සැප්තැම්බර් 29 : පලස්තීන දරුවෙක් ගාසා තීරයේ දී වෙඩි හුවමාරුවකට මැදි වේ


2000 වසරේ අද වැනි දවසක ගාසා තීරයේදී වෙඩි වරුසාවකට මැදි වුණු දොළොස් හැවිරිදි පලස්තීන දරුවා "මොහොම්මද් අල් - දුර්වා" අවාසනාවන්ත ලෙස මිය ගියේය .
ඒ වන විට ගාසා තීරය යනු හුදෙක්ම මරණය සින්නකර ගත් බිම්කඩක් පමණකි. අහිමි වන එක් ජීවිතයක් ගාසා තීරයේ වැතිරී රුධිරයෙන් නැහැවෙන වැලි කැටයකට වඩා වැඩි වෙනසක් නොලද යුගයක මොහොම්මද් අල් - දුර්වා ගේ මරණය සුවිශේෂී වන්නේ එය කැමරා කාචයක සටහන් වූ නිසාම ය. හිස අසළින් පියඹා යන වෙඩි උණ්ඩ දැක බියෙන් තැති ගන්නා දරුවෙක් - තමාව තරයේ වැළඳගෙන හඬන පුතුගේ ජීවිතය අයදින අසරණ පියෙක් - දේශපාලනික අරමුණ හඳුනන නුමුදු දොළොස් හැවිරිදි දරුවා නොහඳුනන වෙඩි උණ්ඩ .... අවසානයේ මොහොම්මද් අල් - දුර්වා ගේ බිය පහ විණ. දුර්වල ව අඩපණ වී සිටින තම පියාගේ උකුළෙහිම ඔහු අවසන් ගමන් ගොස් තිබිණ. ඊශ්‍රායල රජයේ සිත් පිත් රහිත ප්‍රහාරයන් පිළිබඳව ලොවටම හෙළි කළ මොහොම්මද් අල් - දුර්වාගේ ඉරණම ඉතිහාසයට එක් විය. නමුත් අද ඔහු නැත. සමස්ත පලස්තීන ජාතිය වෙතම ලෝක අවධානය දිනා දුන් දොළොස් හැවිරිදි දරුවා ගාසා තීරය මධ්‍යයෙහි පිහිටි බුරේජි සුසාන භූමියේ නොගැඹුරු තැනක මිහිදන් ව සිටී.

නිමා නොවන යුධ සටන් මැද ඊශ්‍රායලයට සහ පලස්තීනයට අහිමි වූ මොහොම්මද් අල් - දුර්වා ලා ඕනෑ තරම්ය. යුද්ධයකට ජයග්‍රහණයක් තිබිය නොහැක්කේද එබැවිනි. පරාජය මිහිදන් කළ සොහොන්කොත් මැද හිඳ ජයග්‍රහණයේ සවුදිය පුරන්නට මනුසත් කුලයට හැකිද යන්න අදටත් ගැටළුවකි.

ඉදින් මෙසේ පැවසිය යුතුමය. යුද්ධයක් යනු මිහිදන් කළ යුතු නපුරු සිහිනයක් විනා එහි වනපොත් කරන්නට හෝ අයිතිවාසිකම් කියන්නට ඇති විජයග්‍රාහී බවක් නොමැත.
"ලේ සලකුණු පමණයි රණ බිමක ඉතිරිවන්නේ
මේ කඳුළුම පමණයි රණ හඬට නෙත උනන්නේ"
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment