ගිනි


එමර්ජන්සි එලාර්ම් එක වැදුණ නිසා කතාව නැවතුණා. අද මොකක්ද පෙරහුරුවක් තියන බව කලින් දැනුම් දීලයි තිබුණේ. මේ විකාර නිසා ඇත්තටම ගින්නක් ආවත් කවුරුත් ගණන් ගන්න එකක් නෑ. දැන් ඉතිං පඩිපෙළ දිගේ දුවපංකො තට්ටු දොළහක් පහළට. මනාස් ඔෆිස් එකේ කෙනෙක් නොවන නිසා එයා නම් ලොබියේ වාඩි වුණා. "අප්සරා... ඉක්මණට පහළට යන්න. එච්. ආර් එකෙන් ටයිම් මොනිටර් කරනවා" සුධාරක මොකක්ද කබායක් පටලවගෙන දොර ළඟ ඉඳන් කෑගහනවා. එහෙම එක සැරේ යන්න පුළුවන්ද ? යනකම් ඉඳලා ඔය සුධාරකම මගේ ඊ මේල් ටික බලන්නත් බැරි නෑ. මම ඉක්මණට කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක ලොක් කරලා ලේන්සුවයි පර්ස් එකයි අතට ගත්තා. මේ වෙනකොටත් නිවන්ති පහළට ගිහිං කට ඇදකරං ගත්ත ෆොටෝස් ෆේස්බුක් දාලත් ඇති. එච්.ආර්. එක ඒවට ඇක්ෂන් ගන්නේ නැතිව ඔෆිස් එක ගිනි ගන්නකං බලන් ඉන්නවා.
මනාස් ඇහුවේ ෂිවෝනා ගැන. මීට කලින් කී වතාවක්ද මන්දා එයා ගැන කතා වුණා. මෙහෙන් ගිය අලුතම ශ්‍යාමලීට ඔඩෙල් එකේදී මුණ ගැහුණා කියලා කියනකොට ෂිවෝනාගේ හැමෝටම ඕනේ වුණේ ෂිවෝනාගේ අලුත් ජොබ් එක ගැන දැනගන්න. ඉස්සර රොමාෆෝර් වත් යන්න බැරිව හිටිය ගෑණි දැන් ඔඩෙල් යන බව ඇහුවම මගේ උගුර හිරවෙනවා වගේ දැනුණා. "ඇයි තාමත් රට ගිහිං නැද්ද ?" කියලා සුධාරක සමච්චලේට හිනා වුණා. ඒ යකාට ශ්‍යාමලීවයි නිවන්තිවයි හිනස්සන්න තියෙනවා නම් රිලා නැටුම් වුණත් නටයි. "අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව නින්ද යන්නේ නෑ නේද?" මම සුනීතා විමලවීර බලනවා වගේ සුධාරක දිහා ඔරවලා බැලුවා. එයා මට වඩා ජූනියර්. ඒ නිසා ඕවට උත්තර දෙන්න එන්නේ නැහැ. ඒ නැතත් ඔය අනිත් ලේඩීස්ලා එක්ක නටන නැටුම් මා එක්ක නටන්න බැහැ කියලා අපේ ඔෆිස් එකම දන්නවා.

"යකෝ .. ඒකිගේ ඇක්සන්ට් එක !!! බස බස ගාල කඩ්ඩ විදිනවා " අපේ සෙක්ෂන් එකට අලුතෙන් ආපු සඳුන් තමයි දෙවැනි පාර ෂිවෝනා ගැන කියාගෙන ආවේ. ගලදාරි එකේ කොන්ෆරන්ස් එකකට ගිහිං ඇවිත් සති ගාණක් තිස්සේ කියවනවා. අපි වගේ බැංකොක් එහෙම ගියා නම් මෙතන මාස හයක්ම කියවයි." මාර ගතියට ඩ්‍රෙස් කරලා හිටියා බං. හැම එකාම ඒකිගේ පස්සේ " ඔෆීෂල් වැඩ වලට සෙවලයෝ යැව්වාම ඕඅවා තමයි බලං ඉන්නේ. ෂිවෝනා මෙහේ ඉන්න කාලේ මගේ ඇසිස්ටන්ට් විදියට හිටියේ කියලා වයෝමා කිව්වා. මට වතුර තිබහක් වගේ දැණුනා. එයාලා කියන විදියට අලුත් තැනින් වෙනම වාහනයකුත් දීලාලු.ඇත්තද දන්නේ නැහැ. ඊට පස්සේ දවසක සඳුන් ආයෙමත් මා එක්ක ෂිවෝනා ගැන කතා කළා." ඔය ඔෆර් එක මුලින්ම ආවේ මට " මම තරමක් අමාරුවෙන් වචන ටික නිදහස් කළා. "ඔයා දන්නවනේ සඳුන්.. ඒ වගේ තැනකට යන්න නම් අවුරුදු දහඅටක්ම මෙහේ ඉන්න ඕනේ නෑනේ. මමයි ෂිවෝනාව රෙක්මන්ඩ් කළේ " සිරසේ රන් දෙපැය බලන ගෑණියෙක් වගේ සඳුන් කට ඇරං බලාගෙන හිටියා. " ඒ ළමය හරිම මහන්සියෙන් ඔය තැනට ආවේ. තාත්තා සෙකියුරිටි කෙනෙක්. අම්මා ස්වීප් වික්කා. බලන්න... පේළිගේක ඉඳලත් ෂිවෝනා ඉංග්ලිෂ් කතාකරන ලස්සන ? " මම සඳුන් දිහා යශෝධා විමල්ධර්ම බලනවා වගේ බැලුවා. මම කතාකරන විදියට මට හිතුණේම මම තටු සලන සුරදූතිකාවක් කියලා. "ඒකයි සඳුන් මම හැම තිස්සේම ඔයාලට කියන්නේ.. වරද්ද වරද්ද හරි ඉංග්‍රීසියෙන්ම කතා කරන්න ළමයෝ " මම සුරලෝකේ ඉඳන්ම විලවුන් තවරපු රෝස පෙති ස්වල්ප වශයෙන් ඉහින්න ගත්තා.

මනාස් අද කිව්වේ ෂිවෝනා කාර් සේල් කාරයෙක්ව බැඳලා ඇමරිකාවේ පදිංචියට ගිය කතාවක්. යන්න කලින් මනාස්ලගේ ඒජන්සි එකටම පාටියකුත් දුන්නලු. එයා එහෙම තමයි. කට්ටිය අල්ලගන්න හරිම දක්ෂයි. මෙහේ ඇවිල්ලා මාසයක් යද්දි මුළු ඔෆිස් එකම ෆේස්බුක් එකේ. මම නම් පවුලේ අයයි ළඟම යාළුවොයි ඇරෙන්න ඔෆිස් එකේ අය වුණත් ඇඩ් කරගන්නේ නැහැ. ඒත් ෂිවෝනා ඒ කතා ඇහුවේ නැහැ. ක්‍රේල් කොණ්ඩේ එක්ක කිරිගරුඬ පාට මූණේ අමුතු ලස්සනක් තිබ්බට එයා වල් ගෑණු වගේ තොල් ලොකුවට පේන්න ලිප් ලයින් එක අඳිනවා. ෂිවෝනා කොට සායක් ඇඳලා නෙළුම්කොළ ගොඩේ කොරවක්කෙක් ඇවිදිනවා වගේ ලන්ච් රූම් එකේ ඇවිදින හැටි මතක් වුණා. දවල්ට කොස් කාපු නිසා වෙන්න ඇති මට නිකං බඩ පුරෝදාලා වගේ දැනුණා. ඒ වගේ කෙල්ලෙක් සෙට් වුණා නම් මම හෙටම බඳිනවා කියලා මනාස් විකාර දොඩවන්න ගත්තා. මේ තම්බියටත් පිස්සු. බැඳලා නැත්නම් අපි වගේ වැදගත් විදියට ඉන්න ඕනේ."හැබැයි ඉතින් ෂිවෝනා වගේ පොෂ් කෑල්ලකට අපි හරි යන්නේ නැහැ අප්සරා" මනාස් එහෙම කියනකොට මට පන්චර් එකෙන් ඔළුවට ගහන්න හිතුණා. ඔය ඉතින් මා ළඟ වැඩ කරන කාලේ වෙඩින් වලට ජෝජට් සාරි ඇඳපු ගෑණිනේ.

"අපොයි ඔව්.ඒ වගේ කෙනෙක් නම් ඔයාට නඩත්තු කරන්න බෑ මනාස්" මම ඉතින් වෙනදා වගේම නිවී සැනසිල්ලේ කතා කළා. ෂිවෝනා ඇමරිකාවේ ගියා නම් බය වෙන්න ඕනෙත් නෑනේ. මනාස් ප්‍රශ්න අහනකොට මම අයිරාංගනී සේරසිංහ වගේ උපේක්ෂාවෙන් බැලුවා."ෂිවෝනා ගැන දන්න අය දන්නවා මනාස්" කියලා කියනකොට ගලිවර්ගෙන් සිතියම තියෙන තැන අහගත්තු කැප්ටන් ලීච් වගේ මනාස් නොසන්සුන් වුණා. මම මොනිටර් එක දිහා බලාගෙන කතා කරන්න ගත්තා."මේක ඔයාට නිසා කියන්නේ. ෂිවෝනා මම මැරි කරන්න හිටිය බෝයි එක්කත් යාළු වුණා.. ඒ එෆෙයාර් එක කැඩුණු නිසයි මම අදටත් අන්මැරීඩ්" මනාස්ගේ මකර කට වැහුණා. ටික වෙලාවකින් මගේ බඩ පුරෝලා දාපු ගතිය මග හැරුණා. ඒත් මම වොෂ් රූම් යන්න නැගිට්ටා
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: