සදාචාර සම්පන්න අවුරුදු කුමාරයා


අපගේ සේවා ආයතනයේ 2018 අවුරුදු කුමරා කිරුළ හිමි කර ගැනීමට සමත් වීමි 😍
දැන් ඒක වුණේ මෙහෙමයි. මම වැඩ කරන්නේ පොඩි ගාමන්ට් එකකනේ. නො ලිමිට් එකට දාන බ්‍රෙෂියර් වලට වඳ පෙති දාලා මහන්නේ අපි තමයි. මේ ටිකේ සේල්ස් හොඳ නිසා අපිට නිවාඩු නෑ. ඉතිං අපේ ලොක්කා තීරණය කළා අපිට ඔෆිස් එකේම අවුරුදු කුමාරයා තරගයක් තියන්න.
ඔන්න ඉතිං දෙන්නෙක්ට තරගෙට ඉදිරිපත් වෙන්න. ගෙවල් වලින් අවසර ලැබුණේ නෑ එක්කෙනෙක්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එපා කිව්වා. අනික් එකාගේ වයිෆ් ෆෝන් ආන්ස්වර් කළේ නෑ. අවදානමක් ගන්න බෑනේ. එයත් අයින් වුණා. තව කෙනෙක් තරගෙට ඉදිරිපත් වෙලා ආයෙම අයිං වුණා. ඒ යකාගේ අම්මා කිව්වලු බඳින්න කලින් ඉස්ටේජ් නගින එක කුමර බඹසරේට හොඳ නෑ - පෝරුවෙදි කලන්තේ දානවා කියලා. ඉතිං මඟුලෙදි කලන්තේ නම් දාන්න බෑ කියලා මිනිහා මැදදි අයින් වුණා.
තුන්දෙනෙක් කලින් දවසේ රෑ අවුරුදු පාටි වල හොඳටෝම බීලා අදත් ඇස් රතු වෙලා තිබුණා. ඒ නිසා අපි එයාලා ගැන පැමිණිලි කළා. ඇයි වදේ ! වැරදිලාවත් ඇස් ලස්සනයි කියලා දිනුම දුන්නොත් ඔය බේබද්දන්ට ? අන්තිමට තහනම් උත්තේජක චෝදනා යටතේ එයාලාව අයින් කළා. තව දෙන්නෙක් ව බර පංතිය ගැලපෙන්නේ නෑ කියලා අපි පෙන්නුව නිසා සංවිධායක මණ්ඩලය ඒ දෙන්නවත් අයින් කළා. ඔන්න , පින්නවල අවුරුදු කුමාරයා තරගයක් තිබ්බා නම් ඒකට නම් යවන්න හොඳයි. විකාර !
ඊට පස්සේ තිබ්බේ අවසාන වටය. හරිම තරගකාරී මට්ටමක් තිබ්බේ. ටොෆි වලට වඳ බේත් කුඩු කළවම් කරන සෙක්ෂන් එකේ දෙන්නෙක් හිටියා හවසට ජිම් ගිහිං යකඩ ගිලින. උන් දෙන්නාම කසාද බැඳපු උන්. ඔන්න ඉතිං අපි ආයෙම විරෝධතාවක් ගොනු කළා. අතින් කටින් ළමයි වඩාගෙන මෝහිණීගේ අයියා වගේ උන් කොහොමද අනේ අවුරුදු කුමාරයා වෙන්නේ. සංවිධායක මණ්ඩලය පැයක් විතර සාකච්ඡා කරලා බැඳපු උන්ව අයින් කළා. ඒ තීරණේ නිසා අන්තිමට ස්ටේජ් එකේ ඉතුරු වුණේ මමයි තව හතර දෙනෙකුයි විතරයි. ඒ හතර දෙනාගෙන් දෙන්නෙක් වඳ පෙති දාලා බ්‍රෙෂියර් මහන සෙක්ෂන් එකේ. අනික් දෙන්නා තමයි නොලිමිට් එකට ඒවා ඩිලිවර් කරන්නේ. වැඩේ තියෙන්නේ උන් ගෙන් තුන් දෙනෙක්ම මගේ ළමයි වගේ. එච්චරටම බාලයි. විනිශ්චය මණ්ඩලය බැලුවෙම උන් දිහා.
දෙයියෝ බැලුවා වගේ මට Rathanathissa Thero තියරිය මතක් වුණා. සිංහල නොවන අයට අවුරුදු කුමාරයා තරග වලට එන්න සදාචාරාත්මක අයිතියක් නෑ කියලා මම විරෝධය පළ කළා. අපේ උදවිය සදාචාරෙට මාර බයයිනේ. ඉතිං ඒ අය සදාචාරාත්මකව කුටු කුටු ගාලා සදාචාරාත්මකව ඩිස්කස් කරලා සදාචාරාත්මකව මුස්ලිම් උන් හතරදෙනාව අයින් කරලා මාව අවුරුදු කුමාරයා විදියට සදාචාරාත්මකව තෝරා පත් කළා.
මම මේ ජාතික කොඩිය අරගෙන අත් වන වන ගාමන්ටෙක වටේ දුවන ගමං මිත්‍රවරුනි! අවුරුදු කුමාරයා කියන්නේ සුලු පටු සදාචාරයක් ද ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

5 comments:

  1. මං මලා..... හිනා වෙලා....

    ReplyDelete
  2. https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_421.html

    ReplyDelete
  3. නියමයි අයියේ. මරු අදහස් තියෙන්නේ ඔයාට...

    ReplyDelete