු පුවක් මල් කිනිත්තෙන් පිරිත් පැන් ඉසිය යුතු තැනක් ද නොවන බව අලුතෙන්ම පැවසිය යුතු ද ? ගොඩින් බැරි නම් මඩින් න්‍යායෙන් හෝ අවසානයේදී උතුරේ වැසියන් තම මල් කැකුළ කෙළෙසා දැමූවන් නීතියේ රැහැනට හසු කර ගන්නට සමත් නොවූයේද ? මදක් කල්පනා කර බලන්න. දකුණේ දී ද එය එලෙසින්ම සිදු වීද ?
විත්‍යා ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර වන ලැහැබක් තුළින් මතු වෙද්දී ඇගේ දෙමාපියන්ගේ හැඟීම් සහ හදවත් කෙසේ වන්නට ඇත්දැයි සිතන්නට උත්සාහ කළෙමි. යාල්පානමේ ඒ හදවත් වලට සිය දහස් වරක් සමානව ක්‍රියා කරන හදවත් දෙකක් සියනෑවේ ද තිබෙන බව පසක් කොට දනිමි. විත්‍යා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණමටම තම ආදරණීය දියණිය මෙයට වසර අටකට ඉහත දී මුහුණ දුන් බව ඔවුන් හඬ නගා නොපවසනු ඇත. නමුත් විල්වත්ත ගම් පියසම දෙගොඩතලා යන තරමට ඔවුන් පිට කළ කඳුලැලි ද , රූස්ස ගස් වුවද මුලිනුපුටා දමන තරමට ඔවුන් පිට කළ සෝ සුසුම් ද එපුවත් ඔබට පවසනු ඇත.
විල්වත්තේ නිෂාදි බුද්ධිකා නම් වූ තරුණියගේ මළ සිරුර දුම් රිය පොළ අසල වන ලැහැබකින් හමු වූයේ 2006 වසරේ නොවැම්බර් මාසයේ බව මතකය. මාස කිහිපයකට පසු මංගල ඇඳුමින් සැරසී කුල ගෙට පිය නගන්නට සිටි නිෂාදිගේ නිරුවත් සිරුර හමු වූයේ ඇය සොයා ගිය ඇගේම බාල සොයුරාට සහ පෙම්වතාටය. අවසානයේ දී ගමේම තරුණයින් ගෙන් කට උත්තර ගත් පොලිසිය වඩේ සුදා නම් වූ අපූරු සැකකරුවෙක් අත් අඩංගුවට ගන්නේ වරද ඔහු පිටම පවරයි. එම සිදුවීමට දින දෙකකට පමණ පෙර හිරෙන් නිදහස් වී පැමිණි වඩේ සුදා පරස්පර විරෝධී පාපොච්චාරණ රැසක් සමග වරද භාර ගනු ලබන්නේය. නමුත් ඩී.එන්.ඒ පරීක්ෂණය පවසන්නේ අදාල කිසිදු සාධකයක් වඩේ සුදා ගේ ඩී.එන්.ඒ සමග නොසැසඳෙන බවයි. එය එසේ තිබියදී වැරදිකරු බවට පත්වන වඩේ සුදා සිනා වෙමින් නඩු තීන්දුව අසා සිටිද්දී , උසාවිය යැයි අමතක වුණු නිෂාදි ගේ මවුපියන්ට ඉබේටම කෑ ගස්සවී හැඬුම් යන්නේය. ඔවුන් අදටත් පවසන්නේ නිෂාදිගේ සැබෑ දූෂකයාත් ඝාතකයාත් වඩේ සුදා නොවන බවයි. තම දියණිය වෙනුවෙන් යුක්තිය ඉටු නොවෙද්දී සහ පොඩි කර පාගා දැමූ තම දියණියගේ පිවිතුරු බවට නීතිය සරදම් කරද්දී ඔවුන්ගේ සිත් තවමත් ඇවිළුණු ගමන් මය. මෑතකදී , අළුගෝසු තනතුර වෙනුවෙන් අයදුම්පත් කැඳවද්දී නිෂාදී ගේ පියාණන් එම තනතුර වෙනුවෙන් අයදුම් කරන්නේ තම හද පත්ලේ තවමත් ඇවිලෙන ඒ ගින්දර නිසාමය. යුක්තිය ඉටු කිරීමට බාධාවක් වී ඇත්තේ අළුගෝසුවෙක් නොමැති කම නම් තමන් එයට ද සූදානම් බව ද නිෂාදි ගේ තාත්තා පවසද්දී වයස වැඩිකම නිසා එම යදුම්පත ප්‍රතික්ෂේප වී යයි. නමුත් ඇවිළුණු හදවත් වල ගිනි දැල් තවමත් එසේමය.
දරුවා අතුරුදන් බවට පැමිණිලි කරන්නට පොලිසියට යන දෙමාපියන්ට පුංකුඩුතිව් වල දී ද විල්වත්තේ දී ද ලැබෙන්නේ එකම පිළිතුරකි. එනම් ඔවුන්ගේ දියණිය කොල්ලෙක් සමග පැන යන්නට ඇති බවය. එය එසේ වූවා නම් යෙහෙකැයි සිතෙන තැන දී පොලිසිය ක්‍රියා කරන්නේ ද එකම ආකාරයටය. අඩුම ගණනේ උතුරුකරයේ වැසියන් ගල්මුල් රැගෙන පොලිසිය ට එරෙහිව යුද වැදුණහ. අපරාධකරුවන් නීතියේ රැහැනට ගෙන එන තැනට කටයුතු කළහ. විල්වත්තේ දී නම් පවුලේ සාමාජිකයින්ට තනිවම යුධ වදින්නට සිදු වූයේ හතු පිපෙන්නෙන්නාක් මෙන් පැණ නැගුණු කටකතා සමගය. දියණියගේ , සොයුරියගේ අකල් වියෝවටත් වඩා සිත් පාරවන කතා ඒ අතර විය. ඉන් පසුව සිදු වූයේ ගමෙන් භාගයක්ම තරුණයන්ගෙන් කට උත්තර ලබා ගැනීමය. ඒ හේතුවෙන් ගම්මු සහ නිවැසියන් අතර තිබූ හොඳ හිත පළුදු විය .එහි අවසන් ප්‍රතිපලය වන්නේ අහසින් පාත් වූ , කිසි දිනෙක වඩේ විකුණා නැති වඩේ සුදෙක් අපරාධය භාර ගෙන සිනා වෙවී නඩු තීන්දුව අසා සිටීමය.
ඉදින් , යාල්පානම් වැසියනි ....... පොලිසියට ගල් ගැසීම අනුමත නොකළත් , මා ඔබ වෙත හිස නමා ආචාර කරමි....... නීතිය යනු සැමටම එකක් යැයි පොතේ තිබ්බාට එය සැබෑ ලෝකයේදී එසේ නොවන වග තේරුම් ගන්නට තරම් සිහි බුද්ධියක් ඇති නිසා ද, ඇස් පෙනෙන කන් ඇසෙන නිසා ද , විටෙක කරදරයක් වෙන තරමටම අතීත සිදුවීම් මතකයේ ඇති නිසා ද ඔබ වෙත මාගේ ප්‍රණාමය පුද කරමි. හැම දරුවෙක්ම තමන්ගේ දරුවා හා සමාන බව සිතන්නට තරම් උසස් වූ මනුසත් ගති ගුණ ඔබ තුළ ඇති නිසා ද , අයුක්තිය අසාධාරණය නොඉවසන්නට තරම් නිවහල් වූ සිතිවිලි ඔබ තුළ ඇති නිසා ද මම ඔබට හිස නමා ආචාර කරමි.
තව ද , නිෂාදි ට සාධාරණය ඉටු කරන්නට තනිව සටන් වැදුණු , අදටත් යුක්තිය කෙරෙහි අපේක්ෂා දල්වාගෙන දෙනෙත් කඳුලින් පුරවාගෙන සිටින ඒ ආදරණීය දෙමාපියන් , සොයුරු සොයුරියන් වෙනුවෙන් - යාල්පානමේ හදවත් ගැසෙන මිනිසුන් වෙත හිස නමා ආචාර කරමි.
වානේ පන්නරය ලබනුයේ මයිනහමෙන් බුර බුරා නැගෙන ගිනි දැල් වලින් විනා , ගිම්හාන සෘතුවේ බීබික්කම් කුමරියන් පා දොවන සිහිල් පැනින් නොවේ.
---------------------------------------------------------------------------------
ප.ලි. - පුද්ගලාබද්ධ සිදුවීම් අරභයා ලිවීම මාගේ ප්‍රතිපත්ති වලට පටහැනි නමුත් මෙය නොලියාම බැරි මට්ටමට මාගේ හෘද සාක්ෂිය වද දෙන්නට විය. මෙය ඔබගේ ඇස ගැටෙන්නට පුළුවන් බවත් නැතිනම් කවරෙකු හෝ ඔබගේ අවධානයට යොමන්නට පුළුවන් බවත් දනිමි. පැරණි තුවාලයක් අලුත් කර යළි යළිත් හද පෑරීම පිළිබඳව කරුණාකර සමාවන්න.
මිතුරනි , මේ අසවල් සිදුවීම නේදැයි - අසවලාගේ අසවලා නොවේදැයි අසමින් , පුද්ගල නාම හෝ ලින්ක් ඈඳමින් කමෙන්ට් නොකරන්න. සිහි කර සතුටු වන්නට තරම් දෙයක් එහි නැත.
0 comments:
Post a Comment