කුලියාපිටිය : සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන


1957 දී ඇමරිකා එක්සත් ජනපදයේ ආර්කන්සාහි පිහිටි ලිට්ල් රොක් උසස් පාසලට ඉතිහාසයේ මුල් වරට කලු ජාතික සිසුන් 9 දෙනෙක් ඇතුළත් කරනු ලබන්නේ අධිකරණ නියෝගයක ප්‍රතිඵලයක් ලෙසනි. සතියකට පසු ජනපති අයිසන්හවර් ගේ අණ මත ඇමරිකානු හමුදාවේ 101 වැනි වාසර බලකාය ලිට්ල් රොක් වෙත යැවීමට සිදුවන්නේ සුදු ජාතික සිසුන්ගේ මුග්ධ ක්‍රියා කලාපය පාලනය කිරීමටය. කලු ජාතික සිසුන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය පාගා මැඩ දැමීමට උත්සාහ කළ ඇමරිකානු සුද්දන්ගේ මේ නිහීන හැසිරීම ඉතිහාසයට එක් වන්නේ වීරක්‍රියාවක් ලෙස නොවන බව අවිවාදිත ය. මෑත ඉතිහාසය තුළ සිදු වූ නිර්ලජ්ජිත සහ මනුෂ්‍යත්වයට නිගා කළ මකා දැමිය නොහැකි කැළලක් ලෙසය. දහස් සංඛ්‍යාත සුදු ජාතිකයින් උදුරා ගන්නට තැත් කළේ කළු ජාතික සිසුන් නමදෙනෙකුගේ අධ්‍යාපනයේ අයිතිය ය.

Elizabeth Eckford | Little Rock's Central High School | 1957
1960 එක්තරා දවසක ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ඔර්ලින්ස් හි හය හැවිරිදි කලු දැරියක වන රූබි බ්‍රිජස් විලියම් ෆ්‍රීට්ස් පාසල වෙත පැමිණෙන්නේ ද අධිකරණ නියෝගයකින් ලද අවසරයක් මත ය. ඇය එම පාසලට ඇතුළත් කරනවාට විරුද්ධව සුදු දරුවන්ගේ දෙමාපියන් පාසල ඉදිරිපස උද්ඝෝෂණය කළ හෙයින් අවට මහත් කලබගෑනියක් දිස් විණ. මවුපියන්ගේ අත්වල එල්ලී සතුටින් පාසලට ඇතුළත් විය යුතු වයසක වූ මේ සය හැවිරිදි දැරිය මහත් වූ භීතියකින් ගමන් ගන්නී ඇය වටා පරිවාර ආරක්ෂක නිළධාරීන් කිහිප දෙනෙක් ද වේ.බාර්බරා හෙන්රි හැර අනිත් සියලුම ගුරුවරුන් රූබි බ්‍රිජස් වෙත උගැන්වීම ප්‍රතික්ෂේප කළ අතර ඇයගේ පාසල් අත්දැකීම අතිශය වේදනා සහගත සහ වෙහෙසකර දෙයක් විය. සමස්ත රූබි බ්‍රිජස් සිදුවීම මෙන්ම ළදැරියකට ශරීරාරක්ෂකයින් යෙදවීමට තරම් හැසිරීමෙන් අශීලාචාර වූ සුදු ජාතික දෙමාපියන්ගේ නොහික්මුණු බව ද මානව ඉතිහාසයට එක් කළේ අතුගා දැමිය නොහැකි තරම් පිළිකුල් සහගත පැල්ලමකි. සුදු ජාතික දෙමාපිය කැළකට වුවමනා වූයේ සය හැවිරිදි දැරියක්ගේ සිප්සතර ලැබීමේ නිදහස අවුරා දැමීමට ය.


Ruby Bridges | New Orleans School | 1960

තුන්වැනි ඡා‍යාරූපය ,එනම් ඉහළින්ම දක්වා ඇති වර්ණ ඡායාරූපය පිළිබඳව කිසිවක් නොපවසන අතර ඒ පිළිබඳව තක්සේරු කිරීම කියවන්නාට ම භාර කරමි. නොමිනිසුන්ගේ උද්ධච්ඡ හැසිරීමෙන් අගතියට පත් අහිංසක දරුවා හට අධ්‍යාපනය ලබා දීමට ඉදිරිපත් වූ සියලුම පාසල් වලට හිස නමා ආචාර කරමි. අපි ගොඩ නගා ගත් පාසලයැයි පාරම්බාමින් තමන්ට රිසි පරිදි විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බළධාරීන් රූකඩ මෙන් නටවන්නට තැත් කරන අමන දෙමාපියන් රැළට යලිත් ප්‍රාථමික අධ්‍යාපනය ලබා දෙන්නට හැකි නම් එයද මහත් වූ පිංකමෙකි. එසේම , දරුවෙකුට පාසල අහිමි වීමේ පුවත අසා හුරේ දමා , අත්පොළසන් දුන් දෙමාපියන් සියලු දෙනාම සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කොට එහි ප්‍රතිඵල සියලුම ජාතික පුවත්පත් වල පළ කරන්නට හැකිනම් කට ගඳ කපුරුහාමිලා කිහිප දෙනෙකුද හඳුනාගැනීමට හැකි වනු ඇත. HIVනොමැති දරුවෙකු පිළිකෙව් කරන, ඔහුගේ වෛද්‍ය වාර්තා පිළිනොගන්නා කුලියාපිටිය දෙමාපියන් අතර ස්පර්ෂයෙන් පවා බෝ වීමට හැකි රෝග කොපමණ තිබේ දැයි දැන ගැනීම ජාතික යුතුකමක් සේ හඟිමි. වෛද්‍ය වාර්තා වලින් නිර්දෝෂී බව සහතික කළ දරුවෙකු පවා රෝගියෙකුයැයි හංවඩු ගසන්නට හැකි නම් තම වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකළ ඒ දෙමාපිය සියලු දෙනාටම ගොනෝරියා , සිෆිලස් ආදී මාරාන්තික නොවන සමාජ රෝග තිබිය හැකි බව කිව නොහැක්කේ කාට ද ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment