උරය පලා සැතකින් බලන් රුහිරූ : ඉලංචේලියන් vs සරත් හේමචන්ද්‍ර


යාපනයේ මහාධිකරණ විනිසුරු මානික්කවාසහර් ඉලංචේලියන් මහතාට ආරක්ෂාව සපයන්නට ගොස් වෙඩි වැදීමෙන් මියගියේ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාය. මියගිය සැරයන්වරයාගේ බිරිඳ ඇතුළු ඥාතීන් හමුවීමට ගිය විනිසුරුවරයා ඔවුන් ඉදිරියේ අතිශය සංවේදීව හැසිරුණු ආකාරය මාධ්‍ය වල පළවීමත් සමගම එම සිංහල - දෙමළ හැඟීම සහ හෘද සාක්ෂියේ කතාව පිළිබඳ කතිකාවක් ගොඩ නැගෙමින් පවතී. තල් කොළය සහ පොල් කොළය ගැන විෂය නිර්දේශයට අනුව කවි ලියන අධ්‍යාපන පසුබිමකින් පැවත එන අපට සැබෑ මනුෂ්‍ය හැඟීම් සහ හෘද සාක්ෂිය වටහා ගැනීම පහසුවෙන් කළ හැකිද ?
I'll stand with you ....එසේ පැවසුවේ ඕස්ට්‍රේලියානු කෙටි දුර සූර පීටර් නෝර්මන් ය. 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ මීටර 200 රිදී පදක්කම ඔහුට හිමි වන විට එහි රන් සහ ලෝකඩ පදක්කම් හිමිවන්නේ ඇමරිකානු කළු ජාතිකයින් දෙදෙනෙක්ට ය. ඔවුන් දෙදෙනා තම රට තුළ කළු ජාතිකයින්ට සිදුවන අසාධාරණයට එරෙහිව පදක්කම් ප්‍රදානයේදී ලෝප්‍රකට Black Salute විරෝධතාව ප්‍රකාශ කළේය. ඇමරිකානු ජාතික ගීය වාදනය වන විට බිමට නැඹුරු කරගත් හිසින් යුතු ඇමරිකානු ක්‍රීඩකයින් දෙදෙනා කළු පැහැ අත්වැසුම් පැළැඳි අතක් ඔසවා තම විරෝධය පළ කළේය. ජෝන් කාර්ලෝස් සහ ටොමී ස්මිත් නම් වූ කළු ජාතිකයින්ගේ වේදනාවට එක් වන සුදු ජාතික ඕස්ට්‍රේලියානුවා මුලදීම පවසන්නේ 'I'll stand with you' යනුවෙනි. ඔහු පදක්කම් ප්‍රදානයට එන්නේ වෙනත් ඇමරිකානු ක්‍රීඩකයෙක්ගෙන් ඉල්ලාගත් ඔලිම්පික් මානව හිමිකම් ව්‍යාපෘති පදක්කමක් [ Olympic Project for Human Rights (OPHR) ] පැළඳගෙනය. එම පදක්කම ඇමරිකානු ක්‍රීඩකයින් දෙදෙනා ද පැළඳ සිටියහ, අවසානයේදී නැවත මව් රට බලා යන පීටර් නෝර්මන් ගේ මළල ක්‍රීඩා දිවියට නිල නොවන තහංචි පැනවේ. 1972 ඔලිම්පික් උළෙලේ පරිසාධන මට්ටම ඉක්මවා තිබුණද ඔහුව ඔලිම්පික් සංචිතයට ඇතුළත් කර නොගනී. අදටත් මීටර 200 ඕස්ට්‍රේලියානු ජාතික වාර්තාව හිමි වන්නේ පීටර් නෝර්මන්ට ය. නමුත් 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී නෝර්මන් කෙනෙක් පිළිබඳව සඳහනක් ද නොවීය.
කළු ජාතිකයාගේ වේදනාවට සංවේදී වූ සුදු ජාතිකයා ලොවෙන් හුදෙකලා වී 2006 වසරේ දී වයස 64 ක් ව සිටියදී ඕස්ට්‍රේලියාවේ දී මිය යන්නේය. ඇමරිකානු ජාතිකයින් දෙදෙනා ජෝන් කාර්ලෝස් සහ ටොමී ස්මිත් ඕස්ට්‍රේලියාවට පැමිණ තමා වෙනුවෙන් නිහඬ අරගලයක යෙදී ක්‍රීඩා දිවියම අඳුරු කරගත් මිනිසාගේ නිසල දේහයේ බර දැරීය. කාර්ලෝස් සහ ස්මිත් ගේ හෘද සාක්ෂිය අවදිවන්නේ එලෙසිනි. " මම ඒ මොහොතේ ඔහුගේ ඇස් වලින් බියක් බලාපොරොත්තු වුණා" කාර්ලෝස් අවමංගල්‍යොත්සවය අමතමින් පැවසීය. "නමුත් මම පීටර් ගේ ඇස් තුළින් දැක්කේ දයාව"
හෘද සාක්ෂියට කළු සුදු භේදයක් නැත. කෘතගුණයට උස් පහත් භේදයක් නැත. අවශ්‍යවන්නේ ඒ සඳහා වූ පෙළඹවීම පමණකි.
1996 ජනවාරි 31 වැනිදා ජීවිත 78 ක් උදුරා ගත් මහ බැංකු බෝම්බය පුපුරා ගියේය. එවකට මහ බැංකු අධිපති ව සිටි ඒ ඒස් ජයවර්ධන මහතා පෙබරවාරි 03 වැනිදා දිවයිනට මෙසේ පවසා සිටියේය. " අපේ ආරක්ෂක අංශය ඒ වෙලාවේ ක්‍රියා කළ ආකාරය ප්‍රශංසනීයයි. එක් ආරක්ෂක නිළධාරියෙක් බිම දිගේ ඇදීගෙන ගොස් යකඩ ගේට්ටුව වසා නොදැම්මා නම් සිදුවන විනාශය මීට වඩා අතිශයින් දරුණු වීමට ඉඩ තිබුණා. එම යකඩ ගේට්ටුව වසා නොදැම්මා නම් බෝම්බ ලොරිය බැංකු ගොඩනැගිල්ලේම හප්පන්නට තිබුණා."
මහ බැංකු බෝම්බය අදටත් මතක අපට එම ආරක්ෂක නිළධාරියා මතකද යන්න හරහා හෘද සාක්ෂියේ සහ කෘතගුණයේ ලිට්මස් පරීක්ෂාව පැවැත්විය හැකිය.1996 බෝම්බය පුපුරන විටත් දෙවැනි ශ්‍රේණියේ ආරක්ෂක නිළධාරියෙකු වූ සරත් ජයසිරි ට ඊ ළඟ ශ්‍රේණියට උසස්වීම ලැබෙන්නේ 2000 වසරේ දීය. සිත් වේදනා , කළකිරීම් සහ ඉච්ඡා භංගත්වය සමග සිරෝසිස් රෝගයෙන් මිය යනතුරුම සරත් ජයසිරි හට මහ බැංකු බෝම්බ වික්‍රමයෙන් උරුම වී තිබුණේ එකම එක දෙයකි. ඒ දැක්වූ මෙහෙවර වෙනුවෙන් දෙසිය දෙනෙකුට පිරි නැමූ ඇගයුම් සහතික පතක් පමණි.
අපේ කොදෙව්වේ , යුධමය පසුබිමක මහබැංකුව බේරාගත් සරත් ජයසිරිට ඇගයුම් ලැබුණේ එලෙස නම් ඉලංචේලියන් ගේ ආරක්ෂාවට සිටින සරත් හේමචන්ද්‍ර ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත. හෘද සාක්ෂිය අවදිවන්නේ එක් එක් ආකාරයෙනි.
උරය පලා සැතකින් බලන් රුහිරූ - එක රත් පැහැයෙන් ගලා හැලෙන අයුරූ
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. සැබෑ වීරයින්ට ඇගයීමක් ලැබෙන්නෙ නෑ කොතනත්..

    ReplyDelete
  2. විනිසුරුතුමා ඇඩුව හින්දායි මේ මිය ගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාව කවුරුත් අගය කරන්නේ.( විශේෂයෙන්ම දෙමළ ජන සමාජය ) එහෙම නොවුනානම් මියගිය තවත් එක් පොලිස්කාරයෙක් විතරක් ලෙසින් කවුරුත් අමතක කරලා දානවා.

    ReplyDelete