ඔලිම්පික් : චෙකොස්ලෝවැකියානු විරෝධය සහ නිදහස


ඒ 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ කාන්තා ජිම්නාස්ටික් තරග පිටියයි. කාන්තා කේවල ඉසව් පහෙන් හතරකම රන් පදක්කම් හිමි කරගන්නේ චෙකොස්ලෝවැකියාවේ වියෙරා චාස්ලෆ්ස්කා (Vera Caslavska) විසිනි. ඇයට රිදී පදක්කමක් හිමි වූ එකම කේවල ඉසව්ව වූ සමබල දණ්ඩ (Balance Beam) ඉසව්වේ රන් පදක්කම හිමිවන්නේ සෝවියට් ජනරජයේ "නතාලියා කුචින්ස්කයා" ටය. බලපෑමට යටත්ව විනිසුරු මඩුල්ල ගන්නා ලද එම තීරණය කෙරෙහි දැඩි අප්‍රසාදයක් පල වුවද ජිම්නාස්ටික් පිටියේ සෝවියට් ආධිපත්‍යට අභියෝග කරන්නට සමතෙක් නොවීය. පැහැදිලිවම එහි වූයේ කේවල රන් පදක්කම් 5 ම වියෙරා හට හිමි වීමෙන් ඇය ඉතිහාසගත ක්‍රීඩිකාවක වනු වැළැක්වීම ය. ඒ වනවිටත් විනිසුරු මඩුල්ල තම සෝවියට් ගැති බව සහ වියෙරා මර්දනය කිරීමේ අරමුණ මැනවින් ප්‍රදර්ශනය කර තිබිණ. පෙර පැවති භූමි ව්‍යායාම (Floor Exercise) ඉසව්වේ රන් පදක්කම වියෙරා විසින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව විස්මයජනක ලෙස ප්‍රතිඵල සටහන සංශෝධනය කළ විනිසුරුවරුන් දෙවැනි තැන හිමි වූ සෝවියට් ක්‍රීඩිකා "ලැරීසා පැට්‍රික්" වෙත වියෙරා හා සම ලකුණු ප්‍රදාන කළාය. ඒ අනුව එහි රන් පදක්කම් ලාභීන් දෙදෙනෙකි.


භූමි ව්‍යායාම (Floor Exercise) ඉසව්වේ පදක්කම් ප්‍රදානය ඇරඹිණ. පළමුව චෙක් ජාතික ගීය වාදනය විණ. අනතුරුව සම රන් පදක්කම වෙනුවෙන් සෝවියට් ජාතික ගීය වාදනය වනවාත් සමගම වියෙරා චාස්ලෆ්ස්කා හිස පහළට නවා ප්‍රතික්ෂේපිත ලීලාවක් පළ කළාය. මීට පෙර පැවති සමබල දණ්ඩ (Balance Beam) ඉසව්වේ පදක්කම් ප්‍රදානයේ දී ද රන් පදක්කම්ලාභී නතාලියා කුචින්ස්කයා වෙනුවෙන් සෝවියට් ජාතික ගීය වැයෙද්දී වියෙරා මේ ලෙසම හිස නවා තිබිණ ඇගේ නිහඬ විරෝධතාව ඒ වනවිටත් ලොව දස දෙස පැතිර තිබිණ.

 

වියෙරාගේ විරෝධතාව පදක්කම් පිළිබඳ නොවූ අතර එය ඇරඹෙන්නේ ද ඔලිම්පික් උළෙලට පෙර සිටය. ඇය මෙලෙස විරෝධය පළ කරන්නේ තම මව්බිම වන චෙකොස්ලෝවැකියාව ආක්‍රමණය කරමින් සිටි සෝවියට් සමූහාණ්ඩුවට ය. ඔලිම්පික් උළෙලට මාස දෙකකට පෙර රතු හමුදාව රට තුළට පිවිසි අතර ඒ වනවිට ඇය සෝවියට් විරෝධී මෙහෙයුම්හි කැපී පෙනෙන ක්‍රියාකාරිනියකි. ඔලිම්පික් උළෙල දෙකකින් රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් 2 ක් දිනූ ලෝක පූජිත ක්‍රීඩිකාවක්ව සිටි බැවින් ඇයගේ මැදිහත්වීම විරෝධතාකරුවන්ට ශක්තියක් විය. සෝවියට් හිතවාදී රජය වියෙරා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර තිබූ බැවින් 1968 ඔලිම්පික් උළෙලට පිටත්වන තෙක්ම ඇය කඳුකර ගම්මානයක සැඟව සිටියාය.එතෙක් ඇය පුහුණුව ලබන්නේ කැළෑවේ සහ ගස්වැල් අතරේය. 

අවසානයේ ඔලිම්පික් උළෙලට සති කිහිපයකට පසු චෙකොස්ලෝවැකියාවේ පාලනය සෝවියට් සමූහාණ්ඩුව යටතට පත් වේ. වියෙරා චාස්ලෆ්ස්කාගේ ජීවිතයේ දුෂ්කර කාල සීමාව ඇරඹේ. බලහත්කාරයෙන් ක්‍රීඩාවෙන් සමුගන්වන ලද වේරාට රටින් පිටවීම තහනම් විය.දේශීය මට්ටමේ කිසිදු ක්‍රීඩා උළෙලකට හෝ මහජන රැස්වීමකට සහභාගී වීම තහනම් වන වියෙරා ප්‍රජා අයිතීන් අහෝසි වූ මට්ටමකට පත් වේ. ඇය පිළිබඳව වාර්තා කිරීම පවා තහනම් වූ අතර ජපානයේ පළ වූ වියෙරාගේ ජීවන පුවත චෙකොස්ලෝවැකියාව තුළ වාරණයට ලක් විය. මේ අතර පුහුණුකරුවෙකු ලෙස පැමිණෙන ලෙස 1980 දී මෙක්සිකෝවෙන් ඇරයුම් ලැබුණද චෙක් රජය වියෙරා ට රටින් පිට වීමට අවසර නොදේ. නමුත් චෙකොස්ලෝවැකියාවට තෙල් සැපයුම නතර කරන බවට තර්ජනය කරන මෙක්සිකෝ රජය ඇයව තම සේවයට කැඳවා ගැනීමට සමත් වේ. ඉනික්බිති 1989 විප්ලවයත් සමග සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටේ. එතෙක් අන්ධකාරව පැවති මේ ලෝක පූජිත ක්‍රීඩිකාව ගේ ජීවිතයට ආලෝකය දහරා ලෙසින් හිමිවන්නේ අහිමි කළ සියලුම ගරු බුහුමන් සමගිනි. නමුත් ඒ වනවිට වියෙරාගේ තාරුණ්‍යය වියැකී ගොස් තිබිණ.


තමා සෙල්ලම් කරන්නේ ගින්දර සමග බව ඈ හොඳින්ම දැන සිටියායා. තවත් සති කිහිපයක් ඇතුළත තම මව්බිමට නිදහස අහිමි වන බව දැන දැනත් ඇය තම චින්තනය සහ හෘද සාක්ෂිය වෙනුවෙන් සටන් වැදුණාය. අහිමි වන්නට බොහෝ දෑ තිබුණද ඒ කිසිවකට වසඟ නොවන වියෙරා චාස්ලෆ්ස්කා තම කශේරුකාව පිළිබඳ නිසි තක්සේරුවකින් පසු වූවාය. විරෝධතාව නිසි තැන , නිසි ලෙස සහ නිසි මොහොතේ ගෞරවාන්විතව සිදු කළ අතර ඊට වන්දිය ලෙස ජීවිතයේ හොඳම දසක දෙකක් අත්තටු කැපූ කිරිල්ලියක ලෙස ජීවත් වූවාය.

එහි එක් පසෙක සති කීපයකින් නිදහස අහිමි වන රාජ්‍යයක් ය. විජීගීසාවෙන් පෙළෙන ලෝක බලවතෙක් ය. මේ සියල්ලම මැද ලෝක පූජිත බව පසෙක ලා විරෝධය පල කරන බවලෙතෙක්ය. ඇය වියෙරා චාස්ලෆ්ස්කා ය.

මෙහි හැත්තෑ වසකට පසුවද වගාඩම්බර දොඩන නමුත් ලද නිදහසක් නොමැති ජනතාවක් ය. ජාතිය පාවා දී පරදේශක්කාරයින්ගෙන් තනතුරු ලැබූ නින්දා සහගත ඉතිහාසයක් ය. බලය පෙරළෙන බව ඉව වැටුණු සැණින් පාට මාරු වන කටුසු ගහණයක් ය. නිල ඇරියුම් මත පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයින්ට තුවක්කු බඳෙන් ගසනා ගෝත්‍රික ප්‍රජාවක්ය. එදා මානසික ආතතිය නිසා කළා යැයි කියූ අමනෝඥකම් මෙදා වීරක්‍රියා ලෙස හඳුන්වාගන්නා ඔල්මාදකරුවන් ය.


වියෙරා සෝවියට් සමූහාණ්ඩුවට අභියෝග කරන්නේ තව සති කිහිපයකින් තම රටේ නිදහස අහිමි වන බව දැන දැනම ය. අපි ලෝකයටම අභියෝග කරන්නේ සුද්දා රට හැර පියා වසර හැත්තෑවක් වත් ගත වූ තැනය. 

චෙකොස්ලෝවැකියාවට වියෙරා සිටිද්දී අපිට සිටින දේශප්‍රේමියා රජිව් ගාන්ධිට තුවක්කු බඳෙන් ගැසූ හිටපු නාවුක සෙබලෙකි. ලංකාවේ සිසුන් උසස් අධ්‍යාපනයට චෙක් ජනරජයට යන බව අසා ඇත. ඒ හැර චෙක් සිසුන් ලංකාවට එන බවක් අසන්නට නැත්තේ මේවා මෙහෙම සිදුවන නිසාය.



Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment