ජූලි 29 : චාර්ල්ස් - ඩයනා විවාහය සාන්ත පාවුළු ආසන දෙව්මැදුරේ දී පැවැත්වේ


1981 වසරේ අද වැනි දවසක සියවසේ සරණ මංගල්‍යය හෙවත් චාර්ල් - ඩයනාගේ විවාහ මංගල්‍යය සිදු විය.
ඇය එවකට විසි හැවිරිදි ඩයනා ෆ්‍රැන්සිස් ස්පෙන්සර් (Diana Frances Spencer ) නම් වූ ලජ්ජාශීලි යුවතිය වූවාය. ඔහු තිස්තුන් හැවිරිදි චාර්ල්ස් පිලිප් ආතර් ජෝර්ජ් (Charles Philip Arthur George) නම් වූ ඔටුන්න හිමි වේල්ස් කුමරුය. සියවසේ සරණ මංගල්‍යය හෙවත් සිහින මංගල්‍යය සිදු වූයේ ඔවුනතර ය. එම සුන්දර සිහිනය අවසන් වූයේ අසුන්දර ඛේදවාචකයකිනි. නුමුදු අඳුරු අවසානය කෙළවර මෙබඳු සොඳුරු දිනයක් ද තිබී ඇත.

ලක්ෂ හයකට ආසන්න පිරිසක් ලන්ඩන් නුවර වීදි දෙපස රැඳී සිටියේ ඔටුන්න හිමි කුමරු සහ ඔහුගේ මනාලිය දැක ගැන්මේ අරමුණෙනි. එදින බ්‍රිතාන්‍යයට රජයේ නිවාඩු දිනයකි. නව යුවළ සාන්ත පාවුළු ආසන දෙව් මැදුරේ විවාහප්‍රාප්ත වන විට ආරාධිතයින් තුන් දහස් පන්සියයක් පමණ රැස් ව සිටියහ. ලොව පුරා මිලියන හත්සිය පණහක පමණ පිරිසක් මේ සියවසේ සරණ මංගල්‍යය රූපවාහිනියෙන් නරඹන්නට ඇත. එය ,එදා මෙදා තුර ලොව වැඩිම පිරිසක් නැරඹූ රූපවාහිනී වැඩසටහන ලෙස 1997 වසරේ සැප්තැම්බර් 06 වැනි දා වන තුරුම ඉතිහාසගත ව පැවතිණ. 1997 දී ලොවම කඳුලෙන් බලා සිටියේ 1981 දී ලොවම වසඟ කළ සුන්දර මනාලිය වූ ඩයනා ගේ අවසන් ගමනෙහි කතා පුවතය.
"ඩයනා කියෙව්වා නම් කියෙව්වේ මගෙ පොත් විතරයි. ඒත් ඒවත් එයාට ඒ තරම් හොඳ පොත් නෙමෙයි " මෙසේ පැවසුවේ ලෝ ප්‍රකට ලේඛිකා බාර්බරා කාර්ට්ලන්ඩ් ය (Barbara Cartland). ඇය නැදෑකමින් ඩයනා හට මිත්තණියක වූයේ ඩයනාගේ පියාගේ දෙවනි බිරිඳ යනු බාර්බරා ගේ එකම දියණිය වූ බැවිනි. නමුත් බාර්බරා හට ඩයනාගේ විවාහ මංගල්‍යයට ඇරියුම් කර නොතිබිණ. ඇය පසුකාලීනව ඩයනාගේ දික්කසාදය ප්‍රසිද්ධියේ විවේචනය කළාය. නමුත් වසරක් ගත වන්නට මත්තෙන් එම එදිරිවාදීකමට නැවතීමේ තිත තබන්නට බාර්බරා හට සිදු විය. මන්ද යත් දික්කසාද වී වසරක් ගත වන විට ඩයනා මොලොව හැර ගොස් තිබිණ.

ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු වරදවමින් , පටලවමින් තම විවාහ ගිවිසුම දුන්නේය. " මා සන්තක සියලුම දෑ " හෙවත් my worldly goods යන්න වෙනුවට ඔහුගෙන් පිට වූයේ " තොපගේ දෑ " හෙවත් thy goods යන්න ය. ගිවිසුම එලෙසින්ම ඵල දැරීය. ඩයනා 1996 දී තමා සතු දෑ සමග චාර්ල්ස් කුමරුගෙන් වෙන් වී රාජකීය යුගයට නැවතීමේ තිත තැබුවාය. ඒ වන විටත් ඇල්මැරුණු රාජකීය ප්‍රේමය දෙදරා ඉරි තලා තිබිණ. ඩයනා ආදරය සොයමින් ආදරය බෙදමින් සුවඳවත් කුසුමක් ව ලොව පුරා සැරිසරමින් සිටියාය.
"ඇය කිසිදිනෙකත් පිරිමියෙක්ව හරියට වටහා ගත්තේ නැහැ. ඇත්ත වශයෙන්ම ඔබ දන්නවා ; කොතැනද වැරදුණේ කියලා" වරක් බර්බරා කාර්ට්ලන්ඩ් නිර්දය ලෙස ඩයනාගේ පෙම් පුවත් විග්‍රහ කළාය . නමුත් එය සැබෑවක් නොවේදැයි සිතෙන්නේ ඉතිහාසය පිරික්සා බැලීමෙනි. දෑඟිලි බැඳි හුය අමතක කළ ඩයනා සහ චාර්ල්ස් වෙන් වෙන් වූ ගමන් මගක යෙදී සිටියහ. එගමන්මග ඩයනාගේ ආදරය දිනූ බොහෝ දෙනෙක් පසුකාලීනව ඒ පෙම් කතාවන්හි පුවත් වටිනාකමට ලොබ බැඳ සියලු දෑ ලොවට අනාවරණය කරන්නට තරම් චපල වූහ. නමුත් චාර්ල්ස් - ඩයනා ප්‍රේම වෘතාන්තයේ සදාතනික තුන්වැන්නා වූ කැමිලා පාර්කර් බෝල්ස් (Camilla Parker Bowles) එදා සිටම නොවෙනස් ව චාර්ල්ස් හට සමාන්තරව ගමන් ගන්නී, 2005 වසරේ දී චාර්ල්ස් කුමරු සමග විවාහ වන්නීය. බාර්බරා ඩයනා ගැන පැවසූ දෑ බොරුවක් කරන්නට යම් තරමකින් හෝ සමත් වන්නේ ඩොඩී අල් ෆයේඩ් (Dodi Fayed) පමණ ය. ඩයනා ගේ වේදනාබර අවසන් ගමනේ දී අත අත නෑර ඇය සමග ගමන් කළ පෙම්වතා වූයේ ඔහු ය.
සියවසේ සරණ මංගල්‍යය එලෙස ඉතිහාසයට එක් විය.

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment