1998 වසරේ අද වැනි දවසක, කම්පුචියාව මරණයේ ගොවිබිමක් බවට පත්කළ කෲර පාලක පොල්පොට් ජීවිතක්ෂයට පත් විය.
රේඩියෝ කාර්මික ශිල්පය හැදෑරීමට ප්‍රංශයට පැමිණි විසි අට හැවිරිදි සලොත් සාර් ( Saloth Sar ) නම් සිසුවා විභාග අසමත් වීමත් සමග මාක්ස්වාදී දේශපාලනයට නැඹුරු වේ. ඔහු පැමිණ සිටියේ එවකට ප්‍රංශ ඉන්දුචීනයේ කොටසක් ව පැවති කම්පුචියාවෙනි. පසු කාලයෙක පොල්පොට් වන්නේ මේ සලොත් සාර් මය. 1941 සිට කම්පුචියාව පාලනය කළේ නරදොම් සිහනුක් රජු (Norodom Sihanouk) විසින් වූ අතර ඔහු 1953 කම්පුචියාව නිදහස් රාජ්‍යයක්යැයි ඒකපාර්ශවීයව ප්‍රකාශ කරයි. නමුත් වියට්නාමයට මායිම්ව පිහිටි බැවින් කම්පුචියාවට එසේ ලෙහෙසියෙන් නිදහස් වන්නට නොහැකි විය. උතුරු වියට්නාමය කම්පුචියානු දේශසීමාව උල්ලංඝනය කරමින් හමුදා මධ්‍යස්ථාන පිහිටුවනු ලැබූ අතර ඇමරිකානු සහාය ලද දකුණු වියට්නාමය එම මර්මස්ථාන වලට ප්‍රහාර එල්ල කළේය. එහිදී කම්පුචියාවට සිදු වූ හානිය ද සුළු පටු නොවේ. සිහනුක් රජුගේ දේශපාලනික ස්ථාවරය කුමක් වුවද ඔහු උතුරු ඇමරිකාවට සහාය පළ කරන්නේ යැයි ඇමරිකාව විශ්වාස කළේය. එහි ප්‍රතිඵලය වන්නේ සිහනුක් පෙළපතට එරෙහි ඇමරිකානු කුමන්ත්‍රණ ගොඩ නැගීමයි. 1955 දී නරදොම් සිහනුක් , රජ කිරුළ තම පියාට භාර දී සිවිල් පුරවැසියෙක් ලෙස කටයුතු කරන අතර 1960 දී පිය රජු නරදොම් සුරමරිත් (Norodom Suramarit) කළුරිය කළේය. අනතුරුව සිහනුක් ගේ මව් රැජණ වන සිසවත් කුසනක් (Sisowath Kossamak) 1960 සිට 1970 දක්වා රට පාලනය කළාය. මේ අතරතුර ජෙනරාල් Lon Nel මැදිහත්ව කම්පුචියාවේ නව රජයක් ස්ථාපනය කළ ද ගරිල්ලා ප්‍රහාර හමුවේ එය බිඳ වැටිණ. අවසානයේ නරදොම් සිහනුක් කුමරු වෛද්‍ය හේතූන් මත යැයි පවසා රට හැර යන අතර සිසවත් කුසනක් මව් රැජණගේ පාලනය අවසන් කරමින් ජෙනරාල් Lon Nel විසින් CIA සංවිධානයේ සහායෙන් කම්පූචියාවේ බලය හිමි කර ගනී. එරට රාජ වංශය අහෝසි කරමින් බලයට පත් වූ ජෙනරාල් වරයා හට බලය හිමි වන්නේ 1970 ඔක්තෝබර් 09 වැනිදා සිට 1975 අප්‍රේල් 17 දක්වා පමණකි. ගරිල්ලා මෙහෙයුමකින් ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා සලොත්සාර් හෙවත් පොල්පොට් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් රාජ්‍ය බලයට හිමිකම් කීය. සංහාරය ඇරඹෙන්නේ එතැනිනි.
කෘෂි ආර්ථිකයක් උදෙසා බලහත්කාරය - මරණය දක්වාම |
රතු කම්පූචියානුවන් යන අරුතින් යුතු Khmer Rouge ගරිල්ලා පක්ෂයේ සහායයෙන් බලයට පත් පොල්පොට් , ඉයෙං සාරි , නුඔන්චියා සහ සොන්සෙන් එකව කම්පූචියාව සොහොන් බිමක් බවට පත් කළේය. 1976 දී කම්පූචියානු කොමියුනිස්ට් ජනරජය පිහිටවූ අතර දේශපාලන අංශයේ ප්‍රධානත්වය හිමිවූයේ පොල්පොට් හට ය. අගනුවර සියලුම වැසියන් බලහත්කාරයෙන් සැතපුම් ගණනක් දුර වගාබිම් වෙත ගාල් කරන ලදි. බුදු දහම සහ කතෝලික දහම ව්‍යාප්ත වීම වැළැක්වූ පොල්පොට් පාලනය කාර්මීකරණය ප්‍රතික්ෂේප කළේය. බැංකු කටයුතු සහ මුදල් ගනුදෙනු අහෝසි කරනු ලැබූ අතර පුද්ගල නිදහස අහිමි විය. මාධ්‍ය නිදහසක් ගැන වද වීමට අවැසි නොවූයේ ජනමාධ්‍ය නිෂ්ක්‍රීය කර තිබූ හෙයිනි. කම්පූචියාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සබඳතා ඇණහිට තිබූ අතර කම්පූචියාවට ලෝකයෙන් හුදකලා වීමට උවමනා වී තිබිණ.
කම්පූචියානු වැසියන්ගේ ඒකයන ජීවන රටාව ලෙස පාලකයින් අණ කර තිබුණේ වගා කිරීමය. මරණයේ ගොවිබිම් ලෙස පසුව හඳුන්වනු ලැබූ මේ වගාබිම් වල ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් නිරාහාරව , රෝගීව වෙහෙසට පත්ව දිනෙන් දින මියැදෙමින් සිටියහ. Xenophobic Agrarian Society හෙවත් " විදේශික භීතිකාත්මක කෘෂිකාර්මික සමාජයක්" ලෙස වත්මනෙහි හැඳින්වෙන කම්පූචියානු ආර්ථික ක්‍රමය තුළ තමා වෙනුවෙන් එක් ගසක් හෝ සිටුවීම තහනම් විය. සියලුම ආදායම් රජයට බැර වූ අතර කුසගින්නෙන් මියැදෙන රට වැසියන් සිටියදී ඔවුන් චීනයට සහල් අපනයනය කර අවි ආයුධ පමණක් ආනයනය කළහ. මේ සියලු දේ අතරතුර නොනවත්වා සිදු වූ එක් දෙයක් විය. ඒ සංහාරය යි. වියපත් මිනිසුන් , රෝගීන් වැන්නන් වෙඩි තබා මරා දැමුණු අතර තමාට අනාගත තර්ජනයක් වේයැයි සිතෙන ඕනෑම කෙනෙක් මරන්නට වරෙන්තු අවශ්‍ය නොවීය. විදේශ භාෂා කතා කිරීම , විදේශ රටවල් සමග වෙළඳ ගනුදෙනු කර තිබීම , රජයේ රැකියාවල යෙදී තිබීම , ව්‍යාපාර හිමිව තිබීම , මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කර තිබීම ද මරා දැමීමට හේතු විය. බොහෝ දෙනෙක් තමන්ගේ ඉතිහාසය වසං කළ අතර එය හෙළි වූ විට ලැබෙන මරණ දඬුවම වඩාත් අමිහිරි විය. එපමණක් ද නොව කම්පූචියාව තුළ මළගිය ඥාතීන් සිහිපත් කිරීම , අහාර ගබඩා කරගැනීම , අතීතය පිළිබඳ සිහිපත් කිරීම ද මරණය කැඳවූයේය. උපැස් යුවල හෝ අව් කණ්ණාඩි පැළඳීමද තහනම් කෙරුණේ ඒවා බටහිරෙන් එන සිරිත් ලෙස සැලකුණු හෙයිනි.
පිටුවහල | දණ්ඩනය | සංහාරය - කම්පූචියානු ඉරණම |
පොල්පොට් ගේ පාලන කාලය තුළ ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව මිලියන තුනකට නොඅඩු යැයි පැවසේ. මානව හිමිකම් සංවිධාන සහ විදෙස් බලවතුන් දෑස් පියාගෙන සිටියදී කම්පූචියාව සොහොන් බිමක් විය. මේ සියල්ලටම නැවතීමේ තිත තැබෙන්නේ 1979 ජනවාරි 08 වැනිදා වියට්නාම හමුදාව විසින් කම්පූචියාව ආක්‍රමණය කිරීමත් සමගය. කෙමරූජ් හමුදාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාරයක් ලෙස දියත් වූ මේ වියට්නාම මෙහෙයුම හමුවේ පසුබසිනු විනා වෙනත් විකල්පයක් පොල්පොට් ට නොවීය. පොල්පොට් ප්‍රමුඛ කෙමරූජ් නායකයින් බලය අතහැර පලාගිය අතර 1979 - 1992 කාලවකවානුව තුළ පාලකයින් දෙදෙනෙක් විසින් කම්පූචියානුව මෙහෙයවනු ලැබීය. ඒ පාලනය ගෙනගියේ මිත්‍රපාක්ෂික රටවල හමුදාවන්ගේ සහාය ද ඇතිවය. 1993 වසරේදී නරදොම් සිහනුක් රජු හට යළිත් පාලනය හිමි වී රාජවංශය ප්‍රතිස්ථාපනය වේ. ඒ සමගම කෙමරූජ් ගරිල්ලා බලය ක්‍රමක්‍රමයෙන් බිඳ වැටෙද්දී දෙවන වතාවටත් විවාහ වී සිටි පොල්පොට් කෙමරූජ් හමුදාවේම නිවාස අඩස්සියට පත් වේ. ඒ 1997 වසරේ දී ය.
1998 අප්‍රේල් 15 තම ගරිල්ලා හමුදාව යටතේම නිවාස අඩස්සියේ සිටි පොල්පොට් ඔහුගේ ප්‍රියතම Voice of America ගුවන්විදිලියට සවන් දේ. පොල්පොට් ගේ බිරීඳ පසුව හෙළි කළ අන්දමට එහි විකාශය වී ඇත්තේ පොල්පොට් ව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට කෙමරූජ් හමුදාව එකඟ වූ බව පැවසෙන පුවතයි. එදින රාත්‍රියේ මේ සිත් පිත් නැති සැහැසි සමූල ඝාතකයා හෘදයාබාධයකින් මිය යන්නේ තමන් කළ අනේක මිනිස් සංහාරයන්ට දඬුවමක් ද මෘත ශරීරයට කිසිදු ගෞරවයක් ද නොලබමිනි.
ඝාතකයාගේ අවසානය - ගෞරවයකින් තොරව |
පොල්පොට් මිය ගිය පමණින් කම්පූචියාවට සෞභාග්‍ය උදා නොවීය. අදටත් තත්ත්වය එසේමය. මිලියන තුනකට අධික ජන සංහාරයක් හේතුවෙන් ජන ඝනත්වයේ සමතුලිතතාවය බිඳී ඇත. අදටත් වරින් වර පිපිරෙන , ගම්වැසියන්ගේ පාද අහිමි කරවන බිම්බෝම්බ ය. කෙමරූජ් ගරිල්ලා හමුදාව රට පුරා වැළලූ මේ බිම්බෝම්බ වලින් මිදෙන දිනයක් හෝ ආර්ථික අවපාතයෙන් මිදෙන දිනයක් කම්පූචියාවට සිහිනයක් ම පමණකි. නුමුදු සියල්ලටම වග කිවයුතු පුද්ගලයා දඬුවම් නොලබාම මෙලොවින් සමුගත්තේ ය.
වැඩි දුර කියවන්න - කෙමරූජ් භීෂණය : රුවන් එම්. ජයතුංග | සරසවි ප්‍රකාශන | 2013
මේගැන කතා රැසක් ද ලියවී ඇත... ලොව විසූතවත්කෘර පාලකයෙක්...
ReplyDeleteසටහනඅපූරුය...
සමහර විට අපි දකින සම්මත දඬුවම් ලැබුනේ නැති වුනත් පොල්පොට්ගේ හෘද සාක්ෂිය හෝ ඔහුට වද දුන්නා නම් ඒකත් ලොකු දෙයක්!!
ReplyDelete