බේලා සහ මාර්තා කාරොල්යි : ජිම්නාස්ටික් පිටියේ ඉන්ද්‍රජාලික යුවළ


2016 රියෝ ඔලිම්පික් කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නේ ඇමරිකානු කාන්තා කණ්ඩායම ය. ඇමරිකානු සිහිනයක් ව තිබූ මේ රන් පදක්කම මුල්වරට සැබෑවක් වන්නේ 1996 ඇට්ලන්ටා උළෙලේ දීය. පුහුණුකරු වන්නේ බේලා කාරොල්යි ය. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී යළිත් මේ සිහිනය සැබෑ වන අතර එම උළෙලේ මෙන්ම 2016 දීත් ඇමරිකානු පුහුණුකාරිනිය වන්නේ මාර්තා කාරොල්යි ය.
මෙවර රන් පදක්කම ඇමරිකාවටය.. ඒ පසුපස සිටින්නේ අප්‍රිකානු - ඇමරිකානු යුවතියක් , යුදෙව් - ඇමරිකානු යුවතියක්, පුඑටෝරිකානු - ඇමරිකානු යුවතියක් , යුරෝපා - ඇමරිකානු යුවතියක් සමග සුදු ඇමරිකානු යුවතියක් ය. ඔවුන් ගේ පුහුණුකාරිණිය 80 දසකයේ රුමේනියාවෙන් පළා ආ මාර්තා කාරොල්යිය.
2016 රියෝ ඔලිම්පික් : කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම ඇමරිකාවට 
 1976 මොන්ට්‍රියල් උළෙලේ මවිත කරවන්නී 14 හැවිරිදි රුමේනියානු ක්‍රීඩිකාව නඩියා කොමනේච් ය. ලොව පළමු වරට ජිම්නාස්ටික් ඉසව්වක දී ලකුණු 10/10 ලබා ගත් නඩියා ගේ පුහුණුකරුවන් වන්නේ මේ ඉන්ද්‍රජාලික කාරොල්යි යුවළ ය. රුමේනියානු රජයේ අමනෝඥ ප්‍රතිපත්ති වලින් කළකිරෙන ඔවුන් දෙපළ 1981 දී සංචාරයක් අතරතුර ඇමරිකාවේ දේශපාලන රැකවරණ ලබති. 


1976 මොන්ට්‍රියල් ඔලිම්පික් : නඩියා කොමනේච්  - ලෝක වාර්තා බිඳ හෙළමින් She's Perfect - But Olympics are in trouble ( Time Magazine 1976 August ) 




1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ දී මේරි ලූ රෙට්න්  ඇමරිකානු ජිම්නාස්ටික් ඉතිහාසය කණපිට හරවමින් All Around ඉසව්වේ රන් පදක්කම දිනන්නීය. ඒ රුමේනියාවට සම්පතක් නොවූ ඉන්ද්‍රජාලිකයා බේලා ගේ පුහුණුවීම් යටතේය. 



1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් :  මේරි ලූ රෙට්න්  
1996 ඇට්ලන්ටා උළෙලේ දී ඉතිහාසයේ මුල් වරට ඇමරිකාවට කාන්තා කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම හිමි වේ. වළලුකර කැඩී තිබියදී රන් පදක්කම වෙනුවෙන් ජයග්‍රාහී පිම්මක් පනින්නට ඉතිහාසගත ක්‍රීඩිකාව කෙරී ස්ට්‍රග් පොළඹවන්නේ ද මේ ඉන්ද්‍රජාලික පුහුණුකරු බේලා කාරොල්යි මය. 2012 සහ 2016 දී රන් පදක්කම් ඩැහැ ගන්නේ ඔහුගේ භාර්යාව , මාර්තා ගේ පුහුණුවීම් යටතේ ය.


1996 ඇට්ලන්ටා ඔලිම්පික් :  කෙරී ස්ට්‍රග්
පාදය බිඳී තිබියදී රන් පදක්කම වෙනුවෙන් 
එදා සෝවියට් කඳවුරේ බලපරාක්‍රමය යටතේ තිබූ ජිම්නාස්ටික් ක්‍රීඩාව ඇමරිකානු ආධිපත්‍ය ට ලක්ව ඇති බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. 
රට වෙනුවෙන් කැපවුණු මිනිසුන්ට ගරහන , ඔවුන් ව අහිමි කර ගන්නා බලධාරීන් සිටින්නේ රුමේනියාවේ පමණක් නොවන බවද පවසමි.

බේලා - මාර්තා.... දසක හතරක් පුරා ජිම්නාස්ටික් පිටිය මවිත කළ ඉන්ද්‍රජාලිකයාණෝ ඔබමැය.

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment