කුලියාපිටිය : ළමයින් සුවඳයි කඳුළක දිලිසෙයි



කිරිඇල්ල මැදි විදුහල් භූමිය තුළදී දුල්මිණි ඉරෝෂිකා සිසුවියට පිහියෙන් ඇන මරා දැමුවේ එම පාසලේම ජයතිලක නම් සිසුවාය.මරණීය දණ්ඩනයට නියම වූ ජයතිලක සිසුවා වසර කිහිපයකට පසුව බන්ධනාගාරයේ සිටම උසස්පෙළ විභාගයට සහභාගී වී විශිෂ්ඨ ප්‍රතිඵල ලැබුවේය. නමුත් දුල්මිණි ගේ දෙමාපියන් වූ තිලකරත්න යුවල තම දියණියගේ ඝාතකයාගේ අධ්‍යාපන අයිතිවාසිකම් වලට එරෙහිව විරෝධතා පැවැත්වූ බවක් අසන්නට නැත. එහෙත් ඔවුන් දුල්මිණීට ආදරය කළ බවත් ඇයගේ අඩුව අදටත් ඔවුනට දැනෙන බවත් ඉරහඳ මෙන් ස්ථිරය.


1968 දී බ්‍රිතාන්‍යයේ මේරි බෙල් නම් එකොළොස් හැවිරිදි දැරිය වරදකරු වන්නේ සිව් හැවිරිදි සහ තුන් හැවිරිදි කුඩා දරුවන් දෙදෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳවය. ක්‍රූර ලෙස හැසිරී තිබූ මේරි බෙල් විසින් එක් ළදරුවෙකුගේ වෘෂණ කෝෂ පවා විනාශකර තිබිණ. 1980 දී නව අනන්‍යතාවක් සමග නිදහස ලබන ඇය එම අලුත් නමින් විවාහ වී දියණියක් ද ලබන්නීය. කෙසේ හෝ මේරි බෙල් ව සොයාගන්නා පැපරාසීන් 1998 දී නිවස වටලන තෙක්ම 14 හැවිරිදි ඇගේ දියණිය කුප්‍රකට මේරි බෙල් යනු තම ආදරණීය මෑණියන් බව දැන සිටියේ නැත.එම සිදුවීමෙන් අනතුරුව අධිකරණය සමග ගැටෙන මේරි බෙල් අවසානයේදී ජය ලබා තමාගේ අනන්‍යතාව තව දුරටත් දීර්ඝ කර ගන්නී , දියණියට යාවජීව අනන්‍යතාවක් ද ලබා ගැනීමට සමත් වේ. එදා කුඩා දරුවන් මරා දැමූ මේරි බෙල් අද වන විට ආදරණීය මිත්තණියකි

ළමුන් අතින් වැරදීම් සිදුවන අවස්ථා ද එම වැරදි වලට දඬුවම් ලබාදෙන අවස්ථා ද විරල නොවේ. අතිශය සාපරාධී ගණයේ වැරදි කළ ළමයෙකුට පවා මිනිසෙක් ලෙස බුක්ති විඳීමට ජීවිතයක් හිමි බවට සාක්ෂි සපයන්නේ මේ ඉතිහාසය ය. වෙනෙකෙකුගේ ජීවිතය උදුරාගත් ළමයෙකුට පවා ජීවත් වීමටත් , ළමයෙකු ලෙස හිමි විය යුතු දෑ හිමි කර ගැනීමටත් නීතියෙන් පවා අවසර හිමි වන බව අපට සිහි කරන්නේ මේ ඉතිහාසය ය.

නමුත් මේ ආන්දෝලනයට තුඩු දුන් කුලියාපිටියේ දරුවා සිදු කළ සාපරාධී අපරාධයක් නොමැත. කිසිවෙක් ඝාතනය කළ බවට හෝ කරන්නට තැත් කළ බවට චෝදනා නොමැත. වෛද්‍ය සහතික වලින් පවා දරුවා රෝග ආසාදිතයෙකු නොවන බව තහවුරු කරද්දී ඔහුගේ අධ්‍යාපන අයිතිය උදුරා දමන්නට ඔහු කළ වරදක් නැත. දරුවාගේ මව ආසාදිතයෙකු යැයි යමෙක් සැක පල කරන්නේ නම් ඇයට සුදුසුම පරිසරය වන්නේ ඔය කියන කුලියාපිටිය ගමම ය. පවු නොකළ ,පවුකාරයින්ට ගසන්නට ගල් දරා සිටින පුණ්‍යදාස ලා පුණ්‍යවතී ලා සිටින්නේ කුලියාපිටියේය. එහි සිටින තාක් කල් ඇයගෙන් එම රෝගය සම්ප්‍රේෂණය වීමට කිසිදු ඉඩකඩක් නැත්තේ ගම්පියසේ සිටින්නේ පාපය කුමක්දැයි කණින්වත් නොඇසූ දේව දූතයන් සහ සුරංගනාවියන් කණ්ඩායමක් වන බැවිනි. ශුද්ධෝත්තම පිරිමින් ට තම ආත්ම දමනය පිළිබඳ සියයට සියයක්ම විශ්වාසය. ඔවුන්ගේ බිරින්දෑවරු තම සැමියන් කෙරේ තැබූ විශ්වාසය ද එලෙසමය. සමහරවිට දේවතා මණ්ඩල කිහිපයකට මේ දිනවල සුව නින්ද අහිමිව තිබෙනවා විය හැකිය. නමුත් ඇය ආසාදිතයෙකු නම් ඇයට සුදුසු වන්නේ මෙවන් පින්බිමක් ම නොවේද ?

කරුණාකර ඒඩ්ස් රෝගය තබා තුන්වැනි සිල්පදය කුමක්දැයිවත් නොදන්නා දරුවෙකු පාගා මැඩ නොදමන්න.තම දරුවන් ගේ ශුභසිද්ධිය පතන දෙමාපියන් ලෙස තවත් දරුවෙක්ට පාසල අහිමි කළ පුවත අසා හුරේ දැමීමෙන් අත්පොළසන් දීමෙන් වළකින්න.

කුලියාපිටියේ සිල්වත් පරපුරෙන් මෙසේ අසමි , 

සමාජ අපවාද විඳිමින් , ඉවසා දරමින් හෝ තම පුතුට පාසලක් සොයන මේ මව කෙරෙන් නොමළ ගෙයකින් අබැටක් සොයන කිසාගෝතමියක ඔබ නොදකින්නේද ? වල්ගයෙන් ඉස මුහුද සිඳවා පැටවා බේරාගැනීමට උත්සාහ ගන්නා ලෙහෙනියන් සිටින්නේ ජාතක පොතේ පමණක්යැයි ඔබ සිතනවාද ? උපන් හැටියේ බිළිඳුන් මරා දමන , වැසිකිළි වළට විසිකර දමන , නොරැටියන්ට විකුණා දමන ගැහැණුන් අතර මේ මවගේ පුත්‍රදාරක ස්නේහය ඔබ නොදිටී ද?


එසේ නම් වැරදීමකින් හෝ පාසල් ගොස් ඇත්නම් එදා පාඩම් කළ සුභාෂිතය සහ බුදුගුණාලංකාර අමතක කර දමන්න. පූතිගත්ත තිස්ස තෙරුන්ගේ කතා වස්තුව සහ අම්බපාලි රහත් තෙරණියගේ කතා ඔබගේ දරුවන්ට කියා දීමට කරදර නොවන්න. එදා ඔබ ඇසූ මේ ගී ඔබේ දරුවාට අසන්නට දුන්නාට අරුත් පහදන්නට උත්සාහ නොකරන්න. මන්ද යත් එමගින් ඔබට අවශ්‍ය තාලයේ කුලියාපිටිය ප්‍රඩක්ෂන් එකක් බිහිකරලීමට බාධා පැමිණීමට බොහෝ ඉඩකඩ ඇති බැවිනි

කටු අකුලේ මල් ඇහැරේ 
රළු අහසේ තරු හිනැහේ
ළමයින් සුවඳයි - කඳුළක දිලිසෙයි
අඳුරු විමානේ  - රන්මිණි පහනයි
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment