ජූනි 19 : වැලන්ටීනා තෙරෙෂ්කෝවා අභ්‍යවකාශගත පළමු කාන්තාව බවට පත් වන්නීය


1963 වසරේ අද වැනි දවසක සෝවියට් රුසියාවේ වැලන්ටීනා තෙරෙෂ්කෝවා අභ්‍යවකාශගත පළමු කාන්තාව බවට පත් වූවාය.
බෙලරුසියාවේ සිට සංක්‍රමණය දුප්පත් පවුලකි. පියා ට්‍රැක්ටර් ගොවියෙකු වූ අතර මව ඇඟළුම් සේවිකාවකි. වයස අවුරුදු 16 දී පාසල් ගමනට නැවතුම් තබන ඔවුන්ගේ දියණිය වැලන්ටිනා ඇඟළුම් කම්හල් සේවිකාවක ලෙස ද තරුණ කොමියුනිස්ට් ලීගයේ ලිපිකාරිනියක ලෙස ද සේවය කරන්නීය. එවකට සෝවියට් දේශය පුරා ව්‍යාප්තව පැවති පැරෂුට් කරණම් සමාජයක දීප්තිමත් සාමාජිකාවක වූ ඇය, මවගේ විරෝධතාව නොතකා එම ක්‍රීඩාවේ නිරත විය. වැලන්ටිනාගේ මව "කොල්ලන්ගේ ක්‍රීඩාවක්" ලෙස හෙළා දුටු මේ පැරශුට් කරණමෙහි ඇයගේ නිපුණතාව දකින සෝවියට් බලධාරීන් 1962 දී පිහිටවූ කාන්තා අභ්‍යවකාශගාමී බලකායට ඇයව තෝරා ගනු ලැබිණ.
1962 ජූනි 16 වොස්ටොක්-6 අභ්‍යවකාශ යානයේ පිටත් වූ ඇය ඇය දින 3 ක් අභ්‍යවකාශයේ ගත කළාය. ඉන්පසුව පෘථිවියට ළඟා වූ යානයෙන් මිදී පැරශුටයක ආධාරයෙන් මහපොළවට පිළිපන් වැලන්ටිනා තෙරෙෂ්කෝවා එමොහොතේ පටන් රුසියාවේ වීරවරියක බවට පත් වූවාය. සැණෙකින් කීර්ති ප්‍රශංසා සහිතව ලෝකාවධානයට පාත්‍ර වන ඇය රුසියාව සහ ඇමරිකාව අතර අභ්‍යවකාශය ජයගැනුම වෙනුවෙන් පැවති සීතල යුද්ධයේ කොටස්කාරියක බවට පත් වූවාය.
ඉන්පසු වසරේදී එනම් , 1963 වසරේ දී තවත් සෝවියට් අභ්‍යවකාශගාමියෙකු වන Andriyan Nikolayev සමග උත්සවාකාරයෙන් විවාහ වූ වැලන්ටිනා 1964 දී තම දියණිය Elena Andrianovna Nikolaeva-Tereshkova හට උපත ලබා දෙන්නීය. 1982 වසරේ දී 18 වසරක විවාහයට නැවතීමේ තිත තබන වැලන්ටිනා සහ ඇන්ඩ්‍රියන් වෙන් වේ. ඇය යළිත් වරක් විවාහ වූ අතර දෙවැනි සැමියා 1999 දී ජීවිතක්ෂයට පත් විය.


වැලන්ටිනාගේ අභ්‍යවකාශතරණය සහ ඇගේ ජීවිතය සම්බන්ධව වැඩි සංවාදයට නොගැණුනු මතවාදයන් ද රාසියක් වන නුමුදු ඒවා බොහොමයක් සාධක රහිත මතවාදයන් සහ අනුමානයන් ලෙස සැලකීමට සිදු වේ.
සෝවියට් බළධාරීන් විසින් පළමුව අභ්‍යවකාශගාමිනියන් පස් දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් තෝරාගෙන තිබූ අතර ඔවුන්ගේ නිසැක තේරීම වී සිටි Tatyana Kuznetsova ගේ අයහපත් ශාරීරික සහ මානසික තත්ත්වය නිසා ඇයව ඉවත් කරන ලද බවත් පසුව ඒ සඳහා වැලන්ටිනා තෙරෙස්කෝවා තෝරාගත් බව ප්‍රසිද්ධ රහසකි. නමුත් වැලන්ටිනාට පෙර අභ්‍යවකාශතරණයට තෝරාගෙන සිටි Tatyana Morozycheva නම් වූ වැලන්ටිනාගේම පැරශුට් කණ්ඩායමේ සාමාජිකාවක් පිළිබඳව ද අප්‍රකට මතයක් ඇත. අභ්‍යවකාශ ගමනට තෝරා සිටි එම තත්‍යානා අවසාන වෛද්‍ය පරීක්ෂණය වන විට හදිසියේ ගැබ්ගෙන තිබූ නිසා ඇයව ඉවත් කර වැලන්ටිනාව තෝරාගත් බවත් එපුවත අසා තත්‍යානා දැඩි කම්පනයට හා ආතතියට ලක් වූ බවත් පැවසේ. නමුත් මේ තත්‍යානා ලා දෙදෙනාම එක් අයෙක්දැයි අනාවරණය නොවේ.
පැරෂුටයෙන් ගොඩ බසින වැලන්ටිනා බලවත් සේ රෝගාතුරව , ඔක්කාරය කරමින් සිටි බවත් හිස් ආවරණය තදින් ගැටීම නිසා දුර්වලව සිටි බවටද මතයක් ඇත. එබැවින් වහා ඇයව රෝහල්ගත කළ අතර ජීවිත හානි හෝ බරපතල තත්‍ත්වයක් නොමැති බව එමගින් තහවුරු වූ බවද ඒ අනුව පැවසේ. පසුදිනයේ ලහිලහියේ කැඳවූ මාධ්‍ය සංදර්ශනයක් ඉදිරියේ වැලන්ටිනා සිනාමුසු මුහුණින් මුහුණින් පැරශුටය සහිත අභ්‍යවකාශ යානාවෙන් එළියට බට ආකාරය රූගත කෙරුණු බවත් ලොව පුරා විකාශය කෙරුණේ එම පසු රූගත කිරීම බවත් පැවසේ.
ඇයගේ පැරශුටය  ගොඩබට ස්ථානය අද වන විට කසකස්තාන - මොංගෝලියා - චීන දේශසීමා මායිම් ආසන්නව පිහිටි ගම්මානයකි. ගම්වැසියන් ඇය දැක ඇයට පැරෂුටයෙන් මිදෙන්නට සහාය වී පසුව රාත්‍රී ආහාරයට ඇරියුම් කළ බවද වැලන්ටිනා එම ඇරියුම පිළිගත් බවද පැවසේ. නීතිරීති වලට අනුව පෘථිවියට ගොඩබට වහා ක්ෂණික ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී නොසිටි නිසා ඒ සම්බන්ධව ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වුණු බව ද කියැවේ.
මීට අමතරව වැලන්ටිනාගේ විවාහය හදිසි සහ අනපේක්ෂිත විවාහයක් බවත් එම යුවළ පිළිබඳ සැවොම විමතියට පත් වූ බවත් පැවසේ. සෝවියට් රජයේ උවමනාව පරිදි වැලන්ටිනාගේ ප්‍රතිරූපයට සහ සෝවියට් පෞරුෂයට ගැලපෙන ඒ හා සමාන අභ්‍යවකාශගාමියෙක් තෝරා දුන් බව පැවසේ. සැබැවින්ම ඒ වනවිට අභ්‍යවකාශය තරණය කළ රුසියානුවන් අතරින් අවිවාහකයෙක්ට සිටියේ ඇයගේ සැමියා පමණකි. මෙම තාරකා විවාහය හරහා සෝවියට් අභ්‍යවකාශ සැලසුම් වල ශක්තිය ප්‍රදර්ශනය කිරීම මෙන්ම අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු ද සාර්ථක කර ගැනීමට සෝවියට් රජය උත්සුක වූ බව ද පැවසේ. වැලන්ටිනා - ඇන්ඩ්‍රියන් යුවළගේ දියණිය වූ එලේනා යනු මව සහ පියා යන දෙදෙනාම අභ්‍යවකාශයට පා තැබූ එකම දරුවා ද වන්නේය.
වැලන්ටිනා පුද්ගලික ජීවිතය සෝවියට් පාලනයට උවමනා අයුරින් පැවති බව ද ඇය ප්‍රදර්ශනකාමී රූකඩයක් වූ බවටද මත පළ වේ. වෙනකක් තබා ඇයගේ දික්කසාදයට එවකට සෝවියට් නායක නිකිතා කෘෂෙව්ගේ අවසරය උවමනා වූ බව ද පැවසේ. මෙයට හේතුව ලෙස පැවසෙන්නේ සෝවියට් රුසියානුවෙක් ලෙස ලෝක අවධානයට පාත්‍ර වූ පසු ඒ ගොඩනගාගත් ප්‍රතිරූපය ට හානි නොවෙන සේ රැක බලාගැනීම තම වගකීමක් ලෙස බලධාරීන් සැලකූ බැවිනි.
ඈත එපිට ගමක දුප්පත් දැරියක් කම්හලක සේවය කර අභ්‍යවකාශය ද තරණය කළාය. රජය විසින් බලහත්කාරයෙන් හෝ ඇයගේ ස්ව කැමැත්තෙන් එම ප්‍රතිරූපය නඩත්තු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වැලන්ටිනා තෙරෙස්කෝවා යන නාමය අදටත් ඇති කරන්නේ ගෞරවය දනවන හැඟීමකි.
මහපොළොවේ සිට අහසට විසි වුණු බොහෝ තරු ඒ වේගයෙන්ම බිමට වැටෙනු අප දැක ඇත්තෙමු. තමා දිනූ පදක්කම විකුණන්නේ යැයි ආත්මාර්ථය උදෙසාම වූ වහසි බස් දොඩමින් කඳුළු මාර්කට් කරන බොහෝ දෙනෙක්ට වැලන්ටිනා තෙරෙෂ්කෝවා ගෙන් ඉගෙන ගත හැකි දෑ බොහෝය.
ඇයට උඩුකය වැසෙන්නටම ඕනෑතරම් පදක්කම් සහ ගෞරව සමාචාර ලැබිණ. නමුත් ඇය කිසිදිනෙක හෝ තම පුද්ගලික ලාභඅපේක්ෂා උදෙසා ඒවා උකසට තබන්නට සූදානම් නොවීය. අසූ වැනි වියේ පසුවන ඇය අදටත් නොපැකිළ සටන් වදින්නීය. ඒ තමාට නිවෙසක් හෝ දීමනා ඉල්ලා නොවේ. ඇය හඬ නගන්නේ රුසියානු අභ්‍යවකාශ මෙහෙයුම් වල දී කාන්තා සහභාගීත්වය ඉහළ නංවන ලෙස ඉල්ලමිනි.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. hmm..... we need characters who think mostly about others.

    ReplyDelete