උඹලා තමයි බණ්ඩාරනායක කපපු මරුවලේ වැටුණු ගෙම්බෝ


අගමැතිවරයා ප්‍රිය සම්භාෂණයක තම ඥාතී කලා ශිල්පිනියක සමග රංගනයේ යෙදීම සමාජ මාධ්‍ය ජාලා වලට කටගැස්මක් වී ඇත. යුරෝපීය ඇඳුමට බර රනිල් වික්‍රමසිංහ නොදන්නා රබන් ගසන්නට ගොසින් හත්පොළේ ගා ගත්තාට වඩා මේ නැටුම අවංක බව බොහෝ දෙනෙකුට අමතකය. අපට අවශ්‍ය වී ඇත්තේ ජාතික ඇඳුමෙන් සැරසී බිංතැන්නේත් , පැරිසියේත් කිරි කොරහා නටන ජාතික නායකයින් ය.
උසස් පෙළ කලා අංශයේ දිවයිනේ ප්‍රථමයා වූ ස්වාමීන්වහන්සේ පොදු ඉංග්‍රීසි විෂයය අසමත් බව සංවාදයට නැගුණේ සතියකට ඉහතදීය. බණ්ඩාරනායක මහතාගේ පංච මහා බලවේගයේ පළමු බලවේගය සඟ පරපුර ය. උසස්පෙළෙන් ලංකාවේම මුල්තැන දිනන එම සඟ බලවේගයට ජාත්‍යන්තර භාෂාව ඉදිරියේ බලය හකුලා ගන්නට විය. පංච මහා බලවේගයක් පිළිබඳ දොඩමින් බලයට පත් වූ බණ්ඩාරනායකවරු 1956 භාෂා පනත හරහා සිංහලය රාජ්‍ය භාෂාව කළහ. තම දරුවන්ව රාජකීය විද්‍යාලට සහ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට යවා ඉගැන්වූහ.
මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් දායක වූ සැලැස්මකට අනුව තල්දූවේ සෝමාරාම හිමියන් විසින් වර්ෂ 1959 දී එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක මහතාව වෙඩි තබා ඝාතනය කළ අතර 2017 වසරේ දී උසස්පෙළ ලංකාවේ මුල් තැන දිනූ පත්බේරියේ මුනින්දවංස හිමියන්ගේ උසස් පෙළ ප්‍රතිඵල සටහනේ ඉංග්‍රීසි භාෂාව අසමත් ලෙස සටහන් විය.
රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා , යුරෝපීය ඇඳුම අඳින , ප්‍රිය සාද වලදී නටන මිනිසා ට වඩා අපි ප්‍රිය කරන්නේ රෙද්ද බැනියම ඇඳ සිංහලය රාජ්‍ය භාෂාව කර තම එකම පුතු රාජකීය විද්‍යාලයට යැවූ මිනිසාට ය.
ලියනගේ අමරකීර්ති ගේ " අටවක පුත්තු" පොතේ එක් තැනක මෙසේ බැණ වදියි
" උඹලා තමයි බණ්ඩාරනායක කපපු මරුවලේ වැටුණු ගෙම්බෝ"
මිත්‍රවරුනි, අමරකීර්ති ඒ බනින්නේ කාටද ?

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. ++++++++
    ඒ මරුවලේ වැටී ඇත්තේ උන්නැහේ හින්දා බව නොදන්නා උන්නෑහේලාද දැන දැනත් නොදන්නාසේ සිටිනා උන්නැහේලාද තවමත් උන්නැහේට වසරකට වරක් මල් මාලා දමා, දෙපයට මල් තබා දෙකට නැමී වඳිති.

    ReplyDelete
  2. එක් එක් යුගයක අවශ්‍යතාවන් මතයි ජන විඤ්ඤානය සකස් වෙන්නෙ. අපි බැදෙදේගම කියවද්දි දකිනවා, සිලිඳු ලා බබුන්ලා තමන් ගැන වචනයක්වත් කතා කරගන්න බැරුව උසාවියෙදි අතරමං වුන හැටි. වෙල්ලස්සේ බිම හානි කරලා මිනිස්සුන්ගේ කොන්ද ගැලෙව්ව හැටි අපි දන්නවා, රටක්ම බෞතීස්ම කරමින්, රේන්ද අයුතිකාරයන් බිහිකළ හැටි දන්නවා. මේ හැම සිද්ධියක්ම වෙද්දි කලින් සමාජයේ නරක තැන් වලට පහරක් නොවදිනවා නෙවෙයි. කන්ද උඩරට මිනිස්සු මද්දුම බණ්ඩාරගේ මරණය වගේ සිද්ධි නිසා කළ කිරුනා. ඒකෙන් ගත්ත ක්‍රියා මාර්ගය ආපහු හරවන්න බැරි දෙයක් වුනා වසර 133 යන කල්. රේන්ද පෝසත්තු බිහිවෙද්දි රාජ නින්දගම් කාරයො පසු බැස්සා. 1956 වෙද්දි දේශීය සිංහලයන් හැම තැනම කොන් වෙලා හිටියා. ඒක තමා බණ්ඩාරණායක පාවිච්චි කළේ. අපි ඒ මළකුණට බැට දෙනවා මිසක් එදා ඉඳන් කරලා තියන්නෙ ඒක පිට දදා බොරු දෙබිඩි ජීවිතේක හිර වෙලා ඉන්න එක, එක වෙලාවකට අපි බයියො, අනිත් වෙලාවේ ටොයියො. දොස්තර කෙනෙක් එක වෙලාවක තර්කානුකූලයි, ආයේ අනි පැත්තට ගිහින් පිරිත් නූල් බැඳගෙන පිරිතේ බලය කිය කිය පිස්සු කෙලිනවා. ඒ කෙලන කෙලිල්ල දැකලා අනිත් එවුනුත් එහෙමම වෙනවා.
    බණ්ඩාරණාය්හන කාලේ යුගයේ අවශ්යතාවක් වුන දෙයක් ඔහු දේශපාලන වාසියට හරෝගත්තා, පස්සෙ චෙල්වනායගම් එක්ක කතා කරලා දේවල් විසඳන්න ඉදිරිපත් වුනේ ඒ කාලේ මානව හිමිකම් කොමිසම් තිබ්බ නිසා නෙවෙයි ඔහු තුල බුද්ධිමතෙක් හිටි නිසා.
    මේ පරණ නිලිය වටේ නටන මනුස්සයා මනුස්සයෙක් හැටියට නම් අපට කිසි අවුලක් නෑ. ඒත් එයා පොදු චරිතයක් හැටියට තමන්ට බාර වෙච්ච රට ගැන අබමල් රේනුවක හැඟීමක් නැතුව ලිබරල් ප්‍රවාහක ඔහේ මැරිලා වැටෙන එකා මැරිද්දෙන් කියලා සීතලයෙක් වගේ ඉන්නවා, මිනිහා කලබල වෙන්නේ ත්මන්ගෙ නායකත්වයට අත තියන කොට විතරයි. එහෙම එය කොච්චර ඩීසන්ට් වුනත් ඉතින්, ''...අම්මට හොඳයි මට නම් හිරිකිතය " කියලයි කියන්නෙ වෙන්නෙ. මමත් හරි හොඳ කෙනෙක්, ඒත් මම අගමැති වුනොත් නම් මට කරන්න බැරි බව සහතිකයි. එහෙමයි කියලා මට ලොක්කා විවේචනය කරන්න බැරි කමක් නෑ,බිත්තරේ කුණු වෙලා කියන්න කිකිලියෙක් වෙන්න ඕන නෑනේ.

    ReplyDelete