මැණික් නදිය ගලා බසී : සෝමවීර සේනානායකගේ දිවි ගමන නවතී


1983 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලබන්නේ මැණික් නදිය ගලා බසී නම් නවකතාවය. හදිසි සත් රුවනක් පහළ වී ධනපති පංතියට පිළිපන් පවුලේ ගෘහණිය එකල ඉඳිආප්ප තම්බමින් සිටි මිලි නෝනාය. ඇය කටපාඩම් කරගත් ඉංග්‍රීසියෙන් පංති පරතරයට කෙසෙල් කොට වලින් මුක්කු ගසන්නීය. ක්‍රොකඩයිල්ස් සහ ක්‍රෑබ් වචන දෙක පැටලී "ඊයේ රෑට අපි ක්‍රොක්ඩයිල් කරි කෑවනේ" යනුවෙන් මිතුරියන්ට පවසන්නීය.
"පට් පට් ගානකොට සම්තිං එක තියෙන්න ඕනේ" යැයි පවසන්නේ සූරසේන ය. කතුන් ලොව තුළා - රසඳුන් නයනාලේප කරන සිහිගන්වන පළිඟු මැණිකේ ද සම්ප්‍රදායේ කිමිදුණ මැණික්හාමි ගුරුන්නාන්සේ ද විවෘත ආර්ථිකය සහ ජේ ආර් ජයවර්ධන සිහිපත් කරන , පිංකම් පොළ පවත්වමින් ග්‍රාමීය පන්සලක් මෙහෙයවන නායක හාමුදුරුවන් ය. ඒ සියල්ලම අස්සෙන් " කොටට කොටේ කොට ගවුමක් - හැටට හැටේ ඇඳගෙන මං" යනුවෙන් ආතුර වී නටන ගම්වාසී තරුණියන් සහ " කොටගවුම් මොකටද , මෙන්න මේ චීත්තය ඇඳ ගනිංකෝ" කියා කළුකුමාරයා වැහුණු තරුණියට චීත්ත අන්දවන මැහැල්ලන් ය.
තනිකඩ තරුණයන් සිටින පවුලකට ඇනෙක්සිය කුලියට දෙන්නට දත කන අසල්වැසියෝ හි ජොසපින් ඇන්ටි ය. " අම්මා බෝඩ් එකක් ගහමු කියපු නිසා මෙන්න මම බෝඩ් එකක් ඇන්දා " කියා To lat යනුවෙන් බෝඩ් එකක් අඳින සුරංගනී ය. ප්‍රදීප් සමග පෙම්බස් දොඩමින් සිටියදී අම්මා එනු දැක කුලී ගෙදර ඇඳ යට රිංගන කුමාරිය. ඒ ගෙදර මොකෝ මේ ගෙදර මොකෝ යනුවෙන් පවසා දුම් කබලක් ගෙන කාමරය පුරා කැරකෙමින් සර්ව රශ්මි දුම අල්ලන ජොසපින් ඇන්ටී ය.
ජාතික ඇඳුමෙන් සැරසුණු බලදේවය. අමුත්තෙකු ආ සැණින් ශීතකරණය ක්‍රියාත්මක කර පෑල දොරින් කඩයට දුවන තාත්තා වීරසේකර ය. සැමියා ගෙන එන ඔරේන්ජ් බාර්ලි බෝතලය අමුත්තාට පිළි ගන්වමින් විදුලිය විසන්ධි වී තිබූ නිසා සීතල මදි යැයි පවසන සුදු හාමිනේ ය. හවසට ගෙදරට එන විට " හොද්දට ලුණු දමන පදම හොඳට හිතට ගනින් දුවේ - මැද්දට පැන වැඩිහිටියන් සමග විහිලු කැතයි දුවේ " යැයි තාත්තා ගැයූ විට උරණ වන රංජනීය. ඒ යශෝරාවය ය.
එක් පසෙක වලව්වක සිරවුණු දිළිඳු උගත් තරුණිය කාමිණී ය. ගැහැණු රුවක් කැටයම් කළ ගිරයක් රැගෙන වලව්වේ ආධිපත්‍ය පතුරන ලුසියා හාමිය. අනෙක් පස ගරා වැටෙන ගෙදරක දීප්ති ය. ඩයස් මහත්තයා ගේ බසය ය. ඒ කාලේ තරුණියන්ගේ විලාසිතාව බවට පත් වූ දීප්ති ගේ කෙස් කළඹය. ගිරය සහ දූ දරුවෝය.
මේ සියල්ලම පසුපස සිනමාවේ සිට වෘතාන්ත නාට්‍ය කලාව තෙක්ම යෝධ සෙවණැල්ලක් වූ සෝමවීර සේනානායක නම් වූ ඔබය. සුබ ගමන් රසවතාණෙනි.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment