ජැක් - මායා බෝංචි වැල සහ පොරොව


ජැක්ගේ මායා බෝංචි වැල කියන්නේ අපි පොඩි කාලේ අහපු ලස්සන කතන්දරයක්. ජැක් දුප්පත් ගෙදරක බොහොම දුප්පත් විදියට අම්මත් එක්ක ජීවත් වුණා. ඔය අස්සේ ජැක් ට සිද්ධවෙනවා තවදුරටත් කිරි ලබා නොදෙන එළදෙනව පොළට ගිහිං විකුණන්න. ඒත් , ජැක් පොළට යන අතරමග දි හමුවෙන අමුත්තෙක් එක්ක මායා බෝංචි ඇට කීපයකට එළදෙනව හුවමාරු කරගෙන ගෙදර එනවා. මේක දැනගත්ත ජැක්ගේ අම්මාට හොඳටම කේන්ති යනවා. මායා බෝංචි ඇට ටික ජනේලෙන් විසි කරන අම්මා රෑ කෑමත් නොදී ජැක්ව නින්දට යවනවා. ඊ ළඟ දවසේ උදේ නැගිටිනකොට මායා බෝංචි වැල අහසට ම ගිහිං. ජැක් ඒක මුදුනට නැගලා බලනවා. ඒක නපුරු යෝධයෙක්ගේ විමානයක්. බොහොම භයානක සිදුවීම් වලට මුහුණ දීලා ජීවිතේ බේරගෙන ආපහු පොළවට පැන ගත්ත ජැක් ඉක්මණට පොරව අරගෙන බෝංචි වැල කපලා දානවා. සදහටම යෝධයාගෙන් නිදහස් වෙනවා.
අපි ජීවත්වෙන ලෝකේත් නානාප්‍රකාර ජැක් ලා හිටියත් අපිට මායා බෝංචි වැල් නම් දකින්න ලැබිලාම නැහැ. ඒත් ටිකක් කල්පනා කරලා බලන්න. මායා බෝංචි වැල් නෙමෙයි ද මේ හැමතැනම තියෙන්නේ. අපි අපේ රටට ඒ කතාව ආදේශ කරලා බලමු. දුප්පත්කමෙන් ගොඩයන්න තියෙන උවමනාවට අපි එළදෙනව විකුණන්න හිත හදාගන්නවා. කිරි ලැබෙන්නේ නැත්නම් එළදෙනගෙන් මොනවා කරන්නද ? ඒත් එළදෙන විකුණන්න යන හැම වෙලාවකම කවුරු හරි අමුත්තෙක් අපිට මායාබෝංචි ඇට ටිකක් දීලා රවට්ටනවා. අපි යන්න ගිය ගමන නවත්තලා එළදෙනවත් දීලා කොහේවත් නැති බෝංචි ඇට ටිකක් අරගෙන ගෙදර එනවා. ආවට පස්සේ තමයි අපිට තේරෙන්නේ රැවටුණු තරම. නිකම් බෝංචි නම් කන්නවත් තිබුණා. මේවා මේ මායා බෝංචි. අන්තිමට බෝංචි වැල පැල වෙලා අහස උසට නගිනකම් අපි නිදියගන්නවා. නැගිටලා ඉවරවෙලා වැල දිගේ උඩට යනකොට ඒක උඩ ඉන්නේ යෝධයෙක්. ඒ කිව්වේ අපිට වඩා බලසම්පන්න කෙනෙක්. විසඳුම් දෙකක් තියෙනවා. අපිට කවදාවත් මූව පරාජය කරන්න බෑ කියලා යටත් වෙලා ඉන්නවද ? නැත්නම් සටන් කරලා කොහොම හරි මේ යෝධයාගෙන් බේරෙනවද ? අමතක කරන්න එපා. ජැක් ගේ කතාවේ දි ජැක්ටයි අම්මටයි එදාවේල කන්නවත් තිබුණේ නැහැ. ඒ වුණත් යෝධයා ළඟ නම් රත්තරන් බිත්තර දාන කිකිළියෙක් , රත්තරන් වීණාවක් එහෙමත් තිබුණා. මේවයින් ඇහැ ගිනිකණ නොවැටී සටන් කරන්න හිත හදාගන්නවා කියන්නේ ම එක විදියක යුද්ධයක්. හැමදාම යෝධයින්ට දිනුම දීලා , මායා බෝංචි ඇට දුන්න ආගන්තුකයාට සාප කර කර ඉන්නවද ? කවුරු හරි පහළට බැහැලා ගිහිං පොරවක් අරගෙන බෝංචි වැල කපලා දානවද ?
පොරොව තියෙන්නේ අපේ අතේ. අපි තමයි මේ රටේ ඡන්දදායකයෝ. මායා බෝංචි වැල් උඩ ඉන්න යෝධයෝ සුරතල් කර කර තව දුරටත් බයේ ජීවත් වෙනවාද කියන එක තීරණය කරන්නත් ඕනේ අපිම තමයි. ඒ අතරේ මායා බෝංචි ඇට අරගෙන පොළ පැත්තේ කැරකෙන අමුත්තෝ සතියෙන් සතිය වැඩි වෙනවා. එක යෝධයෙක්ව එළවලා තවත් ඒ ජාතියේ ම යෝධයෙක් ගේනවද , එහෙම නැත්නම් මේ නපුරු යෝධයින්ගේ අණසක පැතිරුණු මායා බෝංචි වැලම කපලා දානවද ? මේ මොහොතේ රත්තරන් බිත්තර වලට, රත්තරන් වීණා වලට වසඟ වෙන්නේ නැතිව මායාබෝංචි වැල කපන්න ජැක් ඉදිරිපත් වෙනවා. අමතක කරන්න එපා. පොරොව තියෙන්නේ ඔබේ අතේ. ජැක් ට පොරොව දෙන්න ඕනේ ඔබ.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment