නොවැම්බර් 19 : Milli Vanilli සංගීත කණ්ඩායමට පිරි නැමූ ග්‍රැමි සම්මානය අහිමි කෙරේ




1990 වසරේ අද වැනි දවසක " ගී නොගයා තොල් සොල්වමින්" ලොවම රැවටූ "මිලි වැනිලි" ( Milli Vanilli) සංගීත කණ්ඩායමට පිරිනමා තිබූ ග්‍රැමි සම්මානය අහිමි කරන ලදි. මෑතකාලීන සංගීත ඉතිහාසයේ වාර්තා වූ නින්දාසහගතම සිදුවීමේ වග උත්තරකරුවන් වූ "මිලි වැනිලි" ගායකයින් දෙදෙනාට සහ ඔවුන්ගේ කළමණාකරුවාට තම වංචාකාරී ක්‍රියාව ලොව ඉදිරියේ පාපොච්ඡාරණය කරන්නට සිදුවිය.

'Girl You Know It's True' යන ගීත ඇල්බමය වෙනුවෙන් 1990 ග්‍රැමි සම්මාන උළෙලේ හොඳම නවක ගායනයට හිමි සම්මානය Milli Vanilli වෙත පිරි නැමේ. ෆැබ් මෝවන් සහ රොබ් පිලාටූස් නම් වූ ජර්මානු ජාතික ගායකයින් දෙදෙනා ලෝක පූජිතවන්නේ එක රැයකිනි. 1990 මාර්තු මාසයේ Time සඟරාව වෙත අදහස් දක්වන මිලි වැනිලි ගායක රොබ් පිලාටූස් පවසා තිබුණේ " අලුත් එල්විස් ප්‍රේස්ලි" තමන් බවයි. නමුත් පසුකලෙක MTV ආයතන නිළධාරියෙකු පවසා සිටියේ Milli Vanilli මුල්වරට තම චැනලය සමග සාකච්ඡාවට පැමිණි විට ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා උච්ඡාරණයේ දුර්වල බව දැක පටිගත කිරීම් වල ඇත්තේ ඔවුන් දෙදෙනාගේම හඬ දැයි සැක සිතුණු බවයි. ඒ වනවිටත් 1989 වසරේදී ඇමරිකාවේ Lake Compounce Theme Park හි දී පැවති MTV සංගීත උළෙලක දී මිලි වැනිලි ගේ ප්‍රෝඩාව පිළිබඳ පළමු සැකසහගත සිදුවීම වාර්තා වී තිබිණි. පටිගත තැටියේ දෝෂයක් නිසා "Girl You Know It's True....." යන වදන් පෙළ නැවත නැවතත් විකාශය විය. ෆැබ් සහ රොබ් නොනවත්වා නර්තනයේ යෙදෙමින් කිසිත් සිදු නොවූ ලෙස හැසිරුණද අවසානයේදී ඔවුන් දෙදෙනා වේදිකාව තුළට දිව ගියහ. "මම Girl You Know It's True ... කියලා තුන් පාරක් කිව්වා... අසූ දාහක් සෙනඟත් අපිත් එක්කම ඒක කිව්වා. ඒත් එකම දේ පහලොස් පාරක් කියන්නද ? " පසු කලෙක ෆැබ් මෝර්වන් එසේ පැවසීය "මම කලබල වෙන්න පටන් ගත්ත නිසා ස්ටේජ් එක පිටිපස්සට දිව්වා. ...ආයෙ නම් ඉස්සරහට යන්න බෑ කියලා කිව්වා"



ග්‍රැමි සම්මානයත් සමගම බිම් මට්ටමේ තිබූ කැළඹීම සහ පීඩනය දරාගන්නට නොහැකි මට්ටමට ප්‍රබල විය. අවසානයේ ගායක දෙපළ, ෆැබ් මෝවන් සහ රොබ් පිලාටූස් සහ කළමණාකරු වූ ෆ්‍රෑන්ක් එය ඔවුන්ගේ හඬ නොවන බව ලෝකයා ඉදිරියේ පවසා ග්‍රැමි සම්මානය කටහඬේ නියම හිමිකාරයින්ට දෙන්නැයි පවසා සිටියහ. පවසනාකාරයට මේ ගායකයන් දෙදෙනා එම සංගීත ආයතනයට බඳවාගන්නාවිට අදාල ගීතය වෙනත් දෙදෙනෙක් ලවා පටිගත කර තිබූ බැවින් නැවතත් ඔවුන් ලවා පටිගත කරවීමට උනන්දු වී නොමැත. පසුබිම් ගායකයින්ගේ හඬ සමඟ එහි සුළු වෙනස්කමක් පමණක් කර රොබ් සහ ෆැබ් දෙදෙනාට තොල් සොල්වන ලෙස උපදෙස් ලැබී තිබේ.


වහාම ග්‍රැමි සම්මානය නැවත භාරදෙන ලෙස දන්වනු ලැබිණ. එපමණක්ද නොව ඔවුනට එරෙහිව විසි හත් ආකාරයක නීතිමය නියෝග පනවන ලදි. ඒ අනුව ඔවුන්ගේ සංගීත සංදර්ශන වලට සහභාගී වූ අයගේ පටන් ගීත ඇල්බම මිලදි ගත් අය දක්වා ම , අනුමාන වශයෙන් මිලියන දහයකට අධික පිරිසකට ඒ වැය කළ මුදල් ප්‍රතිපූර්ණය කිරීමට අවසර ලබා දී තිබිණ.





1998 වන විට ෆැබ් මෝවන් සහ රොබ් පිලාටූස් යළිත් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නට නොයෙක් වෙර වෑයම් දැරුවද ඒ සියල්ල අසාර්ථක විය. මත්කුඩු සහ නිදිපෙති මාත්‍රාව ඉක්මවා යාමෙන් මියගිය රොබ් පිලාටූස්ගේ මළ සිරුර එම වසරේදීම නිවස තුළින් හමුවේ.


ලොවක් රැවටූ මිලි වැනිලි පුවත එලෙස නිම වූ නමුත් ඔබ අප ජීවත් වන මේ කුඩා දූපත තුළද තවමත් හඳුනා ගත් නොගත් මිලි වැනිලි ලා නැතැයි ඔබ සිතන්නේද ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. ලෝකේ ලොකු බොරුකාරයෝ අහු උනාම තමයි අපි එම බොරුවේ නිර්මාණීයබව තේරුම් ගන්නේ.තව කොපමණ දේ සැඟවී ඇත්ද අපෙන් වසන්වී ලෝකය තුල....?

    ReplyDelete