ජූලි 18 : නඩියා කොමනේච් ගේ Perfect 10 ජිම්නාස්ටික් ඉතිහාසය කළඹයි


1976 වසරේ අද වැනි දවසක රුමේනියාවේ නඩියා කොමනේච් ලෝක ජිම්නාස්ටික් ඉතිහාසය කණපිට හරවන්නට සමත් වූවාය.
මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ ජිම්නාස්ටික් තරග ඇරඹිණ. සියලුම මාධ්‍ය කැමරා සෝවියට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතම යොමු වෙමින් තිබූ අතර කාන්තා තරග බිමේ වැඩි අවධානය හිමිව තිබුණේ සෝවියට් පිලෙහි ඔල්ගා කෝර්බට් (Olga Korbut) , ලුද්මිලා ටෙරිෂෙවා (Ludmila Tourischeva) සහ නෙලී කිම් (Nellie Kim) දෙසය. මේ දැවැන්ත ක්‍රීඩිකාවන් අතර වල්මත් ව සිටි මාධ්‍යවේදීන්ගේ ඇස නොගැසුණු සිටි එක් රුමේනියානු ක්‍රීඩිකාවක් තරග බිමට පිවිසුණාය. ඇය 14 හැවිරිදි නඩියා කොමනේච් (Nadia Comăneci) ය. ඉසව්ව Uneven Bars හෙවත් "අසම සම පෝල " ඉසව්වය. නරඹන්නන් විස්මයට පත් කරමින් රිද්මයානුකූලව සහ තාක්ෂණානුකූලව කරණම් හි යෙදෙන ඇය විශිෂ්ට නිමාවක් සමගින් ස්ථාවරව පොළොව මතට පිවිසෙන්නීය. ප්‍රේක්ෂකාගාරය සිසාරා අත්පොළොසන් නැගුණේ මේ ලාබාල ක්‍රීඩිකාවගේ විස්මයජනක ප්‍රතිභාව අගයනු පිණිසය. ලකුණු 10 න් 9 ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇයට හිමි වන බව නිසැක කරුණකි. නඩියා කොමනේච් ඒ අතරවාරයේ විමසුම් සහගත දෑසින් තම කණ්ඩායම් සගයින් කරා පිය නැගුවාය. එක්වරම ඇයගේ ලකුණු ප්‍රමාණය විද්‍යුත් ලකුණු පුවරුවේ දිස්වන්නට විය.
ඉතිහාසගත පිම්මකින් අසමසම පෝලය කළඹන නඩියා 
"1.00" සියලුම ප්‍රේක්ෂකයින් , ක්‍රීඩක ක්‍රීඩිකාවන් විස්මයෙන් ඇළලී ගියේ නඩියා කොමනේච් පෙන්වූ දස්කම් අනුව ඇයට පහසුවෙන්ම ලකුණු 09/10 කට වඩා ලකුණු සංඛ්‍යාවක් ඉක්මවා යා හැකි බව සක්සුදක් සේ පැහැදිලි බැවිනි. ඇය විස්මයෙන් සහ ප්‍රශ්නකාරී බැල්මෙන් බලා සිටින්නීය. ඒ අතරවාරයේ තරග තීරකවරයා ප්‍රේක්ෂකාගාරය අමතමින් ඉතිහාසගත ප්‍රකාශයක් නිකුත් කළේය. " ලකුණු පුවරුවේ 10/10 පෙන්වන්නට පහසුකම් නැත. රුමේනියාවේ නඩියා කොමනේච් ඔලිම්පික් ඉතිහාසයේ මුල් වරට සමස්ත ලකුණු ප්‍රමාණයම (Perfect 10) දිනා ගත් ක්‍රීඩිකාව බවට පත් වේ " ඒ සමගම නැගෙන මහත් ඔල්වරසන් සහ ප්‍රීති ඝෝෂා මැද යළිත් ඉදිරියට එන මේ දහ හතර හැවිරිදි ක්‍රීඩිකාව අත වනා තම ආචාරය පුද කර සිටියාය.
සෝවියට් ආධිපත්‍ය ට අභියෝග කළ 14 හැවිරිදි දැරිය - නඩියා 
නඩියා කොමනේච් සනිටුහන් කළේ ලෝක ක්‍රීඩා ඉතිහාසයේ අමරණීය සංධිස්ථානයකි. 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ නිල ලකුණු පුවරු සපයන්නා වූයේ Omega ආයතනය ය. ජිම්නාස්ටික් ලකුණු පුවරුව සඳහා ඉලක්කම් දෙකක අගයකින් යුතු ලකුණු පුවරුවක් අවශ්‍යද යන්න ඔවුන් උළෙලට පෙර ඔලිම්පික් කමිටුවෙන් විමසා තිබිණ. නමුත් පිළිතුර වන්නේ මෙවැන්නකි " එක් ඉලක්කමක් සහ දසම ස්ථාන දෙකක් තිබීම ප්‍රමාණවත්. නමයයි දසම ගණනක් හැරෙන්නට දහයෙන් දහයම ලබා ගැනීමට කිසිම අවස්ථාවක් නැහැ" ඒ අනුව Omega ආයතනය තම ලකුණු පුවරුව සකස් කළේය. රුමේනියාවෙන් පැමිණෙන දහ හතර හැවිරිදි කෙල්ලක ඒ තාක්ෂණය පරදවා යමින් ලකුණු දහයෙන් දහයම දිනා ගන්නීය.
බේලා කාරොල්යි ගේ රුමේනියානු බලාපොරොත්තු 
මොන්ට්‍රියල් උළෙල අවසාන වන විට ලකුණු පුවරුව එක් වරක් නොව හත් වතාවකදී ම නඩියා හට පරාජයට පත් වී තිබිණ. රන් පදක්කම් 3 ක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ඇය ගේ ගෙල වටා විය. අදටත් ලොව ලාබාලතම ඔලිම්පික් රන් පදක්කම් ලාභිනිය ලෙස නඩියා කොමනේච් සඳහන් වන අතර එය කිසිවෙකුට බිඳිය නොහැකි වාර්තාවකි. මන්ද , පසුකාලීනව ඔලිම්පික් සඳහා වූ අවම වයස් සීමාව අවුරුදු 16 ලෙස සංශෝධනය කළ බැවිනි.
1980 වසරේ මොස්කොව් ඔලිම්පික් උළෙලේදීත් 18 හැවිරිදි නඩියා කොමනේච් රන් සහ රිදී පදක්කම් දෙක බැගින් දිනා ගන්නීය. අනතුරුව එළැඹෙන්නේ 1981 වසරේ ඇමරිකානු සංචාරය යි. අවසන් දිනයේදී නඩියා ගේ ඉන්ද්‍රජාලික පුහුණුකරු යුවළ වූ බේලා කාරොල්යි (Béla Károlyi) සහ මාර්තා කාරොල්යි (Márta Károlyi) ද ඔවුන්ගේ නර්තනාංග පුහුණුකරුද ඇමරිකාවේ සැඟව දේශපාලන රැකවරණ පතන අතර නඩියා පමණක් ආපසු රුමේනියාවට පැමිණෙන්නීය. මේ සියල්ලටම ඒ වනවිට රුමේනියාව ගෙනයමින් තිබූ අන්ත දරදඬු පාලනය හේතු වී තිබූ අතර බලධාරීන් තම ජාතික සම්පත් කෙරෙහි ඇති කළ අනවශ්‍ය පීඩනය සහ බලපෑම ඔවුන් හට දරා ගන්නට නොහැකි විය. අවසානයේ ඉතිරි වන්නේ ලෝක පූජිත ක්‍රීඩිකාව නඩියා කොමනේච් පමණ ය.
බේලා : ඉතිහාසය වෙනස් කර වර්තමානයේ ද සිනාමුසුව 
ඉන් අනතුරුව නඩියාගේ ජීවිතය සිපිරි ගෙයක් හා සම වේ. රටින් පිටවීම තහනම් වන නඩියා හට 1984 ලොස් ඇන්ජලීස් උළෙලන් ලැබෙන ආරාධිත සහභාගීත්වය සඳහා අවසර ලැබෙන්නේ රුමේනියානු රජය විසින් යෙදූ ශරීරාක්ෂකයින් ද සමගිනි. තනිව වැසිකිළියට යාමට පවා අවසර නොලැබ ලොස් ඇන්ජලීස් සිට ආපසු එන නඩියා නැවතත් තම උපන්බිමේ සිරකාරියක් වන්නීය. " ජීවිතය ..... ජීවිතය මහත් හිස් බවකින් වෙළී ගියේය. " ඇය තම දිනපොතේ ලියන්නීය. නමුත් සෝවියට් සමූහණ්ඩුවේ බලය බිඳ වැටෙමින් තිබෙන අතරවාරයේ රුමේනියාව තුළ මහජන කැරළි හටගැනීම නඩියාගේ ජීවිතයේ ඉරණම තීරණය කරයි. 1989 නොවැම්බර් 27 වැනිදා එනම් රුමේනියානු විප්ලවයට සති කිහිපයකට පෙර ඇය තම නිදහස පතා අවදානම් සහගත පලායාමකට එකඟ වන්නීය. දේශ සීමා හරහා රාත්‍රී කාලවල දී , පා ගමනින් ඔස්ට්‍රියාව , හංගේරියාව පසු කර යන මේ ලෝක ඉතිහාසය වෙනස් කළ ක්‍රීඩිකාව ඇමරිකා එක්සත් ජනපදයට ළඟා වෙයි. මාස කිහිපයක් තුළ රුමේනියානු විප්ලවය අවසන් වන අතර කැරළිකරුවන් විසින් දරදඬු පාලක චෞසෙස්කු සහ ආර්යාව වෙඩි තබා ඝාතනය කළහ.
ලෝක අවධානයට මැදි වූ රුමේනියානු දැරිය : නඩියා 
නඩියා කොමනේච් ඇමරිකානු ජිම්නාස්ටික් සූරයෙක් මෙන්ම ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකු වන බාර්ට් කෝනර් සමග විවාහප්‍රාප්ත වී ඇමරිකානු පුරවැසියෙක් වන්නීය. ඇයගේ ඉන්ද්‍රජාලික පුහුණුකරු යුවළ 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ සිට 2016 රියෝ ඔලිම්පික් උළෙල දක්වාම ඇමරිකානු කණ්ඩායම රන් පදක්කම් කරා මෙහෙයවන ගමනේ නියමුවන් ය. අද වන විට ජිම්නාස්ටික් පිටියේ සෝවියට් ආධිපත්‍ය බිඳ වැටී ඇති අතර කිරුළ හිමිව ඇත්තේ ඇමරිකාවට ය. රුමේනියාවේ ඉරණම කණගාටුදායකය.
ලෝක සිතියමේ කුඩා තිතක්ව තිබූ රටක් එක්තරා අවධියක ලෝකය හමුවට ගෙනගිය ඔවුහු එ රට විසින් ලබා දෙන පීඩනය නිසාම වෙන රටක සෙවණ පැතූහ. නඩියා , බේලා අහා මාර්තා වැන්නන් රට හැර යන අපේ ළමුන් සියල්ලම සරුංගල් නොවන බවට ජීවමාන සාධක වන්නාහ.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: