බාල සාරියක් ඇඳගෙන මේ පාරේ යන මා නොව


"මම දොළොස් වසක් දක්ෂ ලෙස හැම වාරයක ම පංතියේ පළමුවැනියා වී ඉගෙන ගෙන අද බීඩි ඔතමි. අනුලා කළ යුත්තේ එය ම ද? මට නොඇරැණු අනාගත දොරටු අනුලා වෙනුවෙන් වැසී තිබිය යුතුද? මමත් සෝමාත් අනුලාත් බොහෝ දවස්වල කුසගින්නේ සිටියෙමු. නිල්මිණිත් ඒ දුකම විඳිය යුතුද? සෝමාට නොතිබුණු හැම සැප පහසුකමක්ම හා වරප්‍රසාදයක්ම නිල්මිණිටත් අහිමි විය යුතුද? " ගැහැණු ළමයි නවකතාවේ කුසුම් එහෙම හිතනවා. කුසුම් ගේ ලෝකේ හීන හුඟක් බොඳ වුණා. ඒත් තමන්ගේ හීන අහිමි වුණා කියලා ඒ හීන වලට තියන ආසාව අත ඇරියේ නැහැ. තමන්ට බැරි වුණත් වෙන කෙනෙක්ගේවත් අනාගතය මීට වඩා යහපත් වෙන්න ඕනේ කියන උවමනාව එයා ට තිබුණා. නවකතාවේ එක්තරා මොහොතක නිල්මිණි ගේ අතින් අල්ලාගෙන ඉස්කෝලේ පහු කරගෙන යන කුසුම් ට ඉස්කෝලේ ඇතුළට යන්න ආසා හිතෙනවා. ඒ කුසුම්ට අහිමි වුණු අධ්‍යාපන ය. අහිමි වුණු යොවුන් වසන්ත ය. අහිමි වුණු හුඟක් දේවල් අතරේ කුසුම් ඉස්කෝලේ ගැන මෙහෙම හිතනවා. "නිමල් , පද්මිනී , විජයලතා , කිත්සිරි , ජයසේකර ආදී හැමෝම එහි සිටිතැයි මට සිතිණි. පද්මිනී හමු වී වචනයක් කතා කරන්නට ඇත්නම්! ලියනගේ දෝන කුසුමාවතී එහි සිටිතැයි මට මතක් විය. පුංචි ගැහැණු ළමයකු අතින් අල්ලාගෙන බාල සාරියක් ඇඳගෙන මේ පාරේ යන මා නොව අනාගතය ගැන උසස් බලාපොරොත්තු ඇතිව දක්ෂ ලෙස ඉගෙන ගත් දුප්පත් කුසුමාවතී !"
අද වෙනකොට තමන්ගේ හීන අමතක කරලා බීඩි ඔතන , බාල සාරි ඇඳගෙන පාරේ යන කුසුම් ලා සිය දහස් ගණනක් අපි දකිනවා. දවස් ගණන් කුසගින්නේ ඉන්න සෝමා , අනුලා වගේ පරම්පරා ගාණක් පහු කරලා ඇවිත් ඉන්නවා. තමන්ට නොඇරුණු අනාගත දොරටු ගැන ඒ අය විශ්වාසය අත ඇරලා. ඉතිං සදාකාලිකව ම බීඩි ඔතන්නයි , බාල සාරි ඇඳගෙන පාරේ යන්නයි හිත හදාගෙන ඉවරයි. සමහරු ඒ මානසිකත්වයේ කොයි තරම් කෙළවරට ගිහිං ද කියනවා නම් බීඩි ඔතන එක තමන්ගේ ඒකායන සතුට කරගෙනත් ඉවරයි. පාරේ යන්න මොකටද හොඳ සාරි කියලා හිතන අයත් ඉන්නවා. දක්ෂ විදියට ඉගෙන ගත්ත කුසුම් ලා හුඟ දෙනෙක්ගේ ඉරණම අවාසනාවන්ත විදියට ඉවර වුණා කියලා සියලු බලාපොරොත්තු අත අරින්න ඕනෙද ? සෝමායි අනුලායි කුසගින්නේ හිටියා කියලා මතු පරම්පරාවම කුසගින්නේ ඉන්න ඕනේ ද ?
අමතක කරන්න හොඳ නැහැ. අපි මුලින්ම කතා කළේ නිල්මිණිගේ අනාගතය ගැන. ඒක තීරණය කරන්න ඕනේත් අපි. මෙච්චර කාලාන්තරයක් ගිහිං කුසුම්ලාට හැමදාමත් වුණේ බීඩි ඔතන්න නම් ඒ ක්‍රමයේ වැරැද්දක් තියෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ බව දැන දැන අපි ඒ ක්‍රමයට අභියෝග නොකර කොහොමද නිල්මිණිගේ අනාගතය ගැන හිතන්නේ ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment