විශ්ව කීර්තිය පමණක් දියාරු වූ ජනාධිපති සිනමා සම්මාන උළෙල


වසර 8 කට පසු පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් නිම වූ අතර අට වසරකට පසු හෝ ලාංකීය සිනමාව දෙස අවධානය යොමු වීම පැසසුම්සහගතය. සම්මාන පිරිනැමිණ. ඉක්බිති සියල්ලෝම සතුටින් විසිර ගියා හෝ සතුටින් විසිර ගිය බවක් පෙන්නුම් කළහ. එනුමුදු ප්‍රදානය කරනවායැයි පැවසූ සහ වෙනදාට පිදෙන විශ්ව කීර්ති සම්මානයට වූ දෙයක් නැත. සම්මානය සංවිධායකයින්ට අමතක වීද ? එය තවමත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වේදිකාව මුල්ලක බැරි වී ගොස් ද ?

විශ්ව කීර්තියක් නැති සම්මාන උළෙලක නිමාව 
විශ්ව කීර්ති සම්මානය පිළිබඳ මුල්ම සඳහනට අනුව එක සම්මානයක් නොව සම්මාන 3 ක්ම පිරිනැමෙන බව පැවසුණි. "2015 වසරේ තිරගත කරන ලද චිත්‍රපට සම්මාන උදෙසා තරඟ වැදීම සඳහා සුදුසුකම් ලැබ සිටියි. මෙම සම්මාන උලෙළේ මූලික සම්මාන 21 ක්ද, පුරෝගාමි සම්මාන 3 ක් ද, විශ්ව කීර්ති සම්මාන 3 ක් ද, ජූරියේ විශේෂ සම්මාන 4 ක් ද, කුසලතා සම්මාන ත්‍රිත්වයක් මෙන්ම ස්වර්ණ සිංහ සම්මානයක් ද පිරිනැමෙනු ඇත. එයට අමතරව රුපියල් ලක්ෂ ගණනාවක මුදල් ත්‍යාගයන් පිරිනැමෙන බව මේ පිළිබඳ මුල්වරට සරසවිය පුවත්පතට හෙළිදරව් කළ සංස්ථා සාමාන්‍යාධිකාරී නිමල් අබේවර්ධන මහතා පැවසුවේය" (2017 මාර්තු 23 | සරසවිය )
2015 වසරේ ලාංකේය සිනමාව සඳහා විශ්ව කීර්ති සම්මාන 3 ක්ම පිරිනමන්නට තරම් අදාල වසර තුළ ජාත්‍යන්තර කීර්තියට පාත්‍ර වූ සිනමාකරුවන් කවුදැයි දැන ගැනීමේ මහත් කුතුහලයක් පැණ නැගිණ. නමුත් සම්මාන උලෙලට පෙර දින , එනම් 2017 මාර්තු 30 දින සරසවිය පුවත්පත ට සාකච්ඡාවක් සපයන ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා පවසන්නේ එක විශ්ව කීර්ති සම්මානයක් පිරි නමන බව ය. ඔහු පවසන්නේ මෙසේය. "විශ්ව කීර්ති සම්මානය හිමිවන්නේ 2015 වසරේදී පිළිගත් විදේශ චිත්‍රපට උලෙළකදී ලබාගත් සම්මානයක් සඳහායි." ඒ අනුව විශ්ව කීර්ති සම්මානයට පාත්‍ර වෙන්නේ කවුදැයි බලා සිටියෙමු.
මිත්‍රවරුනි , 2017 වසරේ දී වසර 8 කට පසුව මහත් උත්කර්ෂවත් අන්දමින් ජනාධිපති සිනමා සම්මාන උළෙල පැවැත්විණ. නමුත් විශ්ව කීර්ති සම්මානයට වූ දෙයක් නැත.
මේ සම්මාන උළෙලට අදාල වර්ෂය වන 2015 වසරේ විශ්ව කීර්තියට පාත්‍ර වූ සිනමා නිර්මාණ අතරින් ප්‍රමුඛස්ථානය හිමි වන්නේ ඉන්දික ෆර්ඩිනැන්ඩස්ගේ "හෝ ගානා පොකුණ" චිත්‍රපටය ට බව අවිවාදිතය. මෙවර සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය / අධ්‍යක්ෂණය / නළුවා / නිළිය / සංගීතය යන ප්‍රධාන සම්මාන රාසියම දිනා ගත් ප්‍රසන්න විතානගේ ගේ "ඔබ නැතුව ඔබ එක්ක" මේ සඳහා සුදුසුකම් නොලබන්නේ මන්ද යන්න පළමුව වටහා ගත යුතුය. "ඔබ නැතුව ඔබ එක්ක" සහ "හෝ ගානා පොකුණ" යන සිනමා නිර්මාණ ද්විත්වයම ලංකාව තුළ තිරගත වන්නේ 2015 වසරේ දී වුව ද " ඔබ නැතුව ඔබ එක්ක" ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කරන්නේ 2012 වැනි අතීතයක ය. නමුත් "හෝ ගානා පොකුණ" 2015 දී ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කර එම වසරේ දීම ලංකාව තුළ තිරගත වේ. ඒ අනුව ප්‍රසන්න විතානගේ ගේ නිර්මාණය මෙවර සම්මාන උළෙල තුළ කැපී පෙනුණු චිත්‍රපටය වුවද 2015 වසර සඳහා විශ්ව කීර්ති සම්මානයට එම නිර්මාණය අදාල නොවේ.ජනාධිපති සම්මාන උළෙල නොපැවත්වූ රික්තකය තුළ නොපෙනී සැඟවී යන ඇගයීමක් ලෙස එය හඳුන්වා දිය හැකිය.
හෝ ගානා පොකුණ - කරළිය හිමි නැති අපේ ළමයි 
එසේ නම් මෙවර විශ්ව කීර්ති සම්මානයට වඩාත්ම සුදුස්සා විය යුත්තේ ඉන්දික ෆර්ඩිනැන්ඩෝ මය. "හෝ ගානා පොකුණ" චිත්‍රපටයේ රඟ පෑ දරු දැරියන් රෑනම 55 වැනි Zlín Film Festival හි දී හොඳම ළමා රංගනය ලෙස සම්මානයට පාත්‍ර වන්නේ ලාංකීය ළමා සිනමාවේ දැවැන්ත පියවරක් සනිටුහන් කරමිනි. Zlín Film Festival සැලකෙන්නේ ලොව ප්‍රමුඛතම , තරගකාරීම , විශාලතම සහ පැරණිතම ළමා චිත්‍රපට උළෙල ලෙසය. ඉන් නොනවතින ඉන්දික ෆර්ඩිනැන්ඩස්ගේ "හෝ ගානා පොකුණ" ලෝකයේ ළමා සිනමා උළෙල අතුරින් පළමු සිනමා උළෙල විස්සෙන් එකක් ලෙස සැලකෙන Lucas සිනමා උළෙලේ දී හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර විය. නමුත් ඉන්දිකගේ මේ විශ්ව කීර්තිය ලාහෙට ගෙම්බන් අල්ලන්නාක් මෙන් පවත්වන ලාංකේය ජනාධිපති සිනමා උළෙලේ නිර්ණායකයන්ට මදි වන්නට ඇත.

ඉන්දික ෆර්ඩිනැන්ඩස් - දෙලොවක් අතර  
ජාත්‍යන්තර සිනමාව ජයගැනීම නිර්මාණකරුවන්ට භාර දී ලංකාවේ සිනමාවට මැදිහත් වන්නන් හා තීන්දු තීරණ ගන්නන් පසෙකට වී කළ යුතු ගෙදර වැඩ (Home work) බොහෝය. පළමුව ලෝක සිතියමක් ගෙන ජාත්‍යන්තරය කුමක්ද යන්න වටහා ගත යුතුය. ඉතිහාසයේ වතාවක් සිදු වූ New York City International Film Festival සහ New York Film Festival පටලවා ගැනීම් වැනි සිද්ධි මනාව අධ්‍යනය කළ යුතුය. එඇසුරින් නොදන්නා දෙමළයට ගොස් වරිගය නසා ගන්නට උපදෙස් දෙන කේවට්ටයන් හඳුනාගත යුතුය. අවසාන වශයෙන් , වසර අටකට පසුව පැවැත්වූ ජනාධිපති සම්මාන උළෙලක ප්‍රධානතම සම්මානයක් අතපසු කර හෝ නවත්වා එවැන්නක් ගැන නොදන්නවාක් මෙන් සිටීමෙන් වැළකිය යුතුය. විශ්ව කීර්තිය දිය වී වැක්කෙරෙන්නට ඉඩ නොදිය යුතුය.



ඡායාරූප 
1-3-4 : ඉන්දික ෆර්ඩිනන්ඩෝ ගේ ෆේස්බුක් පිටු
2        : 
1. අතිගරු ජනපතිතුමන්ගේ නිල ෆේස්බුක් පිටුව  
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. ඉතිහාසය පුරා සිදුවූ සම්මාන අවමානයට පාත්‍ර වීමේ ආසන්නතම අත්දැකීම. සම්මාන සංවිධායකයන් හෝ දේශපාලකයන් හිතන්නේ සම්මාන දෙන්නේ ඔවුන්ගේ බූදලයෙන් කියායි. මේ ආරම්භය නොවුණත් අවසානයක් දැකීමට නම් හෙළිදරව් කොට විරෝධය පළ කළ යුතුයි. විශ්ව කීර්ති සම්මානය දෙනවා කියා ප්‍රසිද්ධ කොට, ඒ සඳහා නිර්ණායක හා පූර්ව අත්දැකීම් තිබියදී නියමාකාරයෙන් සම්මානය නොදී යට ගැසීම නිහීන, කුහක ක්‍රියාවක්.

    ReplyDelete
    Replies
    1. පුදුමේ කියන්නේ - තමන්ගේ ෆිල්ම් එකක් තහනම් කරනකොට , ආණ්ඩුවෙන් කේස් අදිනකොට මහජනයා දැනුවත් කරන , මහජන සහාය පතන චිත්‍රපට කාරයෝ මෙතනදි නිහඬයි. දුන්නු එක අරගෙන කටපියාගෙන ඉන්නවා

      Delete