කාල් මලර් ! ඔබට සුබ ගමන්


කාල් මලර් | 1935.10.22 - 2019.12.02
මහාචාර්ය ලියනගේ අමරකීර්ති මේ වසරේ එක්තරා දවසක ලාංකේය ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ ව දීර්ඝ ෆේස්බුක් සටහනක් යෙදී ය. එහි දී ජීන් අරසනායගම් පිළිබඳ විචිත්‍ර විස්තරයක යෙදුණු ඔහු මෙසේ පැවසීය.
"මා වසන නගරයේම වසන අවසන් බර්ගර් ලේඛිකාව ඇය නොවේවායි මම පතමි. අනෙක් බර්ගර් ලේඛකයා වන කාල් මලර් රෝගීව සිටියි. ඔහුට දැන් ලියන්නට බැරිය. ජීන් තවමත් ලියයි"
අමරකීර්තිගේ වර්තමාන කාල ප්‍රකාශයන් සියල්ලම අතීත කාලයට පරිවර්තනය කරමින් පළමුව , ජූලි මාසයේ දී ජීන් අරසනායගම් අප අතරින් වියෝ වූ අතර දෙසැම්බර් ආරම්භයේදීම කාල් මලර් ද සමු ගත්‍තේය. සෙංකඩගලපුර සිට ලාංකේය ඉංග්‍රීසි සාහිත්‍යය පෝෂණය කළ බර්ගර් වරු දෙදෙනාම එලෙස ඉතිහාසයට එක් වූහ.
ග්‍රේෂන් සාහිත්‍ය ත්‍යාගලාභී ලේඛක කාල් මලර් සිය දිවියේ සැඳෑ සමය චිත්ත වික්ෂේපීව ගත කළ අතර බොහෝ දෑ අමතක වීමේ සැහැල්ලුව අත් විඳමින් සිටියේ ය. ඔහු ඉතිහාසයේ එක් දවසක විසි එක්වැනි වියේ දී අකාලයේ රිය අනතුරකින් මිය ගිය තම ලාබාලතම පුතු ඩෙස්ට්‍රි මලර් කෙරෙහි අපරිමිත ස්නේහයකින් දීර්ඝ ලිපියක් ලියන්නේ ; මහත් ශෝකයෙන් මෙසේ අවසන් කළේ ය.
"අපගේ ඉන්ද්‍රචාපයට, තම රන් පැහැ තීරය අහිමි වූ නුමුදු ඔහු අපගේ හදවත් තුළ සදාකල් ජීවමානව හිඳිනු ඇත. නැත පුතුණුවනි , මෙය කිසි දිනෙක සමුගැන්මක් නොවේ."
කාල් මලර් එදා ප්‍රතික්ෂේප කළ සමුගැන්ම අද වන විට, එනම් අසූ හතර වැනි වියේ දී භාරගත් පුවත මොහොතකට පෙර සැල විය. ඔහුගේ දෙවැනි පුතු , රොනී මලර් තම මුහුණු පොතෙහි පළමුව සිඳුලෝලියෙක්ව ද රණකාමියෙක්ව ද හිඳ අවසානයේ නිර්මාණශීලි සාහිත්‍යධරයෙකු ලෙසින් මෙලොවින් නික්ම ගිය තම පියාණන් පිළිබඳ ලියූ සටහන මෙසේ නිම කර තිබිණ.
Goodbye Dada. You have gone to finally meet Destry who we said farewell to those many years ago, and we will all meet you again someday, when our time too will come.
"සුබ ගමන් තාත්තේ. අවසානයේ දී ඔබ වසර ගණනාවකට පෙර අපෙන් සමුගත් ඩෙස්ට්‍රි හමුවන්නට ගොසිනි. අපගේ ද මොහොත උදා වූ කවදා හෝ දිනෙක දී යළිත් ඔබ හමු වනු ඇත"
කාල් මලර් ! ඔබට සුබ ගමන්
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment