අගෝස්තු 06 : ජපානයේ හිරෝෂිමා නුවරට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වේ


1945 වසරේ අද වැනි දවසක ඇමරිකානු හමුදාව හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ.
දිනය 1945 අගෝස්තු මස 06 වැනිදා ය. ජපානයේ වේලාව උදෑසන 08.16 ලෙස සනිටුහන් වූවා පමණකි. ජනගහණය 255,000 ක් පමණ යැයි තක්සේරු කරන ලද හිරෝෂිමා නගර අහසේ සිට සියවසෙහි බිහිසුණුතම පරමාණු බෝම්බය මිහිමතට හෙළන ලදි. Enola Gay නම් වූ ඇමරිකානු බී-29 යුද ගුවන් යානය විසින් ඒ බියකරු බෝම්බය සකුරා මල් පිපෙන අහසට රැගෙන එන ලදි . කුඩා කොලුවා හෙවත් Little Boy නම් වූ එය අහස් තලයෙන් මිහි මතට ඇදී යන්නේ හිරෝෂිමාවට මීටර 600 ක් උඩු අහසේදී පුපුරා ගියේය. සකුරා මලක සලකුණකුදු තවදුරටත් ඉතිරි නොවීය. බෝම්බය පිපිරීමත් සමගම සහ පැය කිහිපයක් ඇතුළත දී 90,000 ත් 140,000 ත් අතර පිරිසක් මෙලොව හැරදා ගියහ. වර්ග සැතපුම් ගණනක් සිසාරා සොහොන් බිමක් විය. ඒ මහත් වූ ව්‍යසනයක අවාසනාවන්ත ඇරඹුම විය.
හිරෝෂිමා ප්‍රහාරයෙන් දින තුනක් ගතවන තැන එනම් අගෝස්තු 09 වැනිදා වියරුව පහ නොවූ ඇමරිකානු ගුවන් යානා " තිනියන් " නගරය ( Tinian ) කරා පියසර කළහ. ඉලක්කය වූ "කොකුරා" නගරය ( Kokura ) වළකුළුවලින් වැසී ඇති බැවින් දෙවැනි සැලැස්ම ලෙස නම් කර තිබූ කාර්මීකරණයව තිබූ නාගසාකි නගරය කරා පිටත් විය. එහි ජනහණය 270,000 ක් පමණය. දෙවැනි බෝම්බය ඉලක්කය මගහැර නගර මධ්‍යයෙන් මදක් දුරට වන්නට පතිත වූ හෙයින් අපේක්ෂිත හානිය සිදු නොවිණ. නමුත් 40,000 ට අධික ජීවිත ප්‍රමාණයක් වැනසිණ.

"ප්‍රතිප්‍රහාරයක් වශයෙන් අපි නිසැකවම ජපානයට පරමාණු බෝම්බ හෙළන්නෙමු’’ ඇමරිකානු ජනපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් මෙසේ පැවසුවේ 1941 වසරේ දෙසැම්බර් 08 වැනිදා ය. එනම් ජපන් හමුදාව හවායි හි පර්ල් වරායට ඇමරිකානු සෙබළුන් 2,403 දෙනෙකුගේ ජීවිත ද,ඇමරිකානු නෞක සහ ප්‍රහාරක යානා රැසක් විනාශ කළ දිනයට පසු දිනයේ දී ය. ජපානය තම විජයග්‍රාහි ප්‍රහාරය සමරමින් ජය පැන් පානය කරද්දී ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් එම සිදුවීම හැඳින්වූයේ ඇමරිකාව අපකීර්තියෙන් මිරිකී ගිය දිනයක් ලෙසය. ලෙයට - ලෙයක් , දතට - දතක් න්‍යාය ක්‍රියාත්මක විය. ඒ සිව් වසරක ඇවෑමෙනි. නමුත් අතිශය බිහිසුණු සහ ඉතිහාසගත ඛේදාන්තයක් ලෙසිනි.
ඒ හැරෙන්නට ඇමරිකාවට මේ තිරස්චීන ප්‍රහාරය සම්බන්ධව තවත් හේතුවක් ද තිබිණ. දෙවන ලෝක සංග්‍රාමයේ අවසන් වසර වන විට යුද්ධයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු මෙන්ම මිත්‍ර හමුදාවල සතුරා ද වූ ජර්මනිය යටත්ව සිටි අතර 1945 මැයි 8 වැනිදා ගිවිසුමට අත්සන් ද තබා තිබිණි. ජපානය ද කොන්දේසි විරහිතව යටත් විය යුතු යැයි මිත්‍ර හමුදා කියා සිටියද ජපානය එය ප්‍රතික්ෂේප කළේය. එනමුත් ඒ වනවිටත් යුද්ධය නිමවෙමින් පැවති අතර ජපානයට පහර දීමට තරම් කිසිදු සාධාරණ හේතුවක් ඇමරිකාව නොවීය. ඇමරිකාව හිරෝෂිමා සහ නාගසාකි වෙත පරමාණු බෝම්බ හෙළන ලද්දේ ක්ෂණික සැලසුමකට අනුව නොවන බව ලොවම දන්නා කරුණකි. ජපානය යනු ඒ වනවිටත් ඇමරිකානු ප්‍රහාරවලින් සිදුරු සෑදුණු බිම්කඩක්ව තිබිණ. හිරෝෂිමා ඛේදවාචකයට සතියකට පෙර හොන්ෂූ දූපත බෝම්බ හෙළා විනාශ කර තිබූ ඇමරිකාව තවත් නගර 26 කටම ගුවන් මගින් බෝම්බ හෙළා තිබිණ. පසුකාලීනව ඇමරිකාව පවසනු ලැබුවේ තමන් හිරෝෂිමා - නාගසාකි ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ඇමරිකානු වැසියන්ගේ ඉදිරි ආරක්ෂාවට බවය. නමුත් ඒ වනවිටත් ඇමරිකාව තුළ ජපානය සම්බන්ධව පැවතියේ තදබල වෛරී හැඟීමකි. ඔවුන් ජපන් ජාතිකයින්ව හඳුන්වනු ලැබුවේ Yellow Monkeys හෙවත් "කහ වඳුරන් " ලෙසය.

නාගසාකි බෝම්බ ප්‍රහාරයෙන් සතියක් ගත වූ පසු එනම් 1945 අගෝස්තු 15 වැනිදා ජපානය සිය යටත්වීම ප්‍රකාශයට පත්කර සැප්තැම්බර් 2 වැනිදා ගිවිසුමට අත්සන් තැබූහ.
හිරෝෂිමා - නාගසාකි නගර දසක කීපයක් ගතවන්නට ප්‍රථමව අතිශය දියුණු පුරවරයන් බවට පත් කිරීමට ජපානය සමත් විය. නමුත් එදා බෝම්බයෙන් අත් වූ ශාපය අදටත් ඔවුන් පසුපස හඹා එයි . විකිරණ ප්‍රහාර නිසා පාරම්පරිකව වැළඳෙන රෝග සහ ජාන විකෘතිතාවයන් ජපානය තුළ සාමාන්‍යීකරණය වී ඇත. අද පරම්පරාව තමන්ගේ පවුල් වල මුල් පුරුක් හිරෝෂිමා - නාගසාකි ප්‍රහාරයන්ට මුහුණ දුන් බව හෙළි කිරීම පවා ප්‍රතික්ෂේප කරති. එමගින් ඔවුන්ගේ සෞඛ්‍යසම්පන්නතාව අභියෝගයට ලක්ව විවාහයට බාධා විය හැකි බැවිනි.

සකුරා පුරවරය මළ සොහොනක් බවට පත් වීමට ගත වූයේ මොහොතකි. ඔවුන් ඒ දේශය ප්‍රතිෂ්ටාපනය කිරීමට සමත් වූ නුමුදු අද වන තුරුම මේ අමානුෂික සංහාරය පිළිබඳ ඇමරිකාව සමාව ඉල්ලා නැත.
"ලේ සලකුණු පමණයි රණ බිමක ඉතිරිවන්නේ
මේ කඳුළුම පමණයි රණ හඬට නෙත උනන්නේ"
Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment