පැන පැන එන සඳේ - පියගැට පෙළ දිගේ


දුර බස් වල රූපවාහිනී තිර වල සිංදු වලට නටන්නේ සිදුහත් කුමරුන් හට ගිහි ගෙය කළකිරෙන ආකාරයට වැඩ කටයුතු සිදු කළ නළඟන කණ්ඩායම ම වීමට ඉඩ ඇත. හය දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක නම් හය දෙනා නටන්නේ දහසය විදියකටය. එකියක් සරස්වතී වන්දේ නටනා විට අනෙක් එකිය නටන්නේ වන්දේ මාතරම් ය. එකියකගේ කකුල උඩු ගුවනේ ය. අනෙක් එකියගේ කකුල ඔක්ට පෑඩ් කට්ටලට යට ය. නමුත් ඇඳුම් වර්ණවත් බැවින් නැටුම මනරම් ය.
වචනයෙන් වචනයට නටන්නට ඔවුන් තරමට වෙන කාටවත් බැරිය. ටී එම් ගේ සැනසුම් සුසුමන් පාවිලා වේදිකාවේ ඇසෙයි. නාටිකාංගනාවන් සැනසුම් සුසුම් හෙළා පෙන්වති. ඒ පිඹිල්ලේ සැරට වේදිකාව පහළ නිල්කමල් පුටු පවා විසි වේ. අනතුරුව සඳකැන් වතුරෙන් නෑවෙන ඔවුන් සබන් ගා කුණු අතුල්ලාගෙන සඳකැන් වලින් දියරෙදි පවා හෝදා ගනිති. උරගා වන්නමෙන් තරු මල් අතරින් රිංගන්නේත් තනිකර දා කොහි යන්නේද යන්න පොලිස් කෝලම ඇසුරෙන් විමසන්නේත් ඉන් අනතුරුවය. නමුත් ඇඳුම් වර්ණවත් බැවින් නැටුම මනරම් ය.
නළඟන විකාර දැක අප කළකිරුණ ද ඩ්‍රයිවර් මහතා තවමත් පෘථග්ජනය. ඉතින් අපට ගිහි ගෙයින් නික්‍මෙන්නට ලේසියෙන් බැරිය. නේරංජනාවට මෙහා සිට බෙල් කළහොත් ඉසිපතනය හරියෙන් වත් බහින්නට පුළුවන. අපිට නිවන් යන්නට නම් ඩ්‍රයිවර් අයියාට මේ නැටුම් එපා විය යුතුය. එසේ වන්නට නම් සංගීත සංදර්ශන වේදිකා වලට අටවන පඩිපෙල් ගැන දන්නා අයෙක් කවුරුන් හෝ " පැන පැන එන සඳේ - පියගැට පෙළ දිගේ " ගීතය ගායනා කළ යුතුය. එතකල් අපට සසර ගමන ලේසි වන්නේම නැත.

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. සහන් කියන්නේ රූප මැවෙන්න ලියන්න පුළුවන් කමක් තියෙන දක්ෂයෙක්.

    ReplyDelete