අපේක්ෂා කරන සුචරිතය හෙවත් ඌරු දළ තබාගෙන ගජමුතු ඉල්ලීම


ඔබට රුචි නොවන; ඔබගේ සුචරිතයට තරම් නොවන ගවුමකින් සැරසී ගත් කාන්තාවකගේ සේයාරුවක් දුටු විට , ඇය වෛශ්‍යාවක බව එකහෙළා පැවසීමට ඔබට නිදහස ඇත.
ඒ ඇඳුමට ඔබ ආසා නොකරන බැවින් ඇගේ අතීතය පිළිබඳ ඔබ දන්නා දෑ (දන්නා යැයි සිතනා දෑ) ඔබ කැමති භාෂාවකින් දිග හැරීමට ඔබට නිදහසක් ඇත.
ඔබ අකැමති ඇඳුමක් ඇඳ සිටින ඇයගේ දරුවාගේ සුජාත භාවය ගැන ඔබ කැමති භාෂාවකින් ඔබගේ අදහස පළ කිරීමට ඔබට නිදහස ඇත.
ඔබගේ මිනුම් දඬු ඉක්මවා ගිය ඇඳුම හැඳි ඇයගේ දරුවාගේ සැබෑ පියා කවුදැයි විවිධ අනුමාන ඉදිරිපත් කරන්නට ද ඔබට අයිතියක් ඇත.
ඔබ එකඟ නොවන ඇඳුමක් ඇඳි ඇය දඩාවතේ ගොස් දරුවන් වැදූ බැල්ලියකට සමාන කිරීමට ඔබට සාධාරණ අයිතියක් ඇත.
ඔබගේ කළකිරීමට හේතු වූ ඇඳුම ඇඳ සිටි ඇය ; ඇගේ දරුවාගේ සමවයස් මිතුරන් සමග මෙවුන්දමේ බැඳෙතැයි අනුමාන කරන්නට ද ඔබට නිදහසක් ඇත.
එසේ නුමුදු ;
තමා ලද ආරාධනයකට - තමා කැමති ඇඳුමක් ඇඳගෙන ගිය ඇයට පමණක් ; තමාටත් , තම කුසින් උපන් දරුවාටත් අසැබි වදනින් බැණ වැදුණු ස්වේච්ඡා වෛරී ප්‍රජාවට පෙරළා බැණ වදින විට බල්ලා , බැල්ලී වැනි වචන භාවිතයට අවසරය හෝ නිදහස නැත.
සුචරිතය වනාහී සැමවිටම අනෙකා තුළින්ම බිහිවිය යුතු දෙයක්ද ?
මිත්‍රවරුනි; කරුණාකර තම අත ඌරු දළ තබාගෙන අනෙකාගෙන් ගජමුතු ඉල්ලීමෙන් වළකින්න.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: