ප්‍රංශ කලාගාරයක සිතුවමක් වූ අයිරාංගනී හෙවත් චණ්ඩි



"රේඛාව" චිත්‍රපටය ගැන වරක පුවත්පතකට ලිපියක් ලිවීම පිණිස කළ කතා බහකදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය තමා අයිරාංගනී සේරසිංහගේ ආලේඛ්‍ය චිත්‍රයක් 1957 වසරේදී ප්‍රංශයේ කලාගාරයක දුටු බවත් එය සිතුවම් කර තිබුණේ අයිවන් පීරිස් නම් ලාංකීය චිත්‍ර ශිල්පියා බවත් පැවසුවාය. ඒ වන විට ලෙස්ටර් ජේම්ස් පීරිස් කෙනෙක් ගැන හෝ "රේඛාව" චිත්‍රපටය ගැන කිසිවක් නොදැන සිටි සුමිත්‍රා ගුණවර්ධන තරුණිය ඒ චිත්‍රයේ සිටි "අයිරාංගනී මීදෙණිය" ගැන හොඳින් දැන සිටියාය. "අයිරාංගනී ඒ කාලේ ඉංග්ලිෂ් තියටර් එකේ ජනප්‍රිය නිළියක්. එයා රඟපෑව ඇන්ටිගනී එහෙම මම බලලා තිබුණා" සුමිත්‍රා එසේ පැවසුවාය. අද කතාබහ වෙන්වන්නේ ප්‍රංශයේ Muses de la Ville de Paris කලාගාරයේ නිත්‍ය ප්‍රදර්ශන කාණ්ඩය ( Permanent Collection ) ට අයත්ව තිබූ අයිවන් පීරිස් සිත්තරාගේ "Irangani" ලෙස නම් කර තිබූ ආලේඛ්‍ය සිතුවම පිළිබඳවය. එදා විසිතුන් හැවිරිදි තරුණියක වූ අයිරාංගනී මීදෙණිය , අද අනූ හැවිරිදි අයිරාංගනී සේරසිංහ ලෙස හැට හත් වසරකට එහා ඉතිහාසය සින්හමුසුව සහ කල්පනාකාරීව අවදි කරන්නීය.
"රේඛාවට කලින් ඔය චිත්‍රය ඇන්දේ" අයිරාංගනී සේරසිංහ මහත්මිය එසේ පවසන්නීය. ඇගේ මතකය නිවැරදිය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා රේඛාව නිම කළේ 1956 වසරේ දී ය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බාල සොහොයුරා වන අයිවන් පීරිස් මහතා විසින් මේ සිතුවම නිම කර ඇත්තේ 1950 වසරේ දීය. ඔහු 1943 දී ලයනල් වෙන්ඩ්ට් ගේ පුරෝගාමිත්වයෙන් එවක සිටි ප්‍රභූ පන්තියේ චිත්‍ර ශිල්පීන් එක් කර පිහිටුවා ගත් 43’ කණ්ඩායමේ සිටි කැපී පෙනෙන චිත්‍ර ශිල්පියෙකි.
"අයිවන් පීරිස් කියන්නේ ඒ කාලේ මම විවාහ වෙලා හිටිය එස්.බී. දිසානායක මහත්තයගේ හොඳ යාළුවෙක්. අපි ඉතිං නිතරම මුණ ගැහිලා කතා කරනවා. මම , අයිවන් එක්ක මංජු ශ්‍රී" ඇය මතකය අවදි කරන්නට වූවාය. "L T P මංජු ශ්‍රී කියන්නේ 43 කණ්ඩායමේ හිටිය චිත්‍ර අඳින භික්ෂූන් වහන්සේ කෙනෙක්" ඇය පැහැදිලි කර දුන්නාය. අයිරාංගනී මහත්මිය පවසන පරිදි සමකාලීනව චිත්‍ර නිර්මාණ ආදිය කෙරෙහි ප්‍රමාණවත් කතිකාවක් ගොඩ නැගී නොතිබිණ. එවකට චිත්‍ර ප්‍රදර්ශන නරඹන්නට පැමිණ ඇත්තේ ස්වල්ප දෙනෙක් පමණි. නමුත් ලයනල් වෙන්ඩ්ට් මහතා සියලුම කලාකරුවන් හට වඩාත් හොඳ කලාකාමී පසුබිමක් බිහිකරන්නට උත්සාහ කළ බව ඇයගේ මතකයේ රැඳී තිබේ.
රුවන්වැල්ල ප්‍රදේශයේ මූදුගොමුවේ උපන් අයිරාංගනී රොක්ෂානා මීදෙනිය මේ කොළඹ කලා කවයන්හි කේන්ද්‍රීය චරිතයක් වීම පසුපස දීර්ඝ කතාවකි. "මම පොඩි කාලේ කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ටික කාලයක් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම ගියේ සාන්ත බිෂොප් විද්‍යාලයට. මට හොස්ටල් ඉඳලා එපා වෙලා නිසා මම විභාගේ ඉවරවුනාම ගෙදරින් එන්න කිව්වා කියලා හොස්ටල් එකෙන් අස් වෙලා ආවා. එහෙනුත් මගේ කීම පිළි අරගෙන මාව ගෙදර යැව්වා " අයිරාංගනී තම කෙළි විය සිහිකරමින් සිනාසෙන්නීය. "හොස්ටල් ඉන්න බෑ කියලා ආවාට ගෙදර ටික දවසක් ඉන්නකොට කම්මැලියි. මට වැඩිදුර ඉගෙනගන්න ආසා හිතුණා. ඒත් තාත්තා කිව්වා , තව මොනවා ඉගෙන ගන්නද ? දැන් කසාදයක් බන්දලා දෙනවා කියලා" මෙසේ අතීරණයකට මැදිව සිටින අයිරාංගනී හට නැන්දණියගෙන් ලිපියක් ලැබේ. "නැන්දා හිටියේ පේරාදෙණියේ. එයා කියලා තිබ්බා , උඹට මෙහේ ඉඳන් ඕනේ නම් හයි ස්කූල් යන්න පුළුවන් කියලා. වෙලාවට හයි ස්කූල් එකේ වෙකන්සි එකක් තිබුණා" අවසානයේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරන අයිරාංගනී මීදෙණිය නම් විසි හැවිරිදි යුවතිය 1947 වසරේ ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නීය. ඇයට තම සහකරුවා වූ එස්.බී. දිසානායක මහතා මුණ ගැසෙන්නේ එහිදී ය. ඇය කොළඹ සරසවියේ දී මහාචාර්ය ඊ.එෆ්.සී. ලුඩොවයික් ගේ මෙහෙයවීමෙන් පැවැත් වූ ඉංග්‍රීසි නාට්‍ය සංගමයට බැඳී ඇත. "අපි කැම්පස් ඉන්නකොට එක පාරක් යාපනේටත් නාට්‍යයක් ගෙනිච්චා" අයිරාංගනී ව තම නිර්මාණ සඳහා දායක කර ගන්නට හේතුවක් වූයේ ඇය ඉංග්‍රීසි වේදිකාවේ රඟ පෑ ඇන්ටිගනි (Antigone) ආදිය නැරඹීමෙන් පසුව බව ලෙස්ටර් මහතා පැවසූ කරුණකි. සරසවියෙන් පසුව ද ඉංග්‍රීසි වේදිකාවේ රැඳී සිටීම අපහසු නිවිණිදැයි ඇසූ විට අයිරාංගනී එයට හේතු පැහැදිලි කළාය. "ඉංග්ලිෂ් තියටර් එක ප්‍රසිද්ධ වෙලා තිබුණේ කොළඹම තමයි. අපි වතාවක් දෙකක් වගේ නුවරට නාට්‍ය ගෙනිච්චා. ලූෂන් ඩි සොයිසා , සීතා පරාක්‍රම , එතකොට ජීන් පින්ටෝ, ආතර් වැන්ලැන්ගන්බර්ග් වගේ අය අපි එක්ක රඟ පෑවේ" අයිරාංගනී මදකට කතාව නතර කළාය. "ආතර් වැන්ලැන්ගන්බර්ග් කියන්නේ දක්ෂ නළුවෙක්. ඒත් එයා ඊටත් වඩා ලස්සනට ඒ කාලේ ඇඳුම් නිර්මාණය කළා"
චිත්‍ර ශිල්පි අයිවන් පීරිස් මේ චිත්‍රය ඇඳීමෙන් පසුව ඇයට ලැබුණු ප්‍රතිචාර කෙසේ වී දැයි විමසූ විට ලැබුණේ නිහඬ සිනහවකි. අනතුරුව ඇය පැවසුවේ එය එතරම් කතිකාවට හේතුදායක නොවූ බවය. "මේ චිත්‍රය ඇන්දේ අයිවන්ලාගේ දෙහිවල ගෙදර" ඇයට ඒ බව මතකය. මේ චිත්‍රයෙන් පසුව වෙනත් චිත්‍ර ශිල්පීන් තරුණ අයිරාංගනී ව සිතුවමට නගන්නට උත්සාහ නොකළේ දැයි විමසූ විට ඇය බිත්තියෙහි එල්වා ඇති සිතුවමක් පෙන්වූවාය. "ඒක ඇන්දේ හැරී පීරිස්. අයිවන්ගේ චිත්‍රයට පස්සේ තමයි ඒක ඇන්දේ " 43 කණ්ඩායමේ තවත් පතාක යෝධයෙක් ඇඳි අයිරාංගනී කෙනෙක් බිත්තියෙහි ඉහළට වන්නට මුහුණ බිමට බර කරගෙන සිටී. "අයිවන්ට ඊළඟට එංගලන්තෙන් මොකක්ද ලොකු ඇගයීමක් ලැබුණානේ" ඇය මතකය අවදි කරන්නට උත්සාහ ගත්තද එය සාර්ථක වන්නේ නැත "මට හරියටම මතක නෑ. ඒකෙන් පස්සේ තමයි මේ චිත්‍රය ප්‍රංශයේ කලාගාරයකින් අරගන්නේ". මේ කාලය වන විට අයිරාංගනී ද සිය සැමියාගේ විභාගයක් සඳහා එංගලන්තයට පියාසර කරන්නීය. "මම එංගලන්තේ යන බව ආරංචි වෙලා ප්‍රොෆෙසර් ලුඩොවයික් කිව්වා අනිවාර්යෙන්ම රඟපෑම ඉගෙන ගන්න කොලේජ් එකකට යන්න ඕනේ කියලා" රංගනය පිළිබඳ පාසල් යන්නේ කුමකටදැයි සිතමින් තමා Bristol Old Vic Theatre School ඇතුළත් වුණු බව පැවසුවාය. "ඊට පස්සේ තමයි මම දැන ගත්තේ රංගනය කියන්නේ කොච්චර ඉගෙන ගන්න ඕනේ දෙයක් ද කියලා " වසරකින් පසුව ලන්ඩන් බලා පැමිණෙනන ඇය The Central School of Speech Training and Dramatic Art ට ඇතුළත් වී වැඩි දුර අධ්‍යාපනය හදාරන්නීය. ඒ අනුව ආපසු ලංකාවට පැමිණෙන්නේ අසාවට ශේක්ෂ්පියර් නාට්‍ය වල රඟ පෑ , විනෝදයට හිත මිතුරන්ගේ චිත්‍ර වලට පෙනී සිටි අයිරාංගනීට වඩා කලාව පිළිබඳ ක්‍රමික හැදෑරීමක් ඇති අයිරාංගනී කෙනෙකි.
"ලෙස්ටර් එංගලන්තේ ඉඳන් ලංකාවට ඇවිල්ලා 1955 දි එයාගේ කෙටි වාර්තා චිත්‍රපටයකට මාව සම්බන්ධ කර ගත්තා. ඒකේ නම Be safe or be Sorry. මම ගාලු පාරේ ඔස්ටින් කාර් එකක් පැදගෙන යන වයසක කාන්තාවකගේ චරිතයක් රඟ පෑවේ. වාහනේ පාර පුරාම යනවා" ඇය තමාගේ මුල්කාලීන කැමරාව ඉදිරිපස රංගනය විනෝදයෙන් සිහිපත් කළාය. සුමිත්‍රා පීරිස් මහත්මියට ද එම මිනිත්තු 16 ක කෙටි චිත්‍රපටය පාසැල් සිසුවියක ලෙස නැරඹූ හැටි මත යැයි පැවසූ බවද සිහිපත් කළ යුතුය. "ඊට පස්සේ තමයි මට රේඛාව ට අඬ ගැහුවේ. ලෙස්ටර් මහත්තයා කිව්වා මම ෆිල්ම් එකක් කරන්න යනවා කියලා. මම කිව්වා අයියෝ මට බෑ කියලා. මොකද දෙබස් කට පාඩම් කරන්න එපැයි" පවසා ඇය සිනාසුණාය. නමුත් ඇයට එම චරිතය කළ හැකි බව අවධාරණය කරන ආචාර්ය ලෙස්ටර් මහතා අවසානයේ අභියෝගය ජය ගනී. " ලෙස්ටර් මහත්තයාගේ චිත්‍රපටයකින් මගේ කලා ජීවිතය පටන් ගත්ත එක ලොකු වාසනාවක්" යනුවෙන් පැවසූ අයිරාංගනී එකල සිනමා රංගනය පිළිබඳව සමාජයේ තිබුණු මතය කෙසේදැයි පැහැදිලි කරන්නට විය."ඒ කාලේ චිත්‍රපටයක් කිව්වාම ලස්සන ඇඳුම් ඇඳගෙන , කොණ්ඩ මෝස්තර දාලා ... අම්මේ .. තට්ටු ගණන් මේකප් දාලා" ඇය සිනහවෙමින් තම විස්මය පළ කළාය. "ලෙස්ටර් කිව්වේ මේක ස්වභාවිකව කෙරෙන්න ඕනේ. ඇත්ත ජීවිතේ විදියට කතා කරන්න ඕනේ. මේකප් කරන්න බොහොම ටිකයි" කියලා. එදා "රේඛාව" චිත්‍රපටයේ කතිරිනාහාමිගේ චරිතයට පණ පොවමින් 1956 වසරේ හොඳම නිළිය ලෙස දීපශිඛා සම්මානය ද දිනා ගන්නා විට අයිරාංගනී සේරසිංහ යනු වෘත්තියෙන් මාධ්‍යවේදිනියකි. "මම ඒ කාලේ ටයිම්ස් කන්තෝරුවේ වැඩ කරනවා. අපේ එඩිටර් හිටියේ ටෝනි ඩි සූසා. මම හිටියේ විශේෂාංග අංශයේ. අන්තිමටම මම කාන්තා පිටුවේ කර්තෘ හැටියට වැඩ කළා" ඇය රිදී තිරය අබියස තමාට අමතක කරන්න වූ පෑන පිළිබඳව එසේ ආවර්ජනය කළාය.
"මේ චිත්‍රය අඳින දවස් වල අයිවන් ගේ , ලෙස්ටර් ගේ අම්මා තාත්තා එක්ක කතා කරලා හිතවත් වුණා මතකයි. ඒ ඇරෙන්න අයිවන් ගේ සහෝදරියකුත් හිටියා" ඇය කල්පනා කරමින් අතීතයේ බොහෝ දිගු දුරක කිමිදෙන්නීය. "චිත්‍රයකට හිටියා කියලා එහෙම ලොකු දෙයක් විදියට දැනුණේ නෑ. අඩුම ගාණේ ඒක ගැන අපි අපිවත් කතා කළේ නැති තරම්" ඇය මද සිනහවක් පාන්නට වූවාය.
අයිරාංගනී හෙවත් චණ්ඩි ලෙස නම් තබා තිබූ මේ කැන්වසයක් මත ඇඳි තෙල් සායම් සිතුවම ගැන අපට පවසන්නේ ද නිවෙස තුළ ඇතැයි සිතා සිටි සිතුවමේ පිටපත නැති බව අයිරාංගනී සේරසිංහ පැවසූ විට තමා සතු පිටපතක් අප වෙත ලබා දෙන්නේ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මැතිණිය ය. 1950 වසර යනු වසර හැට හතකට පෙර අතීතයකි. අදට අනූ හැවිරිදි මිත්තණියක ව සිටින ඇයට තම විසි තුන් හැවිරිදි වියේ චිත්‍රය පිළිබඳ ආසාවක් නැතිදැයි මා අවසාන වශයෙන් අසා සිටියෙමි. බොහෝ ගැඹුරු සහ නිදහස් සිනහවකින් මා දෙස බලා සිටි ඇය "අනේ මගේ පිංතූර මොකටද මම තියාගෙන .. නේද ? " යනුවෙන් පැවසුවාය. නැවතත් අර ගැබුරු සහ ආදරණීය සිනහපොද මුව විසුරුවගත්තීය. ඒ අයිරාංගනී හෙවත් චණ්ඩී ය.

සංවාදය : සහන් කසීර වික්‍රමසිංහ | ලක්බිම | මංජුසාව |  2017 දෙසැම්බර් 17 

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. ..රොක්ෂානා... ෂුවර් මචං මිද්දෙනිය වළව්ට ටයිම්මෙෂින් එකක් තිබිලා තියනවා

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Roxana

      මහා ඇලෙක්සැන්ඩර්ගේ වයිෆ්

      Delete