දීමංක වෙල්ලාල සහ සුදු නංගීගේ අත් දෙක


සිංහල ගීත කලාව ක්‍රම ක්‍රමයෙන් අංගුලිමාලකරණයට ලක් වෙමින් පවතී. එම තත්ත්වය පළමුවෙන් ප්‍රකට කළේ රොෂාන් ප්‍රනාන්දු විසිනි. ඔහු මෙසේ ගැයුවේය.
හිත හිරිවට්ටන ඔය ලොකු ඇස් දෙක ලියාගන්න සින්නක්කර
නිදන් කරන්නද මන් මගෙ පණ ටික අහංකාර ඔය හිත යට
ලියාගන්න සින්නක්කර - දෙනවද මට ඔය ඇස් දෙක

රොෂාන් ප්‍රනාන්දු පුද්ගලික මට්ටමේ අක්ෂිදාන ව්‍යාපාරයක් ආරම්භ කර ගැහැණු ළමයින්ගේ ඇස් සින්නක්කර සහ බදු ආකාරයෙන් ලියාගන්නට යන විට අසංක ප්‍රියමන්ත පීරිස් ද වැඩේට බැස්සේය. රොෂාන් වගේ කලබලකාරයෙක් නොවන අසංක සියලුම කාරණා පැහැදිලි කර හීන් මැණිගේ ඇස් උගුල්ලාගෙන වට්ටියක තබා ගන්නදැයි සාවධානව විමසුවේය.
ඔය ඇස් දෙක නෙලා ගන්න 
නෙලා ළඟින් තියාගන්න 
නිල් ඉඳුවර මල්වට්ටියකට 
හීන් මැණිකේ අවසර දෙනවද

ලංකාවේ ගායකයින් මාංශ භක්ෂක පක්ෂීන් මෙන් තරුණියන්ගේ ඇස් උගුල්ලාගැනීමට පුරුදු වූ අතර අද වන විට එය ඇස් වලින් නොනැවතී සියලුම ශරීරාංග දක්වාම පැතිර ඇත. දීමංක වෙල්ලාල තමන්ගේ සීයා වන අංගුලිමාලටත් වඩා මරුමුස් ආකාරයට කටයුතු කරන්නේය. අංගුලිමාල ඉල්ලුවේ එක්කෙනෙක්ගෙන් එක ඇඟිල්ලක් පමණි. නමුත් දීමංකට ඇඟිලි වලින් ඵලක් නැතුවාක් මෙන් ම ඔහු එකකින් සෑහීමකට පත් වන්නේ ද නැත.
දුක අහනා හිත නිවනා මට දිශාව පෙන්වන්නී
වෙනවද මාගේ අවසන් පෙම්වන්තී
පිරිමදිනා හද තවනා මට ආලය දක්වන්නී
දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී

ගායකයාට පෙම්වතියක් අවශ්‍යව ඇති අතර ඒ හුදෙක් පෙම් කරනු පිණිස නොවේය. දුක ඇසීම , සිත නිවීම , දිශාව පෙන්වීම , පිරි මැදීම සහ හද තැවීම යනාදී කටයුතු සඳහා බහු කාර්ය මෙවලමක් ලෙස භාවිතා කළ හැකි පෙම්වතියක් සොයන දීමංක මාලිමා යන්ත්‍රයක් කියා උපකරණයක් පිළිබඳ අසා නැත. වඩාත්ම ඛේදජනක කරුණ වන්නේ එක තරුණියකගෙන් මේ සියලුම රාජකාරී අපේක්ෂා කරන ගායකයා සියල්ල අවසානයේ ඇගේ අත් දෙකද ඉල්ලීම ය. ඡද්දන්ත කතා වස්තුවේ ඇත් රජ දළ දෙක ගලවා වැද්දා හට දුන්නාක් මෙන් තම අත්දෙක ද ගලවා දීමංකට පුද දෙන සුදු නංගී මින් ඉදිරියට ඔහුට දිශාව පෙන්වන්නේ නිකට දිගු කර විය හැකිය. බාගදා ඇයට හුණු වටයේ නටාලියා බිසවට මෙන් දිගු නාසයක් තිබුණා නම් මේ ගැටළුව පැන නොනගිනු ඇත.
පහත ඡායාරූපයේ දැක්වෙන්නේ දීමංක වෙල්ලාලගේ ඉල්ලීම පරිදි අත් දෙක පරිත්‍යාග කළ "සුදු නංගී" මාරි බිස්කට් පැකට් එකක් ගේන්නට කඩේට යන ආකාරය ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments: