ඔලිම්පික් : නීරස Twitter විහිළුව



අනවශ්‍ය විහිළුවක් නිසා 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලෙන් නෙරපා හළ ග්‍රීක ක්‍රීඩිකාව 2016 රියෝ ඔලිම්පික් උළෙලේ  8 වැනි ස්ථානය හිමි කරගත්තාය. 

ග්‍රීසියේ පරස්කෙවි පැපක්‍රිස්තු 2012 - ලන්ඩන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබන්නේ කාන්තා - තුන් පිම්ම ඉසව්වෙනි. නමුත් පරස්කෙවි තම ට්විටර් ගිණුම ට එක් කළ මතභේදාත්මක ප්‍රකාශයක් නිසා ඇයව ඔලිම්පික් කණ්ඩායමෙන් නෙරපා හැරීමට ග්‍රීක ක්‍රීඩා බලධාරීන් කටයුතු කළහ."ග්‍රීසිය තුළ සිටින අප්‍රිකානු ජාතිකයන් රාශියත් සමග ......වෙස්ට් නයිල් මදුරුවන්ට අඩුම තරමේ ගමේ කෑම කන්න අවස්ථාවක් හිමිව ඇත " මේ පණිවුඩයෙන් කියැවෙන්නේ එවකට ග්‍රීසියේ පැතිර යමින් තිබූ 'වෙස්ට් නයිල් ' නම් වූ මදුරු වසංගතයක් පිළිබඳව ය. ග්‍රීක ඔලිම්පික් කමිටුවේ කෝපය හමුවේ පරස්කෙවි වහා කණගාටුව ප්‍රකාශ කළ මුත් ඇයව කණ්ඩායමෙන් නෙරපීමේ තීන්දුව ක්‍රියාවට නැංවිණ. ඔලිම්පික් හි හරයන් ට පරමාදර්ශ වලට පටහැනි එම ප්‍රකාශය රස විහීන විහිළුවකැයි බළධාරීන් පවසා සිටියහ. මාස දහයකට පසුව ඇයගේ ක්‍රීඩක වරප්‍රසාද අහිමි කරන ග්‍රීසිය ඇයට ඒවා යළිත් ලබා ගැනීමට නම් අනුමැතිය ලද පුහුණුකරුවෙක් සමග පුහුණුවීම් අරඹන්නැයි නියෝග කළහ. මෙවර ඔලිම්පික් උළෙලට ට්විටර් පණිවුඩ නොමැතිව නිහඬව එන්නේ ඒ පරස්කෙවි පැපක්‍රිස්තු ය.

ග්‍රීසියේ බලධාරීන් සර්ව බලධාරී වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සියලුම පහසුකම් සපයන බැවිනි. ට්විටර් පණිවුඩ මගින් වසංගත රෝග පිළිබඳ අදහස් දැක්වීම ක්‍රීඩිකාවට අයත් රාජකාරියක් නොවන්නේ සියලුම සම්පත් රජය මගින් සපයන නිසාය. ඇයට ඇත්තේ පුහුණු වී රට වෙනුවෙන් තරග වැදීම පමණකි.


ලංකාවට සර්ව බලධාරියා හේමසිරි ප්‍රනාන්දුය. ග්‍රීක බලධාරීන්ට දෙවැනි නොවීමට ඉටා ගත් ඔහු ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා යා ද වේ. තම මවුරටේ ක්‍රීඩකයින් අසීරුවෙන් දිනා ගත් සාග් පදක්කම් ටික ගුවන් තොටට ගොඩ බසින්නත් පෙර හෑල්ලුවට ලක් කළ නිළධාරියෙකි. සාග් රන් පදක්කම් පමණක් වටිනා බවත් රිදී - ලෝකඩ පදක්කම් වැඩකට නැතැයි බී.බී.සී පුවත් සේවයට පවසන හේමසිරි ප්‍රනාන්දු අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ගේ වචන වලට වැට බඳින්නට ද තැත් කරන්නේය. අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 2004 සහ 2012 ඔලිම්පික් උළෙල වෙනුවෙන් ලංකාව නියෝජනය කරන්නේ ඒංගලන්තයේ බේකරියක සේවය කරමිනි. ඔහු තම වියදමින් උදේ හවා වෙහෙස වී පුහුණුවීම් වල යෙදී මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ අතර හේමසිරි ප්‍රනාන්දුට අවශ්‍ය වන්නේ කටේ ප්ලාස්ටර් ගසා ගත් අනුරාධ ඉන්ද්‍රජිත් කෙනෙක් මැරතන් දුවනු දැකීමය.
සාග් පදක්කම් නොවටිනා බව පැවසූ හේමසිරි ප්‍රනාන්දු ක්‍රීඩකයින් 9 කට නිළධාරීන් 40ක් ගිය රියෝ ඔලිම්පික් උළෙලෙන් අහුලාගෙන එන්නේ මොනවාදැයි සිතීම ඔබටම භාර කරමි.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment