ඔලිම්පික් : ජෝසප් ස්කූලිං සහ සිංගප්පූරුව


ජෝසප් ස්කූලින් දිනූ රන් පදක්කම පිටුපස මයිකල් පෙල්ප්ස් පරාජය කිරීමට වඩා සංකීර්ණ කතා පුවතක් ඇත.ස්කූලින් තවමත් 21 හැවිරිදි ගැටවරයෙකි. නමුත් ඔහු මෙලෙස සැබෑ කරන්නේ සසිරි පුරයක සනාතන සිහිනයකි.
එය සිංගප්පූරුව ඔලිම්පික් ඉතිහාසයේ දිනූ පළමු රන්පදක්කම ය. ජෝසප් ස්කූලින් මීටර 100 සමනළ ආර ඉසව්වෙන් රන් පදක්කම දිනා නොනැවතී ඔලිම්පික් වාර්තාවද තමා සතු කර ගනී. ඔහු බිඳ දමන්නේ මයිකල් පෙල්ප්ස් 2008 බීජිං උළෙලේදී තැබූ ඔලිම්පික් වාර්තාව ය. 13 හැවිරිදි ජෝසප් ස්කූලින් තම වීරයා වූ මයිකල් පෙල්ප්ස් සමග සේයාරුවකට පෙනී සිටින්නේ බීජිං ඔලිම්පික් උළෙලට පෙරාතුවය. ඔහු වසර 8 කට පසුව තම වීරයාගේ වාර්තාව බිඳ දමන්නේ ඔහුට රිදී පදක්කමක් පමණක් ඉතිරි කරමිනි. කතාව එතැනින් නවතින්නේ නැත.


2016 ට පෙර සිංගප්පූරුවට හිමි ව තිබුණේ ඔලිම්පික් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් පමණකි. 1960 - රෝම ඔලිම්පික් උළෙලේදී බර ඉසිලීමෙන් රිදී පදක්කමක් දිනන්නේ Tan Howe Liang  ය. 2008 - බීජිං ඔලිම්පික් උළෙලේ දී කාන්තා මේසපන්දු කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම දිනන්නේ Feng Tianwei , Li Jiawei සමග Wang Yuegu ය. එම ක්‍රීඩිකාවන් තිදෙනාම 2012 - ලන්ඩන් උළෙලේදී මේ ඉසව්ව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනන අතර Feng Tianwei කාන්තා කේවල ඉසව්වේ ද ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වේ. නමුත් මේ බර ඉසුලුම් ක්‍රීඩකයා සහ මේසපන්දු ක්‍රීඩිකාවන් තිදෙනාම චීන නිෂ්පාදන විනා සිංගප්පූරු නිපැයුම් නොවේ. "ටන් හොවේ ලියෑන්ග්" චීනයෙන් එන්නේ වයස අවුරුදු 4 දීය. ක්‍රීඩිකාවන් තිදෙනා චීනයෙන් එන්නේ 1995 , 2004 , සහ 2007 වසර වලදී ය. සරල බසින් පවසන්නේ නම් අද වන තෙක් සිංගප්පූරුවේ උපත ලැබුවෙක් දිනූ ඔලිම්පික් පදක්කමක් නැත.

ජෝසප් ස්කූලින් ගේ රන් පදක්කම , රන් පදක්කමක් ම වන්නේ එබැවිනි. ස්කූලින් ගේ පියා සිංගප්පූරුවේ ම උපන් අයෙක් වන අතර මව මැලේසියාවෙන් සංක්‍රමණය වූ කාන්තාවකි. එබැවින් ජෝසප් සිංගප්පූරුවෙන් බිහි වූ ක්‍රීඩා තරුවක් ම ලෙස විනා අන් රටකින් ආනයනය කළ තාරකාවක් ලෙස හඳුන්වාදිය නොහැකිය.

එසේත් නැතහොත් , ජෝසප් ස්කූලින් යනු ලී ක්වෑන් යූ ගේ සිහින සිංගප්පූරුව සැබෑ කරන තුන්වැනි පරපුරේ සාඩම්බර පුරවැසියෙකි.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment