අගෝස්තු 26 : චික්තිසීය ගබ්සාවකට මුහුණ දුන් ෂෙරී ෆින්ක්බයින් නැවතත් ඇමරිකාවට ළඟා වේ


1962 වසරේ පෙර අද වැනි දවසක මහජන විරෝධය නොතකා චික්තිසීය ගබ්සාවකට මුහුණ දුන් ෂෙරී ෆින්ක්බයින් නැවතත් ඇමරිකාවට ළඟා වූවාය.
ඒ වනවිටත් සිව් දරු මවක් වූ තිස් හැවිරිදි ෂෙරී ෆින්ක්බයින් (Sherri Finkbine) රූපවාහිනී ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස නම් දිනා සිටියාය. Romper Room නම් වූ ළමා වැඩසටහන් මාලාවේ Arizona ප්‍රාන්තය සඳහා වූ වරලත් වැඩසටහන මෙහෙයවූයේ ෂෙරී විසිනි. තම පස් වැනි දරුවා ප්‍රසූත කිරීම සඳහා සූදානම් ව සිටි ෂෙරීට දැනගන්නට ලැබෙන්නේ තම කළලයේ විකෘතිතාවක් ඇති බවය. ඒ පිළිබඳව දිගින් දිගට විමසන විට එයට හේතුව හෙළිදරව් විය. පාසලක ශිෂ්‍ය භාරකරුවෙක් ලෙස සේවය කළ ඇයගේ සැමියා තම භාවිතයට ගෙනැවිත් තිබූ වේදනා නාශක පෙති තිහකට වැඩි ප්‍රමාණයක් වරින් වර භාවිතා කළ බව ෂෙරී පවසා සිටියාය. නමුත් ඇගේ සැමියා ඒ බව දැන හිඳ නැත. ගර්භණී සමයේ උදෑසන අවදියත් සමග ඇති වන වේදනාව මග හරිනු පිණිස භාවිතා කර තිබූ එම පෙති Thalidomide අන්තර්ගත ප්‍රතිජීවක ඖෂධ බව හෙළිදරව් විය. Thalidomide අඩංගු ඖෂධ 1957 වසර වන විට බටහිර ජර්මනියේ කවුන්ටරයෙන් මිලදී ගත හැකි තත්ත්වයක් තිබු අතර වසර කිහිපයක් තුළ දී වාර්තා වූ මළදරු උපත් , ආබාධිත සහ ප්‍රබල විකෘතිතා සහිත උපත් නිසා එම ඖෂධය ගැබිණි සහ කිරිදෙන මවුවරුන් හට අන්තරාදායකයැයි නම් කිරීමට සිදු විය.
කළලයේ විකෘතිතාව සහ ඖෂධ වල බලපෑම අනුව චික්තිසීය ගබ්සාවකට (Therapeutic Abortion )මුහුණ දෙන ලෙස ෂෙරී හට අවවාද කරන්නේ ඇගේ චිකිත්සකයා විසිනි. ඇරිසෝනා ප්‍රාන්තය තුළ එම කාණ්ඩයේ ගබ්සාවකට පමණක් නීතියෙන් අවසර තිබිණ. ඒ අනුව ගබ්සාව සඳහා සූදානම් වන ෂෙරී ෆින්ක්බයින් The Arizona Republic පුවත්පතට තමා මුහුණ දුන් අභාග්‍යසම්පන්න ඉරණම හෙළිකර Thalidomide ඖෂධය පිළිබඳව ගර්භණී මව්වරුන් සහ පොදු සමාජය දැනුවත් කරන්නැයි ඉල්ලා සිටියාය. තම අනන්‍යතාව හෙළිදරව් නොකර නිර්නාමිකව මේ පුවත පළ කරන්නැයි ඇය අවධාරණය කර සිටියද පොරොන්දුව රැකීමට පුවත්පත සමත් වූයේ නැත. එක් රැයක් එළි වන විට මේ මව ෂෙරී ෆින්ක්බයින් බව ප්‍රාන්තයම දැනුවත් විය.
කැළඹුණු මහජනතාව විවිධ ලෙස තම ප්‍රතිචාර දක්වන්නට වූ අතර මේ නොසන්සුන්තාව නිසා ගබ්සාව සිදු කිරීමේ තීරණය අතිහිටුවන්නට ප්‍රාන්ත රෝහල කටයුතු කළහ. තම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අධිකරණයට යන චිකිත්සකවරයා සූදානම් ව සිටි පරිදි ගබ්සාව සිදුකරන ලෙස රෝහලට නියෝග කරන්නැයි ඉල්ලා සිටියේය. නමුත් අධිකරණය තමන්ට එවනි තීන්දුවකට අවසර නැතැයි පවසා එම ඉල්ලීම ඉවත දැමීය.
