ධම්මිකා කරුණාරත්න ! නොයා ජීවන මං තලාවේ ඈත දුරකට පියඹලා



අසා ඉමු අපි සුමුදු වැල්ලට 
මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත සිතිජයේ 
මැවෙන සෙවණැලි පෙම් රටා

ධම්මිකා කරුණාරත්න සමග සෝමසිරි මැදගෙදර ගයන මේ ගීතය දසක තුනකට එහා අතීතයක් අවුස්සාලනසුලු ය. අසූව දසකයේ දී ජාතික තරුණ සේවා සභාව විසින් ස්ථාපනය කළ 'යොවුන් ගී' කණ්ඩායමේ මුල්ම ගායක ගායිකාවන් හයදෙනා වූ චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රලේඛා පෙරේරා, ධම්මිකා කරුණාරත්න, මාර්ෂල් ජනතා සහ තේජා දමයන්ති අතරින් ගායක ගායිකාවන් දෙදෙනෙක් ගයන මේ යුග ගීතය තුළ අප දන්නා හඳුනන සෝමසිරි මැදගෙදරගේ හඬ අභිබවා ඇසෙන ඒ මියුරු කාන්තා හඬ පසුකාලීනව ලාංකේය ගායන ක්ෂේත්‍රය තුළ අසන්නට නොලැබුණු තරම් ය. 

ධම්මිකා කරුණාරත්න 'යොවුන් ගී' කැසට් පට සහ 'තවලම් අපි යනවා' නම් ජනකාන්ත ගීතයේ ගැයුමට අමතරව ගායන ලොව තුළ නොරැඳුණු අතර ඇය ද තේජා දමයන්ති මෙන් ම ඉතිහාසයට එක් වූ බෙල්වුඩ් තාරකාවක් බවට පත් වන්නීය. නමුත් , ඉතිහාසයේ මාර්ෂල් ජනතාගේ පැහැදිලි පිරිමි හඬට සිදු වූ අසාධාරණය ම ධම්මිකාගේ මිහිරි කාන්තා හඬටත් සිදු විණි දැයි සිතෙන තරමට ඇගේ සුගායනීය රාවය ප්‍රබල ය. අසන්න. 

නොයා ජීවන මං තලාවේ 
ඈත දුරකට පියඹලා 
සිනාසෙමු අපි සයුරු වෙරළේ
අහස සඳ සේ ළං වෙලා 

ඒ මිහිරි නාදය පසුකාලීනව කාලච්ඡේද වලට හිර වූ සංගීත අභ්‍යාසයකට ,එනම් ගුරු වෘත්තියට කැප වුණු බව අසන්නට ලැබිණ. රෝහණ වීරසිංහයන්ගේ පුත් කළිඳු වීරසිංහ ද සංගීතවේදී දර්ශන වික්‍රමතුංග ද පුවත්පත් සාකච්ඡාවල දී තම සංගීත ගුරුවරිය ලෙස හඳුන්වාදෙනු ලැබුවේ කොළඹ අසෝක විද්‍යාලයේ සංගීතාචාරිණිය වන ධම්මිකා කරුණාරත්න කෙනෙකි. සංගීතවේදී නදීක ජයවර්ධන ද තම සංගීත ගුරුවරිය ලෙස පවසන්නේ ධම්මිකා කරුණාරත්න නම් ගුරුවරිය ය. 

කලාතුරකින් අසන්නට ලැබෙන මිහිරි හඬක් ඇති, චාම් සාරියෙන් සැරසුණු තැන්පත් ගායිකාව, ඒ ගැයුම් අමතක කර බාලක පාසලක කෑකෝ නද පරදවා කෑ ගසා බිලාවල් රාගය ගයනයුරුත්, හුණු කූරු පහස විඳිමින් කළු ලෑල්ලක ලඝු , ගුරු , ප්ලුත සටහන් කරනයුරුත් සිතින් මවාගනිමි. 

ඒ අතර ධම්මිකා නම් අර මිහිරි හඬැති ගායිකාවට මෙසේ පවසමු.

පතා ආ ලෙස ඈත භවයේ
මෙමංතලයේ හමුවෙලා 
රහස් මුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Dhammika කරුණාරත්න ඉන්නවා avissawelle kosgama pette.

    Somasiri medagedara also suffering in cancer

    ReplyDelete
  2. May this great singer have a speedy recover!!!

    ReplyDelete