දේදුනු ආකාසේ : Make-up Budget එක Script Budget එක ඉක්මවා යාම


"දේදුනු ආකාසේ" හෙවත් ලාංකීය සිනමාවේ Make-up Budget එක Script Budget එක ඉක්මවා යාම.
ප්‍රියන්ත කොළඹගේ ගේ දේදුනු ආකාසේ යනු චන්ද්‍රන් රත්නම් ගේ පොරොන්දුව චිත්‍රපටයේ දෙවැනි කොටසයැයි යමෙකු පැවසුවහොත් පුදුම වීමට උවමනා නැත. පොරොන්දුව චිත්‍රපටය ආරම්භ වන විට නැටුම් ගුරුවරියකව සිටි වසන්ති චතුරානි හදිසි අනතුරකින් පසු ඈත කඳුකරයක රෝද පුටුවකට වී චිත්‍ර අඳිමින් සිටියාය. පිටපත ඒ තරමට අභව්‍යය. ඒ චිත්‍රපටයේ ගන්නට කියා දේකට තිබුණේ රූකාන්ත - චන්ද්‍රලේඛා ගැයූ " අනන්තයක් වී ඔබේ ආදරේ " ගීතය පමණමය.
පොරොන්දුව : දේදුනු ආකාසේ - අවිශ්වසනීය තිර පිටපතකින් මැවෙන සිනමාරූපී විහිළු
"දේදුනු ආකාසේ" චිත්‍රපටයේ සමුද්‍ර (හේමාල් රණසිංහ) විහංගි (චුලක්ෂි රණතුංග) පවනි (ශනෙල් ප්‍රනාන්දු) නර්තනය හදාරන්නේ කොළඹ සුපිරි ගණයේ කලා නිකේතනයක ය. එහි තරුණියන් නැටුම් හැදෑරීමට පැමිණෙන්නේ විවාහ මංගල්‍යයක මනමාලිය , දෙවැනි මනමාලියන් සහ මල් කුමාරියන් යන සියලු දෙනාටම වුවද සෑහෙන මේක් අප් කන්දරාවක් මුහුණේ උලාගෙනය. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් අති නවීනය. මනරම් ය. දවස තිස්සේම බටහිර නැටුම් නටනවා හැරෙන්නට වෙන දෙයක් කරන්නේ ද නැත.
උපාධිය අවසන්ව හපුතලේ කුඩා පාසලක නැටුම් උගන්වන්නට යන විහංගි තමාගේ සමීප මිතුරා සමුද්‍ර ගැන කිසිදු තොරතුරක් නොදනී. සමුද්‍ර පසුකාලීනව ජාත්‍යන්තරය ජයගත් බැලේ නර්තන ශිල්පියෙකු වූ බව අධ්‍යක්ෂවරයා අපට පවසයි. නමුත් ඔහු එය විහංගිට පවසා නැත. තමන්ගේ සිත් දිනූ තරුණයා තම රූම් මේට් වූ පවනි සමග විවාහ වූ බවත් , විවාහ වූ අලුතම පවනි රිය අනතුරකින් මිය ගිය බවත් විහංගි නොදනී. නමුත් අමතක නොකරන්න. තිර පිටපතට අනුව සමුද්‍ර යනු ජාත්‍යන්තරය ජයගත් ලංකාවේ නමදිනූ බැලේ නර්තන ශිල්පියෙකි.
වසර අටකට පෙර විහංගි තමා ගැබ්ගෙන සිටින බව සමුද්‍රට දන්වා යවා ඇත්තේ ලිපියක් මගිනි. මීට පෙර අප එවැනි ජවනිකාවක් දැක්කේ 1990 විකාශය වූ "වෙද හාමිනේ" ටෙලි නාට්‍යයෙනි. මංගලී තමා ගැබ්ගත් බව ලියා ගුනේන්ද්‍ර ට ලියුමක් යවන්නේ එවකට තලකිරියාගම සහ කොළඹ සම්බන්ධ කරන වෙනත් සන්නිවේදන මගක් නොතිබූ හෙයිනි. සමුද්‍රගේ ෆේස්බුක් ෆොටෝස් ආසාවෙන් නරඹන පවනිව අධ්‍යක්ෂවරයා අපට පෙන්වූ නමුත් විහංගි ඒ බව නොදන්නා හැඩය. කොළඹදී කොටට කොටේ කොට ගවුම් හැඳ හැටට හැටේ නටමින් හුන් ඇය පණිවුඩ යැවීමට තෝරා ගන්නේ එදා ඉසිවර වෙද අසපුවේ දාඩිය පෙරාගෙන බෙහෙත් කෙටූ මංගලීගේ ක්‍රමයම ය.

වෙද හාමිනේ : දේදුනු ආකාසේ - තලකිරියාගම සිට හපුතලේ දක්වා නොදියුණු සන්නිවේදනය 
"දේදුනු ආකාසේ" යනු විටෙක වීදි නාට්‍යයක් බඳුය. විහංගි ගේ පියා රටම දන්නා පාරම්පරික නර්තන ශිල්පියෙකු බව අපට දැනුම් දෙන පෝස්ටර් දෙබස් බොහෝය. සමුද්‍රගේ මව ඔහුගේ අයියාට අත්වූ ඉරණම අපට අමතක වේයැයි බියෙන් තැන නොතැන නොබලා එය සිහිපත් කරන්නීය. සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය නර්තන තරගයක් ගැන චිත්‍රපටය තුළ පැවසේ. විහංගි නැටුම් ගුරුවරියක වුවද ඇගේ කුඩා දියණිය නටන්නට අකැමතිය. ඇය ඒ බව පවසා දියණියව තරගයට පුහුණු කරන්නැයි පාසලෙන් කෙරෙන යෝජනාව ප්‍රතික්ෂේප කරන්නීය. නමුත් පාසලේ නේවාසිකව සිටින දියණිය ගුප්ත ආත්මයක පෙළඹවීම මත හොර රහසේ බැලේ නැටුමක් පුහුණු වේ. එසේ කාත් කවුරුත් නොදැන පුහුණු වූ දරුවා මව ද නොදැන පාසලක් නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වීමෙන් නවතින්නේ නැත. ඇය සමස්ත ලංකා තරගාවලිය ද ජය ගනී. ඒ ජයග්‍රහණය උදෙසා පාසල සංවිධානය කළ උපහාර උළෙල රාජ්‍ය නර්තන උළෙලට වඩා අලංකාරය. ඒ වගේම ඒ සා මහේශාඛ්‍ය උළෙලේ ආසන සියයක් වත් නොමැත. එයට සහභාගී වන තෙක්ම විහංගී තම දියණිය සමස්ත ලංකා තරගයක නැටූ බවක් හෝ ජයග්‍රහණය කළ බවක් කිසිම ආකාරයකින් දැනුවත්ව හිඳ නැත. එහි ආරාධිත අමුත්‍තා වූ සමුද්‍ර මේ දැරියගේ බැලේ නර්තන හැකියාව ඉතා විශිෂ්ඨ බව පුන පුනා පවසන්නේය. නමුත් වේදිකාවේ නර්තනයේ යෙදෙන දැරිය ඉතාමත් ආධුනික බවත් ඇයගේ ගේ පරිවාර දැරියන් දෙදෙනෙක් ඉතාමත් හොඳින් රඟන බවත් බැලූ බැල්මට පෙනී යන්නේය.
අවසානයේදී තොරතුරු තාක්ෂණයේ දියුණුව ගැන හාංකවිසියක් නොදැන සිටි ඇල්ටමයිරා යුගයේ පෙම්වත් යුවළ ප්‍රේමයේ නාමයෙන් එක් වූහ. ප්‍රමාද ගාස්තු ලෙස වයස අවුරුදු අටක දැරියක් ලැබිණ.
මජ්නූ ලයිලා පෙමින් බැඳේ - සුපෙම්වතුන් දිගු කල් සැරදේ ආකාරයේ සිනමා නිර්මාණයක් අහවර විය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. 👏👏මෙහෙම විචාර ලියවෙන එක හරි වටිනවා,කසීර.මේ වගේ විචාර ඔය වගේ ෆිල්ම් හදන (මෝඩ) උදවියගෙ ඇහැනොගැටෙන, ගැටුනත් ගාණකට නොගන්න එකයි කණගාටුව☹️. සිංහල ෆිල්ම් බලන එක දැන් අතෑරලම දාල තිබුණත්, දේදුණු ආකාසෙනම් බලන්න හිතාගෙන හිටියෙ. බලල වැඩක් නැති පාටයි,නේද? අර ඇඩ් එකේ ෆිල්ම් එක හොඳයි නියමයි 🙃 කියන්නෙ ඇක්සිඩන්ට්වාහිනි කොම්පැනියෙ අය විය යුතුයි අනිවාර්යයෙන්ම. හොඳ ෆිල්ම් එකක් හදන්න සල්ලි කඳු ඕනෙ නැතිබවට හොඳ උදාහරණ සිනමාවෙම (මෙහෙනං අනේ මන්ද) දකින්න තිබුණට මේ මිනිස්සුන්ට ඒක නොතේරෙන්නෙ ඇයි මන්ද.අද ( ආ සොරි ඊයෙ) පෝය හින්ද මහින්දාගමනය ෆිල්ම් එක ටී.වී එකේ යද්දි අහම්බෙන් බැලුණා. ඉතිහාස කතාවලටත් අපහාස කරනවා මේ මිනිස්සු.

    ReplyDelete
  2. සිනමා නෙවේ මොන යම් පිටපතක් වුනත් සාර්ථක පිටපතක් වෙන්න අවශ්‍ය කාරනා වලින් මුල්ම කාරනාව තමය් විශ්වාසනීයත්වය.මේ සිනමාවට අධුනිකයො නෙවේ.ඒ නිසා ඒ ගුණය මේ නිර්මාණවල තිබිය යුතුමය්.ඒත් දකින්න නැත්තෙත් තාත්විකත්වයම තමය්

    ReplyDelete