මෙරට ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා පිරිනැමෙන ග්‍රේෂන් ත්‍යාගය 2016 වසර සඳහා දිනාගනු ලැබුවේ චාරුලතා තේවරාතන්‍ත්‍රී විසිනි. Stories නම් වූ කතා පිටපත වෙනුවෙන් ග්‍රේෂන් සම්මානය දිනා ගත් මේ ලේඛිකාව අප මුලින්ම හඳුනාගන්නේ චාරුලතා ස්වේතාම්බරී අබේසේකර යන නාමයෙනි. කීර්තිමත් සාහිත්‍යධර තිස්ස අබේසේකරයන්ගේ දියණියක වන චාරුලතා 1996 වසරේදී සිය පියාණන් විසින් දිනාගත් සම්මානය හරියටම වසර විස්සක් ගත වන තැන තමා නතු කර ගන්නීය. තමා ලියූ කතා පිටපත් දෙකම ග්‍රේෂන් සම්මාන උළෙල වල අවසාන වටයට තේරී පත්වුවද චාරුලතා අදවන තුරුම එක කෘතියක් හෝ මුද්‍රණද්වාරයෙන් ඉදිරිපත් කර නැත. මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධියක් අතැතිව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ උසස් පෙළ සිසුන්ට ගණිත විෂයයන් උගන්වා අද වන විට ගෘහණියක් වීමේ සතුට විඳින මේ ලේඛිකාව සමග ඉරිදා ලක්බිමට කතා කරන්නට බොහෝ දෑ විය. මේ අකුරු කරන්නේ චාරුලතා තේවරාතන්ත්‍රී ගේ කතා පුවතයි
• මෙවර ග්‍රේෂන් සම්මානය දිනාගත් ඔබේ "Stories" ග්‍රන්ථ පිටපත ට පසුබිම් වෙන්නේ කුමන වර්ගයේ කතා පුවතක් ද ?
Stories කතාවෙන් කියවෙන්නේ මගේ ලොකු අම්මාගේ ගම වන රුවන්වැල්ල ගැන. මම පහුගිය අවුරුදු තුන හමාරක කාලයක් දරුවොත් එක්ක මුරුසියේ ජීවත් වුණේ. මහත්තයගේ රැකියාව නිසා අපේ ජීවිත ලංකාවයි මුරුසියයි අතර ගෙවෙමින් තියෙන කාලෙක මම මේ කතාව ලියනවා. මුරුසිය කියන්නේ හරිම ලස්සන රටක්. නමුත් ඒ රටේ ලස්සනට විහිදෙන නිල් තැනිතලා වල ලංකාවේ වන ලැහැබක තියෙන පාළු බව , අඳුර , ගුප්ත හැඟීම දකින්න ලැබුණේ නැහැ. ඒ අඩුව තදින් දැනුණු නිසයි මං මේ කතාව ලියන්න පටන් ගත්තේ . ඒක ඇතුළේ පොඩිපහේ ප්‍රේම කතාවක් තියෙනවා. නමුත් සමස්ත කතාවම ප්‍රේම කතාවක් නෙමෙයි.
• ඔබ මෙයට පෙරත් ග්‍රේෂන් සම්මානය සඳහා නිර්දේශ වුණා.
ඔව්. 2011 වසරේදි මගේ Autumn Leaves කියන නවකතා පිටපත ග්‍රේෂන් සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශ වුණා. ඒක ඇත්තටම මගේ උවමනාවට අයදුම් කළ පිටපතක් නෙමෙයි. මම ලියලා ඉවරවෙලා අපේ පවුලේ හිතවතුන් කීපදෙනෙක් ට පෙන්නුවාම ඒ හුඟ දෙනෙක් හොඳ ප්‍රතිචාර දැක්වූවා. ඒ අතරින් ලේඛිකාවක වන ලලිතා සෝමතිලක සහ ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු වන සිරි අල්මේදා කියන අපේ පවුලේ සමීපතම හිතවතුන් දෙන්නා තරයේම කියා හිටියා මේක ග්‍රේෂන් සම්මානයට ඉදිරිපත් කළ යුතුමයි කියලා. අයදුම්පත්‍රයක් ගෙනල්ලා පුරවන්නට කියලා බලකරන මට්ටමට ඔවුන් මට බලපෑම් කළා. ඒ හරහා තමයි මම 2011 වසරේ දී මගේ මුල්ම පිටපත අවසන් වටයට නිර්දේශ වෙන්නේ.
• ඒ මුල්ම කතාව ලියන්න ඔබ පෙළඹුණේ ඇයි ?
මම ඒ කතාව ලියන්නේ තාත්තා නැතිවුණු කම්පනය නිසා. මමයි තාත්තයි ඒ කාලේ නිතරම එක එක දේවල් ගැන සංවාද කරනවා. තාත්තා එක්ක ඕනේ දෙයක් කතා කරන්න පුළුවන්කම තිබුණා. එයා කියවපු දේවල් , මට කියවන්න කියලා නිර්දේශ කරන දේවල් , කලා නිර්මාණ ගැන අපි දෙන්නගේ කියවීම වගේ හුඟක් දේවල් කතා කරමින් තිබුණ අපේ සම්බන්ධය තාත්තගේ අභාවයත් එක්ක එකපාර නතර වෙනවා. කම්පනය කියන වචනය තමයි හරි. මම ඒ කතාව ලියන්නේ තාත්තගේ අහිමිවීමේ කම්පනය නිසා. ඒ කතාවේ තියෙන සිද්ධි , හැඟීම් අතරේ තාත්තගෙයි මගෙයි සම්බන්ධතාව රැඳිලා තියෙනවා. යමක් ලියලා හරි මගේ හිතට දැනුණු වේදනාව සමනය කරගන්න මම උත්සාහ කළා.
• ඔබගේ මුල්ම ග්‍රන්ථ පිටපත් දෙකම ඇගයීමට පත් වුණත් ඔබ අද වනතුරුම කිසිම ග්‍රන්ථයක් මුද්‍රණය කර නැහැ. එහෙම වෙන්නේ ඇයි ?
2011 ග්‍රේෂන් සම්මාන උළෙලෙන් මාස දෙකකට පස්සේ මම මුරුසියට ගියා. ඒ නිසා ඒ පිටපත පොතක් බවට පත් කරන වැඩේ කරන්න පුළුවන් වුණේ නැහැ. මේ පිටපතට සම්මානය ලැබුණු නිසා මම බැඳිලා ඉන්නවනේ මස හයක් ඇතුළත පොත පළ කළ යුතුයි කියලා. ඒ නිසා Stories ළඟදීම මුද්‍රිත ග්‍රන්ථයක් විදියට එළි දකිනවා.
• චාරුලතා ගේ පියා තිස්ස අබේසේකර කියන්නේ ද්විභාෂා ප්‍රාමාණිකයෙක්. අම්මා පුෂ්පා මීවැල්ල කියන්නේ සිංහල ලේඛිකාවක්. ඔබ ඇයි ලියන්න ඉංග්‍රීසි භාෂාවම තෝර ගන්නේ ?
මම පොඩි කාලේ ලිව්වේ සිංහලෙන්. පස්සේ කාලෙක භාෂා දෙකෙන්ම ලියන්න පුරුදු වුණා. ඉස්සර විසාකා විද්‍යාලයේ අපිට ඉංග්‍රීසියෙන් කතාවක් කරන එක අනිවාර්යයි. ඒ ඇරුණම අපේ අම්මා හුඟාක් පොත් ගෙනල්ල මුළු ගෙදරම පොත් වලින් පිරෙව්වා. මාව බ්‍රිටිෂ් කවුන්සිල් පුස්තකාලයට , මහජන පුස්තකාලයට එක්කගෙන ගියා. ගෙවල් ළඟ තියෙන ලෙන්ඩින් බුක් ෂොප් එකටත් එක්කගෙන ගියා. ඒ අතරතුරේ මගෙයි තාත්තගෙයි කතා බහ , සාහිත්‍ය සහ ලෝකය ගැන සංවාද නිසා මගෙ ඉංග්‍රීසි භාෂාව මේ තරමට දියුණු වුණා. තාත්තා නිතරම මට කියවන්න ඕනේ දේවල් ගැන ඉඟි දුන්නා. ඒ වගේම මම ලියන් ඒව කියවන්න ආසා කළා.
• ඔබ සිංහලෙන් ග්‍රන්ථකරණයට පිවිසීමේ අදහසක් නැද්ද ?
මම තවමත් විශ්වාස කරනවා මට හොඳටම ලියන්න පුළුවන් සිංහලෙන් කියලා. මේ පාර ග්‍රේෂන් සම්මානයට පිටපත ඉදිරිපත් කළේ මම. මේ පිටපත නිර්දේශ වෙයි කියලා මට ඒ ගැන පූර්ව විනිශ්චයක් තිබුණා. ඒත් ජීන් අරසනායගම් , ශෙහාන් කරුණාතිලක , විවාමරී වැන්ඩර්පූට්න් සහ රිස්විනා මෝසෙත් වගේ දැවන්තයින් හතර දෙනෙක් අතරින් මට සම්මානය ලැබෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මට දැන් හිතෙනවා සිංහලෙන් ලියන එක මට කොහොමත් පුළුවන් ඇති කියලා. ඒ නිසා මම මේ දවස් වල කතාවක් ලියන්න අත්තිවාරම දමමින් ඉන්නේ. කොහොමත් මට පොතක් ලියන්න අවුරුදු දෙකක්වත් යනවා හැබැයි.
• තිස්ස අබේසෙකරයන් දිනාගත්ත ග්‍රේෂන් සම්මානය හරියටම වසර විස්සකට පසු ඔහුගේ දියණිය විසින් දිනා ගන්නවා. ඒ දියණිය ඔබ වීම ගැන තියෙන සතුට විස්තර කරමුද ?
ඒක හරිම වෙනස් අත්දැකීමක්. මගේ අම්මා ඉතාමත් සතුටට පත් වුණා. එදා අම්මාම එක්ක කිව්වා තිස්ස අබේසෙකර නැවත ඉපදුණා කියලා මට දැනෙනවා දුවේ කියලා.මට තාත්තා වෙන්න බැරි වෙයි. ඒත් මට මේ ඇගයීම ලොකු දෙයක්. ඒ ඇරුණාම මගේ ලොකු අක්කා අපර්ණා කෝල් කරලා කිවා " චූටි නංගි ... හැම දරුවෙක්ටම තමන්ගේ දෙමාපියන්ට ණයක් තියෙනවා. අද ඔයා ඒ ණයෙන් නිදස් වුනා" කියලා. තාත්තා අන්තිම කාලේ අපේ නංගි ස්වෙත්ලානා ට කියලා මම එවන ඊ මේල් කියව ගන්නවලු. මම ලියන ඒව අහගෙන ඉඳලා "අක්කි ලස්සනට ලියනවා නේද දූ " කියලා ස්වෙත්ලානා එක්ක කියනවලු. ඉතින් මේ දේවල් එක්ක මට මතක් වෙන්නේ තාත්තවමයි. මට විතරක් නෙමෙයි අපර්ණා අක්කට , නොරිකෝ අක්කට , ස්වෙත්ලානා නංගිටත් ලස්සනට ලියන්න පුළුවන්.ඒත් දිගටම ලියන එක කළේ මම.
• තිස්ස අබේසේකර මහත්තයා වරක් "ලස්සන දේකට ඇත්තේ චාරු විතරයි " කියලා ලිව්වා. ඒ ඔබ ගැනද ?
ඒක හරිම ලස්සන කවියක් . තාත්තා ඒ කවිය ලියන්නේ සත්‍යජිත් රායි ගේ චාරුලතා ගැන. ඒත් පස්සේ කාලෙක තාත්තා මං ගැන කියනකොට මේ කවිය නිතරම කියන්න පුරුදු වුණා. තාත්තා අපි හැමෝටම කවි ලිව්වා. මං ගැන ලියපු Amber Light කවියටත් මම හරිම කැමතියි. ඒ එක්කම මේ "ලස්සන දේකට ඇත්තේ චාරු විතරයි " කියන කවිය මට හරිම විශේෂයි.
චාරු…..
බිත්ති හතරක් අතර හිරවුණු ලස්සන ජීවිතයක්
පාලූ කාමර වයිවාරණ කැටයම් කරපු
කලූවර බඩු මුට්ටු හතර වටින්ම,
ඇහිපිල්ලන් නොගහ බලා ඉන්න
මළ ගිය ඇත්තන්ගෙ පින්තූර
මේ මළ ගිය ලෝකයේ
පණ ඇති දේකට ඇත්තේ
චාරු විතරයි
ලස්සන දේකට ඇත්තේ
චාරු විතරයි
• ඔබ සහ පියා අතර සම්බන්ධතාව කාලයෙන් කාලයට දුරස්ථ වුණත් , ඔබ හෝ ඔබේ මව කිසිදිනෙක ඒ පුද්ගලික අත්දැකීම් ඇසුරින් සාහිත්‍යකරණයේ යෙදුණේ නෑ. ඒකට විශේෂ හේතුවක් තියෙනවද ?
තාත්තා මගේ ලෝකයෙන් යනකොට මට අවුරුදු හතරයි. ආයෙම මම තාත්තව දකිනකොට මට අවුරුදු එකොළහයි. ඒත් අපේ අම්මා අවසානය දක්වාම තාත්තා එක්ක කතාබහ කළා. කවදාවත් මගෙ ඉස්සරහ තාත්තව විවේචනය කරලා නැහැ. මා එක්ක තාත්තගේ වැරදි කියලත් නැහැ. මම අද වෙනකොට දරුවන් හතර දෙනෙක් ගේ අම්ම කෙනෙක්. ඉතිං බුදු දහමත් , අම්ම ක්‍රියාවෙන් කරලා පෙන්නපු දේත් එක්ක මම තේරුම් ගත්ත දෙයක් තියෙනවා. කෙනෙක් ජීවිතේ ගත්තු තීරණයක් විවේචනය කරන්න එළියේ ඉන්න අපිට බැහැ. ඒ නිසා මම ඒ යථාර්ථයට මුහුණ දෙන්න පුරුදු වුණා.
සංවාදය : සහන් කසීර වික්‍රමසිංහ | ලක්බිම | මංජුසාව | 2017 ජූලි 09
prepossessing......!!!
ReplyDelete