අද රෝයල් තැප්‍රොබේනියන් අවකාශයේ 'කලු රංජි' වෙනුවෙන් තිබුණු වැඩසටහන ට සහභාගී වුණා. කලු රංජි ට රෝයල් තැප්‍රොබේනියන් වගේ අවකාශයක උපහාර පිදීම පිළිබඳ විදර්ශන කන්නංගර සහෝදරයා විවේචනාත්මක සටහනක් එහෙමත් යොදලා තිබුණා. එතන විදර්ශන කතාකරන තියරි බහුතරයකට තේරුම්ගන්න බැරි බව පහළින් වැටෙන කමෙන්ට්ස් වලින් පෙනුණා. ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද විදර්ශනගේ කෝදුව අපිට තේරුම්ගන්න අමාරුයි. කිලී මහරාජාගේ 'සිරස' ජඩ මාධ්‍යකරණයට එරෙහිව අරගල කරපු විදර්ශන දිලිත් ජයවීරගේ 'දෙරණ' අලුත් පාර්ලිමේන්තුවට සහභාගී වෙලා තවම මාස හයක් නෑ. ඔය කියන තියරි ඇප්ලයි කරන්න ඕනේ විදිය තේරුම් ගන්න නම් කන්නංගර කියවලා තියෙන පොත් කන්දරාව අපිත් කියවන්න ඕනේ. එහෙම නැතිව කන්නංගර ලියන පෝස්ට් ඔළුවට ගන්න යන එකෙන් වෙන බරපතල ම හානිය වෙන්නේ ඒවා පහළින් කණිෂ්ක ජයලත් වගේ සක්‍රීය පෙරටුගාමී සහෝදරවරු ඇවිත් 'මම නම් කලු රංජි කෙනෙක් ගැන අහලාවත් තිබුණේ නැහැ' වගේ කතා ආඩම්බරෙන් වගේ කියන එක. ඉන්දියාව ගැන දන්නේ නෑ කියලා බංග්ලාදේශේ කිව්වා වගේ. ඒ අතරේ අන්තිම නරක දේ තමයි තවත් සමහරු කලු රංජිටත් සුනිල් මාධව ප්‍රේමතිලකට වුණු දේ වෙයි කියලා අනුමාන කරලා තිබුණ එක. මම හිතන්නේ කලු රංජි වගේ මනුස්සයෙක් ව සුනිල් මාධව ට සමාන කරන එක තරම් කලු රංජිට කරන නින්දාවක් ලොවෙත් නැහැ.
කොහොමින් කොහොම හරි හුඟ දෙනෙක් ට 'කලු රංජි' ට ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ දි 'අහස පොත් උළෙලේ' දී සම්මානයක් පවා ලැබුණු බව අමතක වෙලා තියෙනවා කියලා පේනවා. බාගදා සමහරු 'අහස' කියන්නේ මී පැණි වලට , දඩමස් වලට පොත් පත් හුවමාරු කරන තැනක් මිසක් ව්‍යාපාරික ආයතනයක් නෙමෙයි කියලා හිතනවා ඇති. එහෙම නැත්නම් එදා ඒ සම්මානේ දුන්නේ කේ.කේ. සමන් කුමාර අතින් නිසා එහෙම නම් කමක් නෑ කියලා හිතෙනවා ඇති. රෝයල් තැප්‍රොබේනියන් එකේ ඉතිං සර්පයා වගේ මරුමුස් පාටකට පේන්න ඉන්නේ අජන්ත අලහකෝන් විතරයි. ඒත් අජන්තගේ කොණ්ඩේ වැඩියි. ඉතිං කොහොමද කලු රංජිට උපහාර කරන්නේ ?
කලු රංජි ගැන මගේ තියෙන මුල් ම මතකය වෙන්නේ අවුරුදු ගණනකට කලින් චන්ද්‍රකුමාර වික්‍රමරත්න ගැන තොරතුරු හොයනකොට මට ලැබුණු ටිප් එක. 'මාතලේ කමල් පී. අලහකෝන් සහ කොළඹ කලු රංජි තමයි හොඳම දෙන්නා' කියලා මට ඔත්තුවක් ලැබුණා. කමල් පී අලහකෝන් ඒ මාතෘකාවේදි සංවේදී වෙනවා වැඩි නිසා මගේ අරමුණට බාධා වුණා. ඉතිං මම පච්ච සෝමේ වගේ නමක් තියන 'කලු රංජි' ට බයෙන් බයෙන් කතා කළා. ඉදකිං ! ඒකත් මාතලේ ඉටි පන්දමට එහා ඉටි පන්දමක්. චන්දරේගේ නම කිව්ව ගමං සංවේදී වෙලා අතීත වේදනාවෙන් වැක්කෙරෙනවා. මම එඩිටර්ට දන්වලා ලිපිය ලියන එකෙන් අයින් වුණා.
මම මේ සටහන ලියන්නේ කලු රංජිලාගේ සක්‍රීය යුගය ඇහැට නොදැකපු , ඒ යුගය ගැන පත පොතෙන් සහ මුඛ පරම්පරාවෙන් හදාරපු වයස තිස් ගණනක පුද්ගලයෙක් හැටියට. අපි 'එළියකන්ද වධ කඳවුර' ගැන කියෙව්වේ ප්‍රංසයට පැනලා ගිය රෝහිත මුණසිංහගේ පොතෙන්. ඒ අනූව දසකය මුල දි. ඒත් අවුරුදු කීපයකට කලින් අජිත් පැරකුම් ජයසිංහ තමන්ගේ එළියකන්ද කඳවුරේ අත්දැකීම් පොතකට නැගුවාම රෝහිත මුණසිංහ ඒ ගැන හැසිරුණේ උමතුවෙන් වගේ. හෙන්රි කල්දේරා එයාගේ සිංදුවක 'මා නොදකින විසිතුරු ගැන මට පවසනවද ඔයා' කියලා ප්‍රශ්න කරන රික්තකය සදාකාලිකව ම පැවතිය යුතු ද කියන ප්‍රශ්නය මගෙ හිතේ නලියනවා. අපි 'එළියකන්ද' ගැන දැනගන්න ඕනේ රෝහිත මුණසිංහ කියන ඒවායින් විතරම ද ? චන්දරේ ආගිය අතක් නැති නිසා චන්දරේ ගැන කමල් පී ගෙන් හරි කලු රංජිගෙන් හරි ඇහුවා වගේ කවදා හරි දවසක අපි 'කලු රංජි' ගැන දැනගන්න ඕනේ වමේ සාමාජිකයින්ගෙන් ම ද ? අපිට කලු රංජි ජීවත්වෙලා ඉන්න කාලේ කලු රංජිව එක තැනකදි මුණ ගැහිලා ඒ ගැන කතා කරන්න අවස්ථාවක් ලැබෙන එක නරකද ? අද වෙනකොට මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරන සරසවි මානවිකාවෝ ත්‍රීමාවිතාන කියන්නේ සිසු විරුවෝ දෙන්නෙක්ගේ නම් කියලා හිතාගෙන 'ත්‍රීමා - විතාන' වෙනුවෙන් ෆේස්බුක් එකේ කවි ලියන තත්ත්වයක කලු රංජිලා සියැසින් දැකගෙන, ඔය ලියන කවියක් කණට කොඳුරලා කියන එක ප්‍රායෝගික නැද්ද ?
අනෙක් කාරණය ; රෝයල් තැප්‍රොබේනියන් කියන්නේ ධනවාදී අවකාශයක් නිසා කලු රංජි මේ සැලකුම් ප්‍රතික්ෂේප කරන්න ඕනේ ද ?
අසූ ගණන් වලදි රාජ්‍ය වේදිකා නාට්‍ය උළෙලේ අනුග්‍රාහක දුම්කොළ සමාගමක් ය කියන කාරණයට විරෝධය පළ කරලා ; සම්මානය ප්‍රතික්ෂේප කරලා ධර්මසිරි බණ්ඩාරනායක වීරයෙක් වුණා. ඊට පස්සේ ලංකාවේ වේදිකාවට ඒ වගේ අනුග්‍රාහකයෙක් හම්බ වුණා ද කියන එක අපිට වෙනම ම හොයා බලන්න පුළුවන්. දුම්කොළ වෙළෙන්දන්ගේ අනුග්‍රහය ට විරුද්ධව සම්මාන ප්‍රතික්ෂේප කරපු ධර්මසිරිගේ 'බව දුක' චිත්‍රපටයේ නිෂ්පාදකයා ඝාතනය වෙන්නේ මොන ජාතියේ වෙළඳාමක් අරභයා හටගත්ත ආරවුලකින් ද කියලා දන්නේ කීයෙන් කී දෙනා ද ?
මේ ඔක්කොම විපරීත අංගුලිමාල සමාජයක් මැද්දේ විජේරාම හංදියේ පර්චස් හතරක අවකාශෙක , තමන් තෝරපු සිංදුවක් ගායනා කරලා , පරණ ආගිය කතාවක් මතක් කරලා, වැළඳගැනීම් සීයක් දෙසීයක් මැද්දේ , සෙල්ෆි සීයක් ගන්න අඬගහන අවස්ථාව ප්‍රතික්ෂේප නොකරන කලු රංජි එතකොට මුග්ධ අහිංසකයෙක් ද ?
0 comments:
Post a Comment