රුචිරාණෙනි අහන්න


මඟුල් තුලා ගිය වාහනේ ආයෙම ගම් රට බලා පිටත් වුණා. අසංක පිටිපස්සේ සීට් එකක දිගා වෙලා ඇස් පියාගත්තේ ටිකක් විවේක ගන්න. ලංකාවට ඇවිල්ලා දවස් හතරයි. මේ වෙනකොටම ගෙදර අයගේ ගමන් බිමන් වලට එක්කාසු වෙලා ලංකාවේ ඉන්න එක අපෝ වෙලා. තව දවස් කීයද ? එහෙන් ගමේ යාළුවන්ගේ ආඩපාලි. "උඹලා දැන් ලොකු මිනිස්සුනේ "අනික් අතට පරණ ඔෆිස් එකේ කට්ටියගෙන් එන පණිවුඩ. "මේ පැත්තට ගොඩ වෙලා යන්න එන්නේ නැද්ද?" ඒ අස්සේ තමයි අයියාගේ මඟුල තීන්දු කරන මේ ගමනට එකතු වුණේ.
මනමාලි අම්බලන්ගොඩ. ගෙදර දොරට ගොඩ වෙලා ආපහු එන ගමං අම්මලා , ආච්චි අම්මලා , නැන්දලා එක සීරුවට ඒ පැත්තේ වරුණේ කියවනවා. හැම මඟුලම ඔහොමනේ. අඩුපාඩු පේන්න අවුරුද්දක් දෙකක් යනවනේ. "ඔය ඉන්න ගෙදර එතකොට මනමාලිගේ අම්මගේ කිව්වා නේද ?" ඩ්‍රැයිවර්ට මේ පැත්තේ වාඩි වෙලා උන්න රංජි මාමා පිටිපස්ස හැරිලා ඇහුවා. මිනිහා ඒ කාලේ ඉඳන්ම එහෙමයි. ඔඩිට් එකෙන් පැන්නා වගේ තැනකට එක්කං ගියොත්. හතර මායිමම හොයනවා. "ඔව් මල්ලියේ. මේ ගෙදර ගෑණු ළමයාගේ අම්මගේ ගෙදරනේ. තාත්තාගේත් ගෙයක් තියෙනවාලු ටවුමට වෙන්න" අම්මා ඒක කිව්වේ ටිකක් ආඩම්බරෙන් වගේ කියලා අසංක ට හිතුණා. "ටවුම පැත්තේ කුලී වැඩියිනේ. ඒ නිසා ඒ ගේ කුලියට දීලා මෙයාලා මෙහෙ ඉන්නවා" අද උදේ වෙනකං අම්බලන්ගොඩ තියෙන්නේ ගාල්ලට එහාද මෙහාද කියලා නොදැන උන්නු අම්මා දැන් ඒ ගෙදර මාධ්‍ය ප්‍රකාශක වගේ. "ඔව් ! ඒක හරි" රංජි මාමා ඔළුව වැනුවා. "ඒත් අක්කේ , මේ ළමයට දෙන්නේ ඔය ගෙදර නම් , ඒක පිළිවෙලක් වෙලා තියෙන්න ඕනේ නේද ? මම මේ කිව්වේ .... ඒ ළමයාගේ අම්මගේ නමටම ද ගේ තියෙන්නේ?" රංජි මාමා යෝකර් පන්දුවක් දැම්මා. ඒකට ප්‍රහාර එල්ල කරන්න ඉදිරිපත් වුණේ අසංක ගේ අම්මාගේ හොඳම යාලුවා වුණ කමනි නැන්දා. "අම්මට ඉන්නේ එක අක්කා කෙනෙක් විතරයිලු. එයා ඒ කාලේ ඉඳන් කුවේට් ද බහරේන් ද කොහෙද වෙන රටකලු ඉන්නේ. කසාද බැඳලත් නෑලු. හම්බ කර කර එහෙටම වෙලා ඉන්නවා මිසක් බඳින්න අදහසක් වත් එන්න අදහසක් වත් නෑලු. වෙනේකක් තියා පවුලේ අය එක්කවටත් කිසිම සම්බන්ධයක් නෑලු" කමනි නැන්දාගේ සාරංශගත කිරීම කොච්චර හොඳට වැඩ කළා ද කිව්වොත් රංජි මාමා කට වහ ගත්ත පාර ආයේ කට ඇරියේ බුලත් කෙළ ගහන්න විතරයි.
"කුවේට් නම් චූටි පුතා දන්නේ නැතැයි" කියලා සීයා කිව්වාට ඒකට කාගෙන්වත් අනුබලයක් ලැබුණේ නෑ. කුවේට් කියන්නේ මහා විසාල රටක් කියන එකවත් , අසංක වැඩ කරන්නේ එහෙ තියෙන පොඩිම පොඩි එක්ස්චේන්ජ් හවුස් එකක කැශියර් විදියට කියන එකවත් සීයට පැහැදිලි කරන්න ඕනේ වුණේ නෑ. ඒ , කවුරුවත් සීයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්නේ නැති නිසා.
"නංගියේ .. තාත්තා නම් ද සිල්වා කෙනෙක් කිව්වනේ. අම්මාගේ නම ගම එහෙම කොහොමද දන් නෑ" ඒ පටන් ගත්තේ ලොකු නැන්දා. ඒ කිව්වේ අසංකගේ තාත්තගේ අක්කා. "අම්මත් ද සිල්වාම තමයි. එයා මාබොටුවාන ජාගොඩගේ ලු" අසංකගේ අම්මා හෑන්ඩ් බෑග් එකෙන් ගත්ත කොළයක් බලාන උත්තර දුන්නා. මාබොටුවාන ජාගොඩගේ ... මාර නමක්නේ. අසංක ට තනියම හිනා ගියා.
කොහොමින් කොහොම හරි අසංක ආයෙම පිටත් වෙන දවස උදා වුණා. අයියාට කතා කරපු ගෑණු ළමයා මේ වෙනකොට ලංකාවේම ඉන්න දක්ෂතම සහ සුන්දරම ගෑණු ළමයා බව වැට අයිනට වෙලා තියන මාධ්‍ය සාකච්ඡා වලදි අම්මයි , ආච්චි අම්මයි ගමේ ඈයින්‍ට නිර්භයව ප්‍රකාශ කළා. "ළමයාගේ ලොකු අම්මා ඉන්නේ එංගලන්තේලු. එහෙන් ගෙවල් දොරවල් අරගෙන එහෙමලු ඉන්නේ" සීයා කඩේදි එහෙම කතාවක් කියපු බව එළි කරපු ලොකු අම්මගේ ලොකු පුතා අසංකත් එක්ක පැලෙන්න හිනා වුණා. පොඩි පරහකට තිබ්බේ කමනි නැන්දා කෝල් කරලා කිව්ව කතාව විතරමයි. එයා කවුද අඳුනන අම්බලන්ගොඩ කෙනෙක් ලවා අර ගෙදර විස්තර හොයවලා. "වරුෂවිතාන මගේ බැච් එකේ හිටියේ. මම උදව්වක් ඉල්ලුවාම බෑ කියන්නේ නෑ. මිනිහා දවස් දෙකෙන් විස්තර හොයලා මට කෝල් කළා" කමනි නැන්දාගේ ඔය වගේ පුරසාරම් වලට අමතරව කියවුණේ , අයියට බලපු ගෑණු ළමයාගේ තාත්තා , මුලින්ම බඳින්න හිටියේ ඒ ගෑණු ළමයාගේ අම්මාව නෙමේ , ලොකු අම්මාව කියලා. "අර රට ඉන්න එක්කෙනා. එයාගේ නම කාන්ති. නංගි තරමට ලස්සන නෑලු. දත් එහෙමත් ටිකක් ඉස්සරහට ආපු කෙනෙක් ලු. ලොකු උගත් කමක් එහෙමත් නෑලු" කමනි නැන්දා කියන විදියට ගෑණු ළමයාගේ තාත්තා ඒ කාලේ නළුවා වගේලු. හැබැයි දෙගොල්ලොම ඒ තරම් සල්ලි බාගේ නැති පවුල් වල ලු. අන්තිමට අර කාන්ති රට ගියාලු බඳින්න කලින් සල්ලි කීයක් හරි හොයාන එන්නම් කියලා. ඒ එවපු සල්ලි වලින්ලු ඔය ගෑණු ළමයා දැන් ඉන්න , අපි ගියපු මහ ගේ එහෙම සිමෙන්තියෙන් බැන්දේ. "ඒත් අන්තිමට, කෙල්ලගේ තාත්තා කාන්ති රට ඉන්න අස්සේ ටික ටික නංගි , කුසුම් එක්ක යාලු වෙලා. කුසුම් ඇහැට කනටත් පේනවානේ. අනික ඒ වෙනකොට පුහුණු ගුරුවරියක්. ඊට පස්සේ ජෝඩුව ගෙදරට හොරා බැඳලා එනකම් කවුරුවත් මේ වගක් දැනං ඉඳලා නෑ" කමනි නැන්දා එහෙම කිව්වා කියලා අම්මා කීවේ කණස්සල්ලෙන් වගේ. "ඒ කාන්ති දැන් ලංකාවට එන්නේ නෑලු. අවුරුදු විස්සක් තිහක් තිස්සේ කුවේට් වලට වෙලා එකම ගෙදරක වැඩ කරගෙන ඉන්නවලු. බැන්දෙත් නෑලු. නංගියි මස්සිනයි, මුළු පවුලමයි එක්ක හෙණ වයිරෙකින්ලු ඉන්නෙ. මේ සිද්ධියෙන් පස්සේ ගෑණිට පොඩ්ඩක් අප්සට් කියලයි කමනි කිව්වේ. " කියපු අම්මා කොහොමත් අක්කව කසාද බැඳලා හිටියේ නැති නිසා නංගිව බැඳගත්ත එක මහ ලොකු දෙයක් නෙමේ බව අසංක එක්ක කියලා හිත හදාගන්න හැදුවා. "කමනිටත් ඕනේ නැති මඟුලක් නෑ. හැම මළදානෙටම හොට දානවා "තාත්තා අම්මා දිහා බලාන ගෙරෙව්වා. කාන්ති මේ අයගෙන් තරහා පිරිමහන්න දේපොළ ඉල්ලගෙන එයිද කියලා අම්මයි තාත්තයි සෑහෙන වෙලාවක් කතා කළා.
