ප්‍රියා සූරියසේන හෙවත් සිංහල සංගීතයේ අජේ දෙව්ගන්




ප්‍රියා සූරියසේන යනු සිංහල සංගීතයේ අජේ දෙව්ගන් ය. අජේ දෙව්ගන්ට අනෙක් හින්දි නළුවන්ට මෙන් ඉතා ලස්සන රූපයක් නැත. එනුමුදු ඔහු අවලස්සන ද නැත. ඒ කෙසේ වුවත් අජේගේ රැඟුම් සහ අජේ රඟන චරිත ඉතා කඩවසම් යැයි අපි දනිමු. වෙනකක් තබා අවසානයේ දී ඔහු සුරූපි කාජල් පවා වසඟ කරගත්තේ ය. ප්‍රියා සූරියසේන කෙනෙක් පිළිබඳව කාජල් මුඛර්ජි නොදන්නවා වන්නට ඇත. නමුත් අඩුම තරමේ ඔහු අනෙක් බොහෝ ගායකයන්ට නොහැකි වූ ලෙස අපගේ සිත් වසඟ කර ගැනීමට සමත් විය.

ප්‍රියාට ඇත්තේ නොදැමුණු , රස්තියාදු හඬකි. සාම්ප්‍රදායික ගායන පරාසයේ බැමි වලට එපිටට ඇදෙන රිසි සේ ගැයෙන කටහඬකි. එය එදා මෙන්ම අදටත් ඉලන්දාරි ජවයකින් පිරී ඇත. ලාංකේය සංගීතය යනු නිර්මල ගම්මානයක් නම් එහි බෝක්කුවක් උඩ උක්කුටියෙන් වාඩි වී සිටින රස්තියාදුකාරයා වන්නේ ප්‍රියා සූරියසේනගේ කටහඬ ය.

කොස්තා තුළින් ඉපදෙන ප්‍රියා | ඈතින් ඈතට | 1983
'ඈතින් ඈතට' චිත්‍රපටයේ 'කැන්දන් යන්නම් රන් මල් මාල දාලා' ගීතයේ ඉතා සංවර ග්‍රේෂන් සහ මිල්ටන්ගේ හඬ අභිබවමින් අප හදට දැනෙන්නේ ප්‍රියා සූරියසේනගේ ඉලන්දාරි කටහඬ නොවේද ? 'ටිකිරි කාලේ ගී ගැයූ ඒ වැව් තෙරේ ආයේ' යනුවෙන් විමල් කුමාර ද කොස්තාට සියයට සියයක් සරිලන සේ මුව අයා ගැයෙන ඒ මිහිරි ගී නද ඔබ යළිත් වරක් ඇසිය යුතුම ය. ඒ චිත්‍රපටයේම මිල්ටන් සහ පපා මිස්කින් සමඟ 'ජීවිතේ සරුංගලේ වාගේ පාවෙලා' යනුවෙන් ගයන ප්‍රියා තම අනම්‍ය කටහඬ ඔස්සේ ගීතයේ මුල පද පවා අපට අමතක කරවන්නේ ය. ගීතය ඇරඹෙන්නේ මිල්ටන් ගයන 'සීතයි - හරියට හිම ගාණයි' යන පදයෙන් වුවද අප ගීතය හඳුනන්නේ ප්‍රියාගේ විවර වුණු මුවගින් රැව් පිළිරැව් දෙන 'ජීවිතේ සරුංගලේ වාගේ පාවෙලා' යන පදයෙනි.

මේ ගයන්නේ 'සඳ තාරකා හඬාවි' ය. සංගීතය සපයන්නේ මේරියන්ස් ය. මේ ගීතය තුළ ගැබ්ව ඇති ගුප්ත සහ ආසාව දනවන හැඟීම වචනයෙන් විස්තර කරගනු නොහැකි තැන පසුගිය සතිය වනතුරුම මේරියන්ස් රසිකයෙක් නොවූ මම මෙසේ පවසමි.
මේරියන්ස් ! වහා ඇබ්බැහිවන සුළුයි.




Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

4 comments: