ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං


නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං

බෝඩිමේ කොණේම කාමරේ කැසට් එකෙන් ප්‍රියන්ත- ඉන්ද්‍රාණිගේ යුග ගීතයක් ඇහෙනවා. අනේ මන්දා ! රෝස කැළේ රතු කැකුළී ඇරෙන්න ඉන්ද්‍රාණිගේ වෙන කිසිම සිංදුවක් ගැන ආසාවක් නොහිතුණාට මේ සිංදුවත් අහං ඉන්නකොට කැතම නෑ වගෙයි. "ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං" කියන කොටස කියන්නේ ඉන්ද්‍රාණිද මම ද කියලා ආයෙත් වතාවක් කල්පනා කරන්න ඕනේ.
ඒ කාලේ කොඩිකාර සර්ගේ පංති ගිය හැටි මතක් වුණා. අනෙ අම්මෝ කොච්චර කාලෙකට කලින්ද? හැම ළමයෙක්ම පංතියෙදි ගණන් කටු වැඩ පොතක ගණන් හදලා ගෙදර ගිහිං ඒවා ආයෙමත් හොඳ පොතක ලියන්න ඕනේ. පංතියෙදි හොඳ පොතේ ලියන්න තහනම්. එහෙම ලියලා අහුවෙන කොල්ලන්ව පංතියෙන් එළියට දානවා. එක දවසක් සර් පංති වෙලාවෙ හොඳ පොතේ ලිය ලිය හිටිය කියලා කළු කෙට්ටු කොල්ලෙක්ව එළියට දාන්න හැදුවා. ඒත් ඒ කොල්ලා බය නැතුව , එළියට නොයා " මේක තමයි මගේ කටු වැඩ පොත" කියලා කියනකොට සර් "එහෙනම් මට පෙන්නනවා තමුසෙගේ පංති පොත" කියලා හොඳ පොත ඉල්ලුවා. පොත් දෙකම දැක්කාම සර්ගේ මූණ හිනාවක් එක්ක පුදුමයෙන් පිරුණා. "තමුසෙගේ කටුවැඩ පොත පිළිවෙළයිනේ අයිසේ කෙල්ලොන්ගේ පංති පොතකටත් වඩා" කියලා සර් පංතිය මැදට ගිහිං පොත් දෙකම උස්සලා පෙන්නුවා. මම හිටියේ ඉස්සරහා. මට තාම මතකයි සමීර ඒ පොත් වලට දාලා තිබුණු පිට කවර. හඳුන්කූරු වලින් වටේ පුච්චපු පිංතූරයි , කවියි කොලාජ් චිත්‍රයක් වගේ අලවලා , ඒකට උඩින් සෙලෝටේප් පටි ගහලා. එදා ඉඳන් සමීර පංතියේ ළමයි අතර හරි ප්‍රසිද්ධයි. එයා නිකං ඉන්න වෙලාවට කවි ලියලා සර්ට චිට් පාස් කරනවා. "උදාගමින් උදාගමට නව නිවහන් තැනේවා - අපේ සර්ට එයින් එකක් දෑවැද්දට ලැබේවා" කියලා ලියපු චිට් එකක් පංතියටම ඇහෙන්න කියවන ගමං සර් " මම මේ අකුරු හොඳට අඳුනනවා ගොයියෝ" කියලා කිව්වේ ආදරණීය හඬකින්. ඔහොම යනකොට සමීර මගෙන් යාලුවෙන්න ඇහුවා. මගේ පස්සෙන් ආවා. කවි , නිසඳැස් ලිව්වා. මගෙ යාලුවො අතේ , එයාගේ යාලුවන්ගේ පෙම්වතියන් අතේ මගෙ හිත ඉල්ලලා පණිවුඩ එව්වා. ඒත් මට කැමැත්තක් තිබුණේ නෑ. මට ඕනේ වුණේ සමීර වගේ කොල්ලෙක් යාලු කරගෙන හවසට සෝයා අයිස්ක්‍රීම් කකා සිංදු ගැන කතා කරන්න නෙමේ. මගෙ යාලුවා මනෝජි නම් එයා පස්සෙන් ආපු සමීරගේ යාලුවට කැමැත්ත දුන්නා. ඒත් මම හිත වෙනස් කළේ නෑ. සමීර එක්ක හොඳින් කතා කළාට අර ප්‍රශ්නෙට එකම උත්තරේ දුන්නා. අනේ මං ඕවට කැමති නෑ.
නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං

සමීර තාම පත්තර වලට ලියනවා. ෆේස්බුක් එකෙත් මොනවද විකාර නටනවා කියලා උත්තරා කිව්වා. මට ඒවා නම් තේරෙන්නේ නෑ. ඇරත් මම දැං ෆේස්බුක් එකේ නෑනේ.
කොඩිකාර සර්ගේ ගණන් පංතියෙන් පස්සේ මගෙ ජීවිතේ කොච්චර වෙනස් වුණාද ? සරස්වතී අමනාප වුණාට මට එච්චර වගක් වුණේ නෑ. කොහොමත් මට ඕනේ වුණේ ඇතීනා වෙන්න මිසක් සිතාර් එකක් බදාගෙන වාඩි වෙලා ඉන්න සරස්වතී වෙන්න නෙමෙයි. පොඩි පොඩි වෙළඳ දැන්වීම් කීපයකම පොඩි පොඩි චාන්ස් ලැබෙනකොට ගෙදර ඉඳන් ෂූටිං යන එක කරදරයක් වුණා. එළිපිට නොකිව්වට තාත්තත් කැමති වුණා මම ගෙදරින් පිටවෙලා ඉන්න එකට. "අනික් කෙල්ලො දෙන්නාවත් හරියට ඉගෙන ගනියිනේ" මං යන දවසේ තාත්තා අහක බලාගෙන කිව්වා.හිතට නිදහසක් නැතුව මේ වගේ රස්සාවක් කරන්න බැරි බව එයාලා වුණත් තේරුම් ගන්න ඕනේ. මං රඟපාපු ටෙලි නාට්‍ය එකක් දෙකක් ටීවී එකේ යනකොට නම් ගෙදරින් ආයෙම ඉස්සර වගේ කතා බහ කරන්න ගත්තා. මුලින්ම මරුටියක් අරගෙන ඒකත් පැදගෙනම ගෙදර ගිය දවසේ නංගිලා දෙන්නා පුදුම විදියට සතුටු වුණා. ඉන් පස්සේ එක ජපන් වාහනයයි අර ගන්න වුණේ. අද කාලේ ගෑණු ළමයෙක්ට වෙන්න තිබුණ නරකම දේ මටත් වුණා. මට තාමත් හිතාගන්න බෑ රන්දික කොහොමද එදා , ඒ වෙලාවේ මට නොපෙනී වීඩියෝ කළේ කියලා. ඒ මමයි, රන්දිකයි යාළු වෙලා හිටිය කාලේ. ඒ " ඔබයි මගේ ජීවිතේ - හර්දේ විකාර වේ " කියන සිංදුව ආපු අලුතම වගේ. රන්දික නිතරම ඒ සිංදුව මුණු මුණු ගගා හිටියා මතකයි. ඒත් මට වුණේ " ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස්ගසකට සමයි" සිංදුව මතක් කරගන්න. අවුරුදු හතක් තිස්සේ ෆීල්ඩ් එකේ අමාරුවෙන් එල්ලිලා ඉඳලා , මහන්සි වෙලා වැඩ කරලා ලබාගන්න බැරි වුණු ප්‍රසිද්ධියක් නම් එක රැයින් ලැබුණා.
ඒ සිදුවීමෙන් පස්සේ මගෙන් යාලුවෙන්න , කසාද බඳින්න වගේම මාව අඳුනගන්න අහගෙන සිය දාස් ගාණකට උවමනා වුණා. ඒ කවුරුවත් කොඩිකාර සර්ගේ පංති ආපු සමීර වගේ අය නෙමෙයි. කාටවත් මා එක්ක සෝයා අයිස් ක්‍රීම් කන්න , සිංදු වල තේරුම් කතා කරන්න උනන්දුවක් තිබුණේ නැහැ. මාත් එක්කම , මටත් පස්සේ ෆීල්ඩ් එකට ආපු අනෙක් අය කසාද බඳින කොට , නොබැඳ එක රැයින් සැලූන් , එක එක බිස්නස් පටන් ගන්නකොට හුඟ දෙනෙක් ඒවා මතක් කර කර මටත් පෙමින් බැඳෙන්න , සංසාරයේ දිගු වන්දනාවක යෙදෙන්න ආරාධනා කළා. ඒ අය එක්ක හොඳින් කතා කළාට අර ප්‍රශ්නෙට එකම උත්තරේ දුන්නේ. අනේ මං ඕවට කැමති නෑ.
ප්‍රියංගනී කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං

සිංහල මිනිස්සුන්ට ඕනෙම දෙයක් මතක සති දෙකයි කියලා ප්‍රභාකරන් කිව්ව වගක් මම කොහේදි හරි කියවලා තියෙනවා. මිනිහා ජීවතුන් අතර හිටියා නම් මම ඒක එහෙම නැති බව හොයාගෙන ගිහිං හරි කියනවා. අතීතයක් ඇති ගැහැණියට අනාගතයක් නැත කියලා මොකක් හරි පොතක තියෙන බවක් සමීරත් පත්තරේකට ලියලා තිබුණා. එයා දැන් කෙට්ටු නෑ. මහතයි. පොඩිපහේ බඩකුත් තියෙනවා. ඉස්සර වගේම තමන් කියවපු අහපු සිංදු , පොත් ගැන මෝහනය වෙලා කුරුටු ගගා ඉන්නවා මිසක් කසාදයක් බැඳලත් නෑ. රන්දික නම් පස්සේ කාලෙක බීලාම මැරුණා. ඒත් මට මැරිලා හිටිය රන්දිකව සමීරට වඩා තාමත් පෙනුමයි.
දැන්වත් කසාද බඳින්න ඕනේ නේද කියලා ගෙදරින් මතක් කරනවා. හැබැයි ඕනෙවට එපාවට වගේ. යුතුකමට . මඟුලකදි මළ ගේකදි දැක්කාම හුඟ දෙනෙක් ඒ දේම අහනවා. ඒත් ඒ ප්‍රශ්නේ පිටිපස්සේ උඹව කරගහන්නේ කවුද කියන ප්‍රශ්නේ හැංගිලා තියෙනවා කියලා මට දැනෙනවා. දැන් හුඟක් අය උදාහරණ විදියට මතක් කරන්නේ මගෙ වයසේ , මගේ සමකාලීන අයව නෙමේ. වයසක ළමිස්සියන්ව, කසාද අත ඇරලා ඇවිදින් හිටපු අයව මතක් කර කර ඒ අයත් බැඳලා කියලා, මට තවම කවුරුත් නැද්ද අහනවා.
ඒ අය එක්ක හොඳින් කතා කළාට අර ප්‍රශ්නෙට එකම උත්තරේ දෙන්නේ. අනේ මං ඕවට කැමති නෑ.
කුසුම්ලතා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං

එහෙම බලනකොට මම ආදරේට ආස නෑ තමයි. ඉරට අකීකරු සිංදුවට වඩා මේ සිංදුව ලස්සනයි කියලා මට දැං හිතෙනවා.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

6 comments:

  1. I guess this was about one of the actor who recently passed away..and his ex girlfriend.

    ReplyDelete
  2. දැන්, ෆේස් බුක් අකවුන්ට් එකක් නෑ කියන එක ෆැෂන් එකක් වේගන යනව ද කියලා හිතෙනවා...

    කතාව අපූරුයි කසීර. රසවින්දා..

    ReplyDelete