අසංක ආපහු ඔෆිස් ආවා. කාන්තාර රටක් වුණත් ගෙදරට වඩා මෙහේ හිතේ සැනසිල්ලේ ඉන්න පුළුවන්. කස්ටමර්ස්ලා අඩු වෙලාවක් බලලා කවුන්ටර් එකෙන් එහා පැත්තට ගිහිං , උදේ කෑම එක කන්න හැදුවා විතරයි. අලුතෙන් ට්‍රේනිං වෙන ලංකාවෙන් ආපු ටෙලර් දුවගෙන ආවා. "අසංක අයියේ. කෑෂ් ඩිපොසිට් එකක්. පොඩ්ඩක් එන්නකෝ" මලින්ද හිනා වෙන ගමං අතෙන් අදිනවා. " මම කනවා බං. අර ක්‍රිෂ්ණට කියපංකො" කියලා අසංක ඇහුවේ අනිත් කවුන්ටරේ වැඩ කරපු ඉන්දියන් කාරයා කොහේ ගියාද කියලා හිතන ගමං. " බෑ බෑ.. ක්‍රිෂ්ණට පෙන්නලා වැඩක් නෑ" මලින්ද හිනාවෙන ගමං අඬ ගහනවා. " අසංක අයියා එන්නකෝ. පොඩි කාලේ මරද වැල්ලේ ඇවිල්ලා යකෝ" කියලා මලින්ද බඩ අල්ලං හිනා වෙන්න ගත්තා. අසංක කට වටේ පිහදාගෙන වතුර උගුරක් බීලා කවුන්ටරේට යන ගමං කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බැලුවා. අප්පට සිරි. මේ අර යූ ටියුබ් එකේ ඉන්න ලංකාවේ ඇන්ටිනේ. අසංකට හිනා යන්න ආවත් සද්ද වහගෙන සීට් එකේ වාඩි වුණා. මලින්ද අනෙක් පැත්තේ හිනාව තද කරං ඉන්නවා. ඉන්ටර්නෙට් එකේ සිංදු කියන ඇප් එකක කණට අහගෙන ඉන්න බැරි විදියට සිංදු කියන මේ ඇන්ටි ඒ වෙනකොටත් ජාත්‍යන්තරේ ජයගෙන ඉවර බව අසංකට හොඳට මතකයි. ඒ එක සිංදුවකවත් තාලයක් කියලා නාමයක් තිබුණේ නෑ. වාක්‍ය වගේ එකදිගට කියවගෙන යනකොට කටහඬ වුණත් අහගෙන ඉන්න බැරි තරම් හරි අමිහිරියි. ඒත් ඇන්ටි තව තව අලුත් සිංදු කිව්වා. සිංදුවට වඩා විනෝදජනක ඒ සිංදුත් එක්ක කරන රඟපෑම් සහ ඉරියව්. කොල්ලො කුරුට්ටෝ ඒ වීඩියෝ එඩිට් කරලා කුවේට් ඇන්ටි කියලා අලුත් අලුත් හාස්‍යජනක නිර්මාණ කරන්න ගත්තා. සිංදු පහළින් ඉල ඇදෙන කමෙන්ට්ස් දැම්මා. ඒත් ඇන්ටි නම් සැලුණේ නෑ. දවස ගාණේ අලුත් සිංදු දාන ගමං තමන්ගේ සිංදු වලට අපහාස කරන අයට තිත්ත කුණුහරුපත් කියන්නත් ගත්තා. මේ දැන් අසංක ඉස්සරහ හිටගෙන ඉන්නේ ජාත්‍යන්තරය ජයගත්ත ඒ ඇන්ටි. වීඩියෝ වල වගේ දඟකාර පෙනුමක් නම් නෑ. ඇවිල්ලා තිබුණේ සල්ලි දාන්න නෙමේ - සල්ලි ගන්න. පාස්පෝර්ට් එක පෙරළන ගමන් අසංක විත්ඩ්‍රෝවල් ස්ලිප් එකේ නමත් එක්ක කියෙව්වා. " මාබොටුවාන ජාගොඩගේ කාන්ති ශ්‍රියාලතා" අසංකට පුරුදු නමක් කියලා හිතෙනකොටම ඈතින් පුරුදු සිංදුවක් ඇහෙන්න ගත්තා.
"රුචිරාණෙනි අහන්න , එක පාර මා මරන්න"
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. පාඨකයන්ගේ ප්‍රහර්ෂය අවුළුවන බැවින්, ඔබේ ප්‍රහර්ෂය තව-තවත් වැඩියෙන් අත් විඳින්නට ලැබේවා කියා පතන්නෙමි!

    ReplyDelete