දිල්ෂාන් පතිරත්න - තක්කඩිකම සහ දමිත් අසංක


යූ ටියුබ් චැනල් අද වන විට බලුබෙටි බඳුය. ඒවා හැමතැනම දක්නට ලැබෙන අතර පාගා ගැනීමෙන් දුර්ගන්ධයක් හැරෙන්නට වෙනත් කිසිදු ප්‍රසාදජනක ප්‍රතිඵලයක් උපදින්නේ නැත .
කුවේට් කුමාරි ලෙසින් ස්වයං බෞතීස්මයට ලත් රටවිරු කාන්තාවගේ සමබරතාවකින් තොර හැසිරීමේ සිට දමිත් අසංක නම් ගායකයාගේ වෙනස් හැසිරීම දක්වා ම යූ ටියුබ් නාලිකා වල කටගැස්ම වන්නේ කුමන පරමාර්ථයෙන් ද යන්න අප දනිමු. අමතක කළ යුතු නැත. මේ නින්දිත බලුබෙටි මාධ්‍යකරණය හඳුන්වාදෙන්නේ සිරස ටී.වී නාලිකාවේ "සිරස සුපර් ස්ටාර්" වැඩසටහන හරහා ය. විවිධ මානසික මට්ටම් වල සහ විවිධ පෞරුෂතා මට්ටම් වල මිනිසුන් කැමරාව ඉදිරිපස රූකඩ මෙන් නටවමින් , ඔවුන්ගේ වෙනස් හැසිරීම දැන දැන සිතා මතා හාස්‍යයට ලක් කිරීම හරහා "සිරස සුපර් ස්ටාර්" වැඩසටහන ලද ද්විතියීක ප්‍රචාරණය ලංකාවේ පසුකාලීන සයිබර් ප්‍රවණතාවන් කෙරෙහි අයහපත් පූර්වාදර්ශයක් විය.
කැමරාවක් අටවාගත් පසුව , ට්‍රෙන්ඩිං පිණිස ඕනෑම පහත් මට්ටමකට පත් වන්නට සූදානම් යූ ටියුබ් චැනල් කරුවන් සහ පූරකයින් අද වන විට මනුෂ්‍යත්වයේ සහ සාමාන්‍ය සදාචාරයේ සීමාවන් තිරස්චීන ලෙස උල්ලංඝනය කරමින් සිටිති. මේ මොහොත වන විට තමා විසින්ම පාදා ගත් වැසිකිළි ගලියක නාන ඇඳුම් ද ඇඳ දියබුං ගසමින් සිටින කුවේට් කුමාරි නම් ගැහැණු ජීවිතය ද , මානසික ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක පසුවන බව ඉඳුරාම තහවුරු වූ දමිත් අසංක නම් වූ පිරිමි ජීවිතය ද ගැහැණු-පිරිමි භේදයකින් තොරව සයිබර් මස් කඩයේ කොකු දෙකක එල්ලා තිබෙනු දක්නට ඇත. කාලාන්තරයකට පෙර ඕගනයක් වයමින් , සෘති ද වරද්දමින් නමුත් ඉතා විනෝදයෙන් යූ ටියුබයේ ගී ගැයූ සයිප්‍රසයේ වෙසෙන තරුණිය ද මේ මොහොතේ සිහිපත් කළ යුතුම ය. ඇය සයිබර් අවකාශය තුළ කෙතරම් උපහාසයට සහ විනෝදයට ලක් වුවද කිසි දිනෙක කාගේ හෝ ට්‍රෙන්ඩිං ගොදුරක් නොවන්නටත් , තමාට රිසි අයුරින් ගී ගයා විනෝද වනවා හැරෙන්නට පොදු සමාජයේ විනෝද ගොදුරක් නොවන්නටත් විචක්ෂණශීලී වූවා ය. ".... piece of Bible and we read that bit about women whose price which was above rubies”. බාගදා ඇය ද "Cat Among the Pigeons" නවකතාවෙහි එන අලි යූසුෆ්ගේ පෙම්වතිය මෙන් 'පද්මරාගයකට වඩා අගනාකම් ඇති කාන්තාවක් ' පිළිබඳ බයිබලයෙන් කියවන්නට ඇත.
පපරේ බෑන්ඩ් එකක් ගසමින් කුවේට් කුමාරි සමග නටමින් වීව්ස් හිඟමන් යදින ඉරාජ් වීරරත්න පිළිබඳ අලුතෙන් අපුලක් නූපදින්නේ "ඉරාජ්" යන නාමය පිළිබඳ සමාජ කියවීම අමුතුවෙන් පහදා දිය යුතු නොවන බැවිනි. නමුත් "දමන්නට එපා" යැයි කියා ඉල්ලන මුල මැද අග ගැලපීමක් නැති අසිහිය ප්‍රකට කරන වදන් පෙළක් ම පළමුව අත ඇර දමිත් අසංක නම් මනුෂ්‍ය ප්‍රාණියා ගොදුරු කරගත් දිල්ෂාන් පතිරත්න කෙරෙහි උපදින අපුල නොපැකිළ ප්‍රකාශ කරමි.
තක්කඩිකම අතින් තමන් සිටින්නේ ඉරාජ් වීරරත්නටත් වඩා ගව් ගණනක් දුරින් බව ස්වයං පාපොච්චාරණයකින් හෙළිදරව් කරන දිල්ශාන් පතිරත්න නම් වූ සයිබර් මිත්‍රයාට මෙසේ පවසමි.
ඔබ දෙවූ කිරි කළයට ගොම සුඟක් මුසු වී ඇත. ඉදින් , කිරි ද දී කිරි ද මෝරු ද වෙඬරු ද ගිතෙල් ද ඔබ වෙත ම ආපසු හරවා එවමි.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment