ජාත්‍යන්තරයේ කන්‍යා පටලය සිඳලූ සයිටම් විරෝධතාව



1987 දී රජිව් ගාන්ධිට තුවක්කු බඳෙන් තඩි බෑ සේවා නියුක්ත නාවුක සෙබළා විජිත රෝහණ විජයමුණි ය. අද වන විට ඔහු රණවිරුවෙකු ලෙසත් දේශප්‍රේමියෙකු ලෙසත් හඳුන්වනු ලබන්නේ ආරාධිත රාජ්‍යතාන්ත්‍රිකයෙක් හට පහර දීම යනු විරෝධතාවයක ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදය නිසාය. එවැනි සිදුවීමක දී ජාත්‍යන්තරය ඉදිරියේ රටේ කීර්ති නාමයට හානි සිදු නොවන්නේ විරෝධය පළ කිරීමේ පිළිගත් ක්‍රමවේදය පොල්ලකින් තඩි බෑම යැයි ජිනීවා සම්මුති වල ඇති නිසාය.
විජිත රෝහණ විජයමුණි : දේශප්‍රේමයේ සිට හූනු සාස්තර දක්වා

2010 දී බ්‍රිතාන්‍යයේ ස්ථාවරයට එරෙහිව විරෝධය පළ කරන්නේ විමල් වීරවංශ 
ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණය. ඔවුන් ඉංගිරිසි රාජධානියට විරෝධය පළ කිරීමේදී Condemn වෙනුවට Condem කියා ලිවීමෙන් සිදුවන්නේ රජා මැරී පර වී වැටීමය. රැජිණ විලි ලැජ්ජාවෙන් බොස්තොරොක්කය ද ඔසවාගෙන ලන්ඩන් හන්දිය හරහා පැන යාමය. එවැනි විරෝධතා වලින් රටේ කීර්ති නාමයට හානියක් නොවන්නේ ඉංග්‍රීසි භාෂාව " වහරනු සෙරෙන් සපයා" ලෙස හෝඩිපොතේ පවසා ඇති නිසාය.
විමල් වීරවංශ : රජා මැරීම හෙවත් දන්නා ඉංගිරිසියෙන් හෙළා දැකීම 
1968 මෙක්සිකෝ උළෙලේ මීටර 200 ඉසව්වේ ජයග්‍රහණය කළේ කළු ඇමරිකානුවන් දෙදෙනෙකි.ටොරී ස්මිත් සහ ජෝන් කාර්ලෝස් පදක්කම් පුවරුව මත හිඳ කළු අත් වැසුම් පැළඳි අත් ඔසවා විරෝධය පළ කළහ. ඒ ඔලිම්පික් උළෙල අරභයා නොව තම උපන්බිමේ කළු ජාතිකයින්ට දක්වන අඩු සැලකිල්ල ට එරෙහිවය. එම ඔලිම්පික් උළෙලේම ජිම්නාස්ටික් ඉසව්වේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වූ චෙකොස්ලෝවැකියාවේ වියෙරා චාස්ලෆ්කා පදක්කම් පුවරුවේ දී තම විරෝධය දියත් කළාය. භූමි ව්‍යාම ඉසව්වේ සහ සමබල දණ්ඩ ඉසව් වල රන් පදක්කම් දිනූ සෝවියට් ක්‍රීඩිකාවන් වෙනුවෙන් සෝවියට් ජාතික ගීය වාදනය වන විට ඇය හිස පහතටත් පැත්තකට ත් හරවා විරෝධය සහ ප්‍රතික්ෂේපය පළ කළා ය. එය ක්‍රීඩාවේ නාමයෙන් දක්වන විරෝධතාවක් නොව දේශපාලනික ප්‍රතික්ෂේපයක් ලෙසය. ඇය පෙනී සිටින්නේ චෙකොස්ලෝවැකියාව ආක්‍රමණය කරමින් සිටි සෝවියට් රජයට එරෙහිව ය. 2016 රියෝ ඔලිම්පික් උළෙලේ මැරතන් ඉසව්වේ රිදී පදක්කම් ලාභියා වූයේ ඉතියෝපියාවේ ෆෙයිසා ලිලේසා ය.ඔහු තම තරගය අවසන් කරන්නේ දෑත් හරස් කරමින් විරෝධය දනවන සංඥාවක් පෙන්නුම් කරමිනි. ඔහුගේ විරෝධතාවද ඔලිම්පික් උළෙලට එරෙහිව නොව තම මව්බිමේ දේශපාලනික තීන්දුවකට එරෙහිවය. අඩිස් අබාබා සමෝධායන ව්‍යාපෘතියෙන් අගතියට පත් වන ලිලේසා උපන් ඔරෝමෝ ගෝත්‍රය වෙනුවෙන් ද රජයේ හමුදා විසින් මරා දැමූ හාරසියයකට අධික උද්ඝෝෂකයින් වෙනුවෙන්ද ඔහු තම විරෝධය පළ කරන්නට ඒ අවස්ථාව තෝරා ගන්නේය.

ඔලිම්පික්  : විරෝධතා වලින් පතිවත නොසිඳුණු කුල කුමරිය 
2017 දී ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය පිරිසක් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති ක්‍රිකට් තරගයක් අතරතුර සාමකාමී ව සහ නිර්මාණශීලිව විරෝධතාවක් දියත් කළහ. පොදු ජනතාවගේ දෛනික දිවිපෙවෙතට කිසිදු බාධාවක් නොකරන ඔවුන් ප්‍රවේශපත්‍ර ද රැගෙන පැමිණ කළ විරෝධතාවය පිළිබඳව ඇතමුන්ගෙන් එල්ල වන චෝදනා විසුළුසහගතය. සයිටම් සම්බන්ධව අපගේ පුද්ගලික ස්ථාවරය පවතින්නේ මේ සිසුන්ගේ මතයට ප්‍රතිවිරුද්ධවය. නමුත් මේ අරභයා නැගෙන භවාතීශ විලාප සහ සාම්ප්‍රදායික කෙඳිරිලි නියෝජනය නොකරන නිසා ම මෙසේ පැවසිය යුතු වේ. තවත් එක් මුදල් සූදුවක් පමණක් වන ක්‍රිකට් පිටියක විරෝධතාවක් දැක් වූ පමණින් ජාත්‍යන්තරයේ කන්‍යා පටලය බිඳෙන්නේ නැත. ජාත්‍යන්තරය උපදින්නේ කහ මලකිනි'යි සිතන බොහෝ සුදනන්, තක්කඩි කම දේශප්‍රේමයෙන් වසාගත් විරෝධතා වල සැබෑ හෙළුව දකින්නේ ද නැත.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment