ඔහු , ඇය සහ අනෙකා : සිනමාකරුවන් තිදෙනෙකු සමග


ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ වරුන් තිදෙනෙක් වන අශෝක හඳගම , ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර එක්ව චිත්‍රපට ත්‍රිත්වයක් ඇතුළත් සංගෘහිත චිත්‍රපටයක් නිර්මාණය කර තිබේ. " තුන්දෙනෙක්" යනුවෙන් නම් කර ඇති මේ සිනමා නිර්මාණය ඉංග්‍රීසි බසින් නම් කර ඇත්තේ her.him.the other ( ඔහු.ඇය.අනෙකා ) ලෙසිනි. ප්‍රසන්න විතානගේ විසින් her ද විමුක්ති ජයසුන්දර විසින් him ද අශෝක හඳගම විසින් the other ද අධ්‍යක්ෂණය කරනු ලැබ ඇති අතර Anthology Film සහ Omnibus Cinema ලෙස ලෝක සිනමාවේ දී හඳුන්වනු ලබන මෙවැනි සිනමා නිර්මාණයක් ලාංකීය සිනමාවට නැවුම් අත්දැකීමක් වනු ඇත. මෙවර ලක්බිම මංජුසාව වෙන්වන්නේ ඒ පිළිබඳ ඔවුන්ගේ අදහස් බෙදා හදා ගැනීමටය.   

1. යුද්ධය නිමා වෙලා වසර ගණනකට පස්සෙත් සිනමාකරුවන් තුන්දෙනෙක් එකතු වෙලා පශ්චාත් යුධ සමය ගැන නිර්මාණයක් කරනවා. ඒ ඇයි ? 

# අශෝක හඳගම
යුද්ධයේ බලපෑම් සහ යුද්ධය හරහා පැන නැගුණු ප්‍රශ්න ගැන දකුණේ සිනමාකරුවන් විදියට අපිට කියන්න දේවල් තිබුණා. ඒවා අපේ නිර්මාණ හරහා අපි සාකච්ඡා කළා. යුද්ධය ඉවර වෙලා දසකයක් ගත වුණු බව ඇත්ත. යුද්ධයට තුඩු දුන්න හේතු සහ මානුෂික බැල්මක් හෙළන්නත් ඒ හරහා පැණ නැගුණු ගැටළු සීලාචාර විදියට විසඳන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. හැත්තෑ එකේ තරුණ පිබිදීම මර්දනය වුණාට පස්සේ ඒ ප්‍රශනය එතනින් ඉවරයි කියලා හිතුවට එහෙම වුණේ නෑනේ. අසූ අට - අසූ නමයෙදි මහා ව්‍යසනයක් විදියට ඒ ප්‍රශ්නය ආයෙත් වතාවක් මතු වුණා. 

# ප්‍රසන්න විතානගේ
අපි යුද්ධ කාලයේ දි යුද්ධය ගැන සිනමා නිර්මාණ කළා. ඒ වගේම යුද්ධය ජන ජීවිතයට බලපාන ආකාරය සහ බලපාලා තියෙන ආකාරය ගැනත් කතා කරනවා. යුද්ධය ඉවර වුණාට හැමදේම ඉවර වෙලා නැහැ. යුද්ධයෙන් පස්සෙත් තවත් චරිත , සිදුවීම් ගණනාවක්ම පවතිනවා. මේ දේවල් උතුරෙත් තියනවා. දකුණෙත් තියෙනවා.   

# විමුක්ති ජයසුන්දර
අවුරුදු තිහක් යුද්ධයක් තිබුණු රටක ඒ යුද්ධය ගැන බිහි වුණු කලා ප්‍රකාශනයන් තියෙන්නේ ඉතා ස්වල්පයක් විතරයි. කලා ප්‍රකාශන කියලා අදහස් කළේ සිනමාව විතරක් නෙමෙයි. පොත්පත් , නාට්‍ය , චිත්‍ර වගේ දේවල් එකතු වෙන්න ඕන. මේ ප්‍රකාශන තමයි පස්සේ දවසක කාතරි පරිශීලනය කරන්න තියෙන්නේ. අපි ඉන්නේ බරපතල විදියට ඉතිහාසය අමතක වීමක් පවතින යුගයක. යුද්ධයක් වගේ දෙයක් නැවත වෙන එක වළක්වන්න නම් ඒ කාලේ වුණු දේවල් ඉතිහාසයට එකතු වෙන එක සිදු විය යුතුයි.  යුද්ධය තියෙන කාලයේ ඒ ගැන නිර්මාණ කරපු සිනමාකරුවෝ තුන්දෙනෙක් නිසා පශ්චාත් යුධ වාතාවරණය ගැනත් නිර්මාණයක් කරන එක වැදගත් කියලා මම හිතනවා. 


2. මේ චිත්‍රපටයේ එක් එක් මාලාවන්ට අදාල නළු නිළියන් කවුද ? 

# අශෝක හඳගම
(the other - අනෙකා )  : රජේශ්වරී , පර්ලිජා , රොෂාන් සහ මොහොමඩ් අතීෂ්  

# ප්‍රසන්න විතානගේ(her - ඇය )  : අශෝක හඳගම  , කේසවරාජන් නවරත්නම් , නිපුණි ශාරදා , යාපනය සහ අනුරාධපුර වැඩමුළුවේ සාමාජිකයින් 

# විමුක්ති ජයසුන්දර( him - ඔහු)  : ප්‍රදීප් රාමවික්‍රම , ජූලියන් කෞශල්‍යා මෙන්ඩිස් , මොහොමඩ් සෆීර් , දර්ශනවිද්‍යා අරවින්ද


3. මේ නළු නිළි වරණය තරමක් වෙනස්. ඇයි ඔබ ප්‍රවීණ නළු නිළියන් සම්බන්ධ කර නොගත්තේ ? 

# අශෝක හඳගම
මට මගේ නිර්මාණයේ තරු ගුණයට වඩා උවමනා වුණේ කතාවේ පණිවුඩය හරියාකාරව අර්ථකථනය කිරීම. ඒ නිසා මම මේ අයව ඒකට තෝරාගත්තා. රාජේෂ්වරී මගේ " මේ පාරෙන් එන්න " චිත්‍රපටයේ රඟපෑ නිළියක්. පර්ලිජා දමිළ සිනමාවේ රඟ පාලා තිබුණට දකුණේ සිනමාවට පිවිසෙන්නේ මේ හරහා. නළුවෝ දෙන්නම නවකයො.

# ප්‍රසන්න විතානගේ
මගේ නිර්මාණය සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය වුණේ. ඒ නිසා ඒ ඇත්ත චරිත දෙකම , ඒ කිව්වේ හඳගම සහ කේසවරාජන්ම යොදා ගත්තා. අනිත් කාරණේ මම මගේ නිර්මාණ වල දි චරිතයට සුදුසු නම් නවකයෙක්ව වුණත් ගන්න පැකිලෙන්නේ නැහැ. මේ චිත්‍රපටයේ සිංහල චරිත වලට දෙමළ නළුවෝවත් දෙමළ චරිත වලට සිංහල නළුවෝ වත් යොදා ගත්තේ නැහැ. අඩුම ගාණේ යාපනයේ දෙමළ චරිතයකට කොළඹ දෙමළ නළුවෙක්ව වත් යොදා ගත්තේ නැහැ.  ලාංකීය සිනමාව කියන්නේ සිංහල සිනමාවම විය යුතු නැහැ.

# විමුක්ති ජයසුන්දර
 අපි සිනමාවේදී උත්සාහ ගන්නේ සත්‍යවාදී ප්‍රකාශනයකට. සත්‍යයම බැරි නම් ඒ ආසන්නයට හරි ළං වෙන්න. එතකොට මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඇයි අපි ඒ වගේ අරමුණකදි දන්න අඳුනන මූණුම භාවිතා කරන්නේ කියලා. නොදන්නා මූණක් ගත්තාම අදහස අන්නිවේදනය කරන්න ලේසියි. අබ්බාස් කියරොස්තාමි වගේ නිර්මාණකරුවෙක් වුණත් නිතරම ප්‍රසිද්ධ නළු නිළියන්ගෙන් වැළෙකෙනවා. අපි යම් චරිතයකින් මවන ජීවිත අත්දැකීම් වඩාත් සාර්ථකව ඉදිරිපත් කරන්න නොදන්න ශිල්පියෙක් ට පහසුයි. දන්න කෙනෙක්ව දැක්කාම හිතෙනවා මේක ප්‍රබන්ධයක් විතරයි කියලා. 


4. හඳගම , ප්‍රසන්න සහ විමුක්ති කියන්නේ සිනමාත්මකව ඇගයීමට ලක් වෙනවාට අමතරව බරපතල ලෙස විවේචනයට ලක් වෙන නිර්මාණකරුවන් තිදෙනෙක්. එහෙම වෙන්නේ ඇයි ?  

# අශෝක හඳගම
ප්‍රශ්න කිරීමක් කරනකොට තමයි විරෝධයක් හරි විවේචනයක් හරි පැණ නගින්නේ. අපේ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාරය තමයි ඔය විදියට එළියට එන්නේ. නමුත් කම්පනය කියන දේ කෘතියක් හරහා පැණ නැගීම වළක්වන්න බැහැ

# ප්‍රසන්න විතානගේ
විවේචනයට ලක් වෙනවා කියන්නෙම කලාකාරයෙක්ගේ හොඳ ලක්ෂණයක් කියලයි මම දකින්නේ. පවතින සමාජයේ මතවාදයනේ හැම වෙලාවෙම සිස්ටම් එක වෙලා තියෙන්නේ.  පවතින තත්ත්වය එක්ක කලාව එකඟ නම් අලුත් නිර්මාණ බිහිවෙන්නේ නැහැ. ඒ සිස්ටම් එකට අනුගත නොවෙන එකම තමයි මේ ඝට්ටනයට හේතුව. 

# විමුක්ති ජයසුන්දර
සිනමාව , කලාව වගේ වචන ටික එක්ක පොදුවේ බලාපොරොත්තු වෙන දේවල් තමයි සතුට , විනෝදය. නමුත් ඒ එක්කම තියෙන ප්‍රඥා පාර්ශවය අප අමතක කළ යුතු නැහැ. බැහැර කළ නොහැකි සීරියස් දේවල් තියෙනවා. ඒ සීරියස් දේවල් සිහිපත් කරන එක සහ සීරියස් වීමම එක්තරා විදියක අභියෝගයකට සහ විවේචනයට ලක් වීමක්. 


5. එතකොට මේ ඔබ සිනමාව හරහා කෙරෙන ප්‍රශ්න නැගීම අව්‍යාජ ද ? නැත්නම් එක්තරා විදියක නූල් සූත්තරයක් ද ?

# අශෝක හඳගම
ඕනෑම වාතාවරණයක , ඕනෑම සමාජයක ප්‍රශ්න කිරීමක් සිදු විය යුතුයි. ප්‍රශ්න කිරීමක් සිදු කිරීම හරහාම පෙනී යනවා එතන ප්‍රශ්නයක් තියෙන බව. අපි ඒ දේ දිගටම කළා. මේ මොහොතේ දී පවා කරගෙන යනවා. 

# ප්‍රසන්න විතානගේ
ඒක කාලය විසින් තීරණය කරයි. මනුෂ්‍යයෙක් විදියට ජීවත් වෙනකොට එළැඹ සිහියෙන් ජීවත් වෙන්න ඕනේ. මගේ අභ්‍යන්තරය සහ සමාජය යා කරන පාලම තමයි සිනමාව. මම සිනමාවේ යෙදෙන්නේ මගේ හ්ර්‍ද සාක්ෂිය සඳහා 

# විමුක්ති ජයසුන්දර
ලෝකයම විහිළුවක් , කොමඩියක් සහ ආතල් දෙයක් කියලා හිතන තුරුම මේ වගේ ප්‍රශ්න කිරීම් වල අව්‍යාජත්වය ගැන සැකයක් පැණ නගින එක සාධාරණයි. තමන්ගේ ජීවිතේ දිහා ගැඹුරින් බලන කෙනෙක්ට අනෙක් කෙනාගේ ජීවිතයත් ගැඹුරින් පෙනෙනවා. ඒ දැකලා නිහඬව ඉන්නේ නැතිව ප්‍රශ්න කරනකොට , අර විනෝදයට බාධා කරනකොට අපි ගැන සැකයක් ඇති වෙනවා. 

6. අනන්‍යතාවක් තියෙන නිර්මාණකරුවෝ තුන්දෙනෙක් එකතු වෙලා එක චිත්‍රපටයක් හදන එක අන්‍යොන්‍ය වශයෙන් මුක්කුවක් ගැසීමක් නෙමෙයි ද ? 

# අශෝක හඳගම
මේක එක්තරා සිනමා ෂානරයක් මිසක් මුක්කුවක් නෙමෙයි. අපි තුන්දෙනාම තම තමන්ගේ අනන්‍යතාව තියාගෙන එකම චිත්‍රපටයක් ඇතුළේ චිත්‍රපට තුනක් කරනවා. ඒක ඇතුළේ තියෙන්නේ ප්‍රකාශන තුනක්. කැමති කෙනෙක්ට මේක එක නිර්මාණයක් විදියට ගන්න පුළුවන්. නැත්නම් නිර්මාණ වෙන් වෙන්ව ගන්නත් පුළුවන්.  

# ප්‍රසන්න විතානගේ
ලංකාවේ එකම ක්ෂේත්‍රයක කලාකරුවන් තුන්දෙනෙක් එකට එකතු වෙලා නිර්මාණයක් කළා කියන එකම මදි ද ? මම හිතන්නේ මෙක මුක්කුවක් නෙමෙයි. ලිග්ගල් තුනක්. අනික් එක මේවා ලංකාවට අලුත් දේවල් නෙමෙයි කියලා අමතක කරන්න හොඳත් නෑ. තොටවත්ත මහත්තයා හැත්තෑව දසකයේ තම්යි "තෙවත" හැදුවේ. අහළ පහළ , ගිලිහිණු මල් සහ පිච්චර් පිස්සා කියන කෙටි චිත්‍රපට තුනක් ඒකේ තිබුණා. 

# විමුක්ති ජයසුන්දර
පවතින මුක්කු වලට වඩා මේ මුක්කුව හොඳයි එහෙම බලනකොට. ලංකාවේ කලා තුළ කල්ලි කණ්ඩායම් මිසක් නිර්මාණ පෞරුෂයන් අතර සබඳතාවන් හරිම අඩුයි. ඒ වගේ පසුබිමක ඔබ කියනවා වගේ තමන්ගේ අනන්‍යතාවක් තියෙන සිනමාකරුවන් තුන්දෙනෙක් එකිනෙකාට හේත්තු නොවී නමුත් සහයෝගයෙන් නිර්මාණයක් කරන එකම හොඳ ලක්ෂණයක්. ආධුනික නිර්මාණකරුවෝ ඇරෙන්න එකතු වෙලා එක නිර්මාණයක් කරන්න තරම් නම්‍යශීලී නිර්මාණකරුවෝ දැන් හොයාගන්න අමාරුයි.


7. අශෝක හඳගම : "මේ මගේ සඳයි" චිත්‍රපටය සඳහා 2005 වසරේ දී ලැබුණු ජනාධිපති සම්මානයට අදාල ලක්ෂ එක හමාරක තෑගි මුදල ප්‍රතික්ෂේප කරන ඔබ එය යාපනය පුස්තකාලයට පරිත්‍යාග කරන්නැයි ඉල්ලා සිටියා. කළු ජූලියේ 22 වැනි සංවත්සරය දවසේ පැවති සම්මාන උළෙලේ දී ඔබ ඒ ගත්ත තීරණය සමග දැන් යාපනය පුස්තකාලය තිබෙන තත්ත්වය ගැන දැනුවත් ද ? 

# අශෝක හඳගම
ඇත්තටම ලක්ෂ එකහමාරකින් පුස්තකාලයක් හදන්න බෑනේ. මම කළේ සංකේතීය විරෝධයක් හරහා පණිවුඩයක් දෙන එක. එවකට හිටපු ජනපතිතුමිය මගේ පණිවුඩයට සංවේදී වුණු නිසා සම්මාන උළෙල වෙලාවේ මගේ පණිවුඩය කියවන්න අවස්ථාව දුන්නා. අපි ඒ සල්ලි වල පොත් අරගෙන යාපනය පුස්තකාලයට පොත් දුන්න වෙලාවේ සමහර යාපනය වැසියන්ගේ ඇස් වල කඳුළු පවා දැක්කා. ගිනි තියන කාලයේ රටකට පුස්තකාලයක තිබ්බ උපයෝගීතාවය සහ අද කාලේ වෙනකොට තියෙන උපයෝගීතාවය අතර වෙනසක් තියෙන බව අපි අවබෝධ කරගන්නත් ඕනේ. එදා ඒ ප්‍රතික්ෂේප කිරීමේ පණිවුඩය එක්ක ගොඩනගන්න ඕනේ කළේ යාපනය පුස්තකාලය විතරක්ම නෙමෙයි. 


9. ප්‍රසන්න විතානගේ : "පුරහඳ කළුවර" චිත්‍රපටය කියන්නේ ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වෙන අතරතුර ලංකා සිනමා ඉතිහාසයේ දරුණුතම හැලහැප්පීම් වලට ලක් වුණු චිත්‍රපටයක්. එහෙම පසුබිමක ඔබ තවමත් ඒ ප්‍රශ්න කිරීම අත නොහැර ඔබගේ සිනමාකරණයේ යෙදෙනවා. ඒ ඇයි ? 

# ප්‍රසන්න විතානගේ
මේ රටේ තවමත් ප්‍රධාන ප්‍රශ්නය ජාතික ප්‍රශ්නය. ඒකෙන් හැංගෙන්න අපි කාටවත් බෑ. ඒ නිසා මේ මොහොතේ කලාකාරයෝ හැටියට අපි ඒකට මැදිහත් විය යුතුයි. ඕනාම යුද්ධයක් ප්‍රචණ්ඩයි. අමානුෂිකයි.සාමාන්‍ය ජීවිතයේ දී ඝාතනය කියන්නේ අනුමත කළ නොහැකි වරදක් වුණාට යුද්ධයකදී මනුෂ්‍ය ඝාතනය සාධාරණීකරණය කෙරෙනවා. එතකොට අපිට ඒ මානසිකත්වයෙන්ම ඉදිරි ගමනක් යන්න අමාරුයි.කතාවට කියනවා "ඉස්සරහට යන්න නම් පස්ස බලන්නේ නැතිව බැහැ' කියලා.


10. විමුක්ති ජයසුන්දර : කාන්ස් සිනමා උළෙලේ හොඳම කුළුඳුල් අධ්‍යක්ෂණ ලෙස සම්මානයට පාත්‍ර වූ " සුළඟ එනු පිණිස" ලංකාවේ තිරගත වීම අතරමගකදී නවත්වා දමන්නට ඔබට සිදු වුණා. ඒ වගේ පසුබිමක නැවත වරක් ඔබ යුද්ධය සම්බන්ධ නිර්මාණයකම යෙදෙන්නට තීරණය කළේ ඇයි ? 

# විමුක්ති ජයසුන්දර
අද කාලේ නම් චිත්‍රපටයක් හදලා එක පෙන්නගන්න බැරි වෙන්නේ එක්කෝ ආර්ථික ගැටළු නිසා. නැත්නම් ප්‍රදර්ශන යාන්ත්‍රණයේ තියෙන දුර්වලතා නිසා. ඒත් " සුළඟ එනු පිණිස" ට වුණේ එහෙම දෙයක් නෙමෙයි. යුද්ධය පවතින කාලයක යුද්ධය තේමා කරගෙන චිත්‍රපටයක් හැදුව එක මාරාන්තික දෙයක් වුණා. නිල වාරණයක් ආවේ නැති වුණාට චිත්‍රපටය ශාලාවලින් ගලවගන්න කියලා බලපෑම් කෙරුණා. එදා ගැලෙව්වේ චිත්‍රපටය විතරයි. යුද්ධය කියන්නේ හොඳ දෙයක්වත් , දිනුමක් ලබන දෙයක්වත් නෙමෙයි කියලා මම විශ්වාස කරන සහ මට පේන දේ මම ගැලෙව්වෙව් නැහැ. ඒ නිසා මම ඒ දේ වෙනුවෙන් නැවත වතාවක් නිර්මාණයක් කරන්න පැකිලෙන්නේ නැහැ. 



සංවාදය : සහන් කසීර වික්‍රමසිංහ | ලක්බිම | මංජුසාව |  2017 නොවැම්බර් 26

http://epaper.lakbima.lk/oldpapers/daliylakbima/2017/November/last_26_11_17/index.htm



Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. අනිත් දෙන්නා නං හාකෝ , විමුක්ති අනේ මන්දාා

    ReplyDelete