මැයි 13 : ටෝනි ග්‍රෙග් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් නෙරපයි


1977 වසරේ අද වැනි දවසක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෝනි ග්‍රෙග් ජාතික කණ්ඩායමෙන් නෙරපනු ලැබීය.
සියල්ල සිදුවන්නට ගත වන්නේ දින හතරක් වැනි කෙටි කාලයකි. 1977 මැයි 09 වැනි දා නිවේදනයක් නිකුත් කරන කෙරී පැකර් (Kerry Packer) නම් වූ ඕස්ට්‍රේලියානු මාධ්‍ය කුවේරයා දන්වා සිටින්නේ ඔහු ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් 35 දෙනෙකු අනුයුක්ත කර සුවිශේෂී ක්‍රිකට් තරගාවලියක් දියත් කරන බවයි. ඒ වන විටත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය කෙරී පැකර් ගේ මාධ්‍ය ජාලය සඳහා වූ නිල විකාශන අයිතිය අත් හිටුවා තිබිණ. මෙම නිවේදනයත් සමගින් ක්‍රිකට් ලෝකය කැළඹුණු අතර බොහෝ දෙනෙකුගේ මතය වූයේ මේ හරහා මහත්වරුන්ගේ ක්‍රීඩාව විනාශ වනු ඇත යන්නයි. ඒ වන විට මෙම යෝජිත තරගාවලිය "Packer Circus" ලෙස නම් කරනු ලැබ තිබුණේ කෙරී පැකර් තම ධනබලය හරහා ක්‍රීඩකයින් සහ ක්‍රීඩාව අවභාවිත කරන බවට චෝදනා නගමිනි.

දෙලොවක් අතර : ටෝනි ග්‍රෙග් සහ කෙරී පැකර් 
කෙරී පැකර් තම සම්බන්ධීකාරකවයා ලෙස තෝරා ගනු ලබන්නේ එවකට එංගලන්ත ජාතික කණ්ඩායමේ නායක ටෝනි ග්‍රෙග් (Tony Greig) වය. ඔහු හරහා වඩාත් උපායශීලී සහ වෘත්තීමය ලෙස අනෙක් ක්‍රීඩකයන් කැමති කරවා ගැනීම මෙම ධනපතියා අපේක්ෂා කළ බව පැහැදිලිය. නමුත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ටෝනි ග්‍රේග් ගේ මෙම මැදිහත්වීම දකින්නේ ඔහු හා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව අතර තිබූ විශ්වසනීයත්වය පළුදු කිරීමක් ලෙසිනි. පැය හතරක සාකච්ඡාවකින් අනතුරුව වහා ක්‍රියාත්මක වන පරිදි එංගලන්ත නායකයාව නායකත්වයෙන් පහ කිරීමේ තීරණය ලබා දුන් අතර ගිවිසුම් අත්සන් කළ අනෙක් එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනාටද ගැලවුමන්ක් නොවිණ. ටෝනි ග්‍රෙග් තම පියවර ආපස්සට නොතැබූ නුමුදු ඒ සිදුවීම පිළිබඳව පසුතැවුණු බව පසුකාලීන කතා බස් වලදී පැහැදිලි විය. "ඇත්තටම මම කළ කිරුණා. අපි එකතු වෙලා වැඩක් කරන්න ගත්ත ගමන්ම මගේ නායකත්වය උදුරගත්තු එක ගැන හිතා ගන්න බැහැ" ඔහු එලෙස තම අප්‍රසාදය ගොනු කළේය.
අවසානයේ ටෝනි ග්‍රෙග් ගේ සහයෝගය ද ඇතිව ලොව සුපිරිතම ක්‍රීඩකයින් 50 දෙනෙකු සමග ගිවිසුම් අත්සන් කළ කෙරී පැකර් ඔවුන් වෙත ඉතාමත් ඉහළ මට්ටමේ දීමනා පිරි නැමීය. World Series Cricket ලෙස පැවති මෙම ක්‍රිකට් ලොව පෙරළිකාර තරගාවලිය පැවතියේ මාස 17 ක් පමණි. 

පැකර් ගේ සර්කස් කණ්ඩායම : මැක්ඩොනල්ඩ්ස් අනුග්‍රහය යටතේ 
නමුත් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්නට පැමිණි සහ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ සාපය ලෙස හැඳින්වූ කෙරී පැකර් ක්‍රිකට් ක්‍රීඩාව ට ඉතිරි කර ගිය දෑ අති මහත්ය. එතෙක් ඇල්මැරුණු සහ උදාසීන ක්‍රීඩාවක් ව පැවති ක්‍රිකට් සඳහා ධාරා ආලෝක මධ්‍යයේ දිවා රාත්‍රී තරග හඳුන්වා දෙන්නේ ද , සුදු පැහැ පන්දු , වර්ණවත් ඇඳුම් හඳුන්වාදෙන්නේ ද ඔහුය. ආකර්ෂණීය රූපවාහිනී විකාශන සහ ක්‍රීඩකයින් හට වෘත්තීමය ගෙවීම් ක්‍රමය හුරු කරන්නේ ද ඔහුය. වචනයේ පරිසමාප්ත අරුතින් ක්‍රිකට් ක්‍රීඩාව තිරිහන් කරන්නේ කෙරී පැකර් ය. පසුකාලීනව ලංකාවේ ආයෝජනයට පැමිණීමට සූදානම්යැයි රාවයක් පැතිරුණු කෝටිපති කැසිනෝ ව්‍යපාරික ජේම්ස් පැකර් යනු ඔහුගේ පුත්‍රයා ය.
කෙරී පැකර් ඇසුරින් ටෝනි ග්‍රෙග් හට ක්‍රිකට් උපන් රටේ නායකත්වය අත හැරීමට සිදු විය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්නට ද සිදු විය. පසුකාලීනව විස්තර විචාරකයෙක් ලෙස ලොවම හඳුනාගත් ඔහු වරෙන් ඒ යටගියාව ගැන දෙගිඩියාවෙන් සිහිපත් කළේය.
"මගේ පුද්ගලික මතයේ හැටියට නම් , මට සතුටු වෙන්න කාරණයක් තියනවා . මම ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන ආසා හිතෙනම රාජකාරිය අත අරින්නේ එක දෙයක් නිසා. ඒ දේ කවදා හරි ලෝකේ පුරාම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ යහපතට සහ කැමැත්තට ලක් වෙන දෙයක් වෙයි කියන සිතිවිල්ලෙන් මම අනිත් දේවල් අත ඇරියා"
ටෝනි අනුමාන කළ වෙනස් වූ ක්‍රිකට් ලොව ඔහු ඇස් ඉදිරියේම උදා විය. නමුත් 2012 වසරේදී මේ මිත්‍රශීලී හිතුවක්කාරයා මහත්වරුන්ගේ ක්‍රීඩාවෙන් ද ජීවන ගමනෙන් ද සමුගන්නේය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. අපරාදේ අපේ පැකර් මාමා නාව එක නං.

    ReplyDelete
    Replies
    1. එන්න කලිං කෙල්ලව ගෙට ගත්තානේ අපේ අය :D

      Delete