මේ සමගම පුවත් මවන්නියක බවට පත්ව සිටි ෂෙරී ෆින්ක්බයින් ඇමරිකාවේ කතාබහට ලක්වන චරිතයක් බවට පත් විය. තර්ජන , අපහාස කිරීම් සහ අසභ්‍ය වදන් සහිත ලිපි දිනපතා ලැබෙන්නට විය. මරණ තර්ජන ද අඩුවක් නොවිණ. ෂෙරී ෆින්ක්බයින් ඇය සේවය කළ රූපවාහිනී වැඩසටහනින් නෙරපා හරින ලද අතර සැමියාට පාසැල් රැකියාවද අහිමි විය. දරුවන් සිවුදෙනා සමාජය විසින් ප්‍රතික්ෂේප වූ අතර ෆින්ක්බයින් පවුලම පාපතරයින් ලෙස ගර්හාවට ලක් විය. නමුත් මේ කිසිදු කරුණකින් තම සටන අත් නොහරින ෂෙරී ජපානය වෙත ගොස් නීත්‍යානුකූල ගබ්සාවක් සිදුකර ගැනීමට උත්සාහ කළ අතර ජපාන රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමෙන් එය වැළකිණ. අනතුරුව ඇය තෝරාගන්නේ ස්වීඩනය යි.
තම සැමියා සමග ස්වීඩනය බලා පිටත් වූ ෂෙරී 1962 අගෝස්තු 17 වැනිදා ස්වීඩනයේ රාජකීය වෛද්‍ය සභා කවුන්සිලයේ අනුමැතිය දිනා ගන්නීය. ඇයගේ මානසික යෝග්‍යතාව වර්ධනය කරනු පිණිස දිනක විවේකයක් ලබා දෙන ස්වීඩන වෛද්‍යවරුන් පසුදින ගබ්සාව සිදු කරන ලදි.
එහි වූයේ පාද රහිත , එක් අතක් පමණක් ඇති ස්ත්‍රී පුරුෂතාව වටහා ගත නොහැකි විකෘති කළලයකි.
1962 අගෝස්තු 26 වැනිදා ඇමරිකාවට පය තැබූ ෂෙරී ෆින්ක්බයින් පසු කාලීනව තවත් දරුවන් දෙදෙනෙක් ප්‍රසූත කළ අතර ඒ අනුව ඇය සය දරු මවක් බවට පත් වන්නීය.
හිමෝෆීලියාව සඳහා රුධිර පාරවිලනය කිරීමේදී HIV වෛරසය ආසාදනය වූ 13 හැවිරිදි රයන් වයිට්ව 1984 දී පාසලින් නෙරපා හරින්නේත් , ඖෂධ සංකූලතාවයකින් කළලය විකෘති වූ විට ගබ්සා කරන්නට අවසර ඉල්ලන ෂෙරී ෆින්ක්බයින්ව 1962 දී රැකියාවෙන් නෙරපා දමන්නේත් ඇමරිකා එක්සත් ජනපදය තුළය. නමුත් අද වන විට ඇමරිකාව ළිං කටෙන් ගොඩ විත් ඇති බව අමුතුවෙන් පැවසිය යුතු නැත.
සුළඟින් ඒඩ්ස් බෝ වන බව විශ්වාස කරන පාසල් සහ ගම්මාන තිබෙන රටවල් ඒ ළිං කටෙන් ගොඩට එන දිනයක් ගැන අනුමාන කිරීම අසීරු කරුණකි.
x
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. We are still away from the world or people still don't want to think as they live in the world. Majority think we live in the country ( srilanka) and the world is part of it.
    People don't like new ideas and most of school teachers want their students to follow the same syllabus which they used to follow.
    I was taught at school not to be naughty but realized it was another way of controlling who is being different.

    ReplyDelete
  2. By the way Ireland recently legalized abortions. Giving women to make a their choices. Atleast those women are brave.

    ReplyDelete