ජූලි 21 : සිරිමාවෝ බණ්ඩාරනායක ලොව ප්‍රථම අගමැතිවරිය ලෙස ඉතිහාසයට එක් වේ.


1960 වසරේ අද වැනි දවසක සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිවරිය ලෙස ඉතිහාසයට එක් විය.
1916 වසරේ අප්‍රේල් මස 17 වැනිදා රත්නපුර දිසාවේ බලන්ගොඩ මහවලතැන්නේ රටේ මහත්මා වූ බාන්ස්‌ රත්වත්තේ සහ මහවෙලතැන්නේ මහ කුමාරිහාමි යුවළට දාව බාල දියණියන් ලෙස උපන් සිරිමා රත්වත්තේ රත්නපුරේ ෆර්ගියුසන් උසස්‌ පාඨශාලාවෙන් සහ කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබීය. ඇය 1940 වසරේ දී විවාහ වන්නේ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හෙවත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක සමගිනි. 1951 වසරේ දී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවා ගන්නා බණ්ඩාරනායක මහතා 1956 පැවති මහ මැතිවරණයෙන් ජය ලබා ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍ය පදවියට පත් විය. 1959 වසරේ දී තල්දුවේ සෝමරාම නම් භික්ෂුවක විසින් වෙඩි තබන ලදුව එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වු අතර ඔහුගේ මරණයෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයට පත්වුවාය.
වැන්දඹු බව සහ දේශපාලනික හැරවුම් ලක්ෂ්‍යය - එක මොහොතක 
1960 ජුලි 20 පැවැති මහ මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය තරග කරන්නේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නායකත්වයෙනි. මැතිවරණ කොට්‌ඨාස 151 න් 75 ක්‌ ජය ලබන ඔවුහු සෙසු වමේ පක්‍ෂ සමග එක්ව ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමට සමත් වේ. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දෙද්දී ආසන 30 ක් ලැබූ එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් නායක ඩඩ්ලි සේනානායක මහතා විපක්‍ෂ නායක ලෙස පත් විය.
සිරිමාවෝ බවට ඉතිහාසගත වන තනි ගැහැණිය - සිරිමා
සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක සිලෝන් හෙවත් ලංකාවේ අගමැතිනිය ලෙස මහජන ඡන්දයෙන් තේරී පත්වීම ලොව වටා පැතිර ගිය පුවතක් වන්නේ එවකට කාන්තා රාජ්‍ය නායිකාවන් නොසිටි බැවිනි. ඇයට පෙර කාන්තාවන් දෙදෙනෙක් වැඩ බලන රාජ්ය නායිකාවන් ලෙස තාවකාලිකව කටයුතු කර තිබුණද සිරිමාවෝ ගේ ධූරය ඉන් ඔබ්බට ගිය ජයග්‍රහණයක් ලෙස බොහෝ දෙනා අගය කළහ. සිය ජීවිත කාලය තුළ තෙවරක් අග්‍රාමාත්‍ය ධූරය දැරූ සිරිමාවෝ මැතිනියගේ දෙවැනි ධූර කාලය අතරතුර දෙවන එලිසබෙත් රැජින ලංකාවේ රජ ලෙස සැලකීම නවතා රට ජනරජයක් බවට පත්කර රටේ ලංකා නාමය ශ්‍රි ලංකාව ලෙස වෙනස්කෙරිණ. ජනතා විමුක්ති පෙරමුණේ 71 කැරැල්ල හට ගන්නේ ද ඇගේ ධූර කාලය තුළ දීය.
ලොව ප්‍රථම අගමැතිනිය වීම සහ ජනතා ප්‍රතිරෝධය සමග 
ලෝක වාර්තාවක් ලෙසින් ඇගයුමට ලක් වුණද ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය සම්බන්ධ අඳුරු යථාර්ථය හෙළි කරන එක්තරා සංවාදයක් ද වේ. එය සමස්ත ආසියාවම අරබයා කළ ප්‍රකාශයක් වුවද , ලංකාව විෂයයෙහි එය මැනවින් ස්ථාපිත ය. සිමි ගරේවාල් නම් වූ මාධ්‍යවේදිනිය සමග සංවාදයක දී ජයලලිතා ජයරාම් පවසන්නේ මෙවැන්නකි.
"අනෙකුත් ආසියානු රටවල රාජ්‍ය නායිකාවන් බවට පත් වුණු කාන්තාවන් දෙස බලන්න. ඒ ඔක්කොම හිටපු අගමැතිවරුන්ගේ හෝ ජනපති වරුන්ගේ භාර්යාවෝ. එහෙමත් නැත්නම් ඒ අයගේ වැන්දඹුවෝ. ඒත් නැත්නම් ඒ අයගේ දියණිවරු"
ජයලලිතා දුටු , අප අදටත් නොදකින යථාර්ථය එයම ය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 1960 මැතිවරණ ව්‍යාපාරය තුළ ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඇයව හඳුන්වනු ලැබුවේ Weeping Widow (වැළපෙන වැන්දඹුව) යන අන්වර්ථ නාමයෙනි. 1994 වසරේ ජනපතිවරණයේ දී ඇයගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ එක්වරම අපේක්ෂකත්වය ලද ශ්‍රීමා දිසානායක මහත්මියගේ සටන ජාත්‍යන්තරය හඳුන්වනු ලැබුවේ Widow's Duel (වැන්දඹු සටන) ලෙසිනි.
සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිවරිය ලෙස ඉතිහාසයට එක් වූවාය. 
ජයලලිතා ජයරාම් අතීතය වර්තමානය සහ අනාගතය යන කාලත්‍රයම මැනවින් දුටුවාය.


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment