ඇයි සරච්චන්ද්‍රට , වික්‍රමසිංහට කවුරුත් ඔය චෝදනාව කරන්නේ නැත්තේ ?


ඉතා නිර්දය අන්දමට නවකතා විචාරය කරන්නේ යයි බොහෝ විට චෝදනා ලබන සමන් වික්‍රමාරච්චි යනු පාඨක විචාරක අවධානයට පාත්‍රවෙන නවකතා කිහිපයක් ලියූ නවකතාකරුවෙකි. පරිවර්තයෙකි. ඔහුගේ අලුත්ම නවකතාව " අප්පච්චි ඇවිත්" පසුගියදා ජනගත කෙරිණ. විචාරකයෙකුට කොයි තරම් දුරට හොඳ නවකතාකරුවෙකු  විය හැකිද යන්න පදනම් කරගනිමින් , ඔහු සමග "ලක්බිම" කළ සම්මුඛ සාකච්ඡාවක් පහත පළ වේ. 


01. ඔබ විචාරකයෙක් ලෙස සමාජගත වීමට ප්‍රථමව ලියූ "අසනි වැසි" සහ "ඊශ්වරීගේ කතා වස්තුව" යන නවකතා වලට වඩා "අසන්ධිමිත්තා" සහ "අප්පච්චි ඇවිත්" නවකතා අවධානයට පාත්‍ර වීමෙන් පෙනී යන්නේ විචාරකයාගේ ආලෝකය නිර්මාණකරුවා මතට එල්ල වන බව ද ? ඒ සමගම ඔබේ විචාරය ඉතා බොහෝවිට චෝදනාව ලැබෙනවා.   

නවකතා ලිව්ව පළමුවෙනි විචාරකයා මම නෙමෙයි. ඇයි සරච්චන්ද්‍රට , වික්‍රමසිංහට කවුරුත් ඔය චෝදනාව කරන්නේ නැත්තේ. වික්‍රමසිංහගේ සමහර විචාර බලනකොට ඉතා නිර්දය විචාර. 'සිංහල නවකතාව හා ජපන් කාමකතා සෙවණැල්ල" කියන්නේ පේරාදෙණිය සාහිත්‍යයට බැටදෙන නිර්දය විචාරයක්. ඒ විතරක් නෙමෙයි. වික්‍රමසිංහගේ නවකතා වලට වඩා විචාර වැඩියි. ඔහු තමන්ගේම නවකතාව ගැන "නවකථාංග හා විරාගය" කියලා විචාර ග්‍රන්ථයක් ලිව්වා. එතනින් එහාට බලනකොට සරච්චන්ද්‍ර , ජී.බී. සේනානායකගේ ඉඳන් එරික් ඉලයප්ආරච්චි දක්වාම නවකතාකරුවන් වගේම විචාරකයින් ද වෙනවා. නමුත් චෝදනාව එන්නේ මට විතරයි. මම මුලින්ම නවකතා ලියනකාලෙත් විචාර ලිව්වා. හැබැයි ඒ නවකතා දිහා බලනකොට ඒවා දුර්වලයි කියන එක මම අදටත් පිළිගන්නවා. වික්‍රමසිංහ ගත්තත් මුල් කාලේ ලියපු "සීතා" සහ "අයිරාංගනී" වගේ කෘති පසුකාලීන ඒවා මට්ටමේ නැහැ. හැබැයි මේ ප්‍රශ්නයේ එක දෙයක් සමඟ මම එකඟ වෙනවා. ඒ තමයි විචාරය මගින් ලේඛකයාගේ දැක්ම පුළුල් වෙනවා සහ තියුණු වෙනවා කියන කාරණේ. කෙනෙක් විචාරයක් ලියනවා කියන්නේ හැදෑරීමක් ඇතුව කරන දෙයක්. එහෙම ලියන කෙනෙක් නවකතාවක් ලියනකොට නවකතා විතරක් ලියන කෙනෙක්ට වඩා විශාල භූමිකාවක් රඟපාන්න පුළුවන්. හැබැයි මගේ මේ කාරණය ගැන වෙනම දෘෂ්ටිවාදීමය මතයක් තියෙනවා. ඒ තමයි , නවකතාවක් ලියනවා කියන්නෙම නවකතාකරුවා තුළ ඔහුගේ නවකතාව පිළිබඳ කියවීම විචාරයක් තියෙනවා කියන එක. මිලාන් කුන්දේරා ඔහුගේ The Art of the Novel කෘතියේ දී කියනවා සෑම යුරෝපීය නවකතාවකම පාහේ බටහිර නවකතාවේ ඉතිහාසය ගැන විචාරයක් තියෙනවා කියලා. ඒකම තමයි මට කියන්න තියෙන්නේ. විචාර කිරීම නවකතාවක් ලියන්න බාධාවක් නෙමෙයි. පිටිවහලක්   .

02. සමන් වික්‍රමාරච්චි නම් විචාරකයාගේ සහ ලේඛකයාගේ සාහිත්‍යයික ජීවිතයට දීප්ති කුමාර ගුණරත්නගෙන් ප්‍රබල බලපෑමක් තිබෙන බවට මම යෝජනා කළොත් ? 

ඔව්. දීප්ති කුමාර ගුණරත්න සහ එක්ස් කණ්ඩායමේ ප්‍රවාද වලින් මට ලොකු බලපෑමක් සිදු වෙනව. ඇත්තටම පටන්ගන්නේ නම් එක්ස් කණ්ඩායම මාව කුඩුපට්ටම් කරලා. මුලින්ම ලක්බිම පුවත්පතේ විචාරයකදී මම එක්ස් කණ්ඩායම ලියපු "හෙජමොනිය" පොත විවේචනය කළා .එතකොට දීප්ති "මාතොට" සඟරාවට "හදාරමුද ? වැනසෙමුද ?" කියලා ඒ ලිපිය ගැන විචාරයක් ලියනවා . ඒ කිව්වේ හදාරන්නේ නැතිව උඩින් පල්ලෙන් අතගාන එක ගැන. ඇත්ත වශයෙන්ම මට ඒ මොහොතේ ඒ යෝජනාව ප්‍රබල ලෙස බලපානවා. මම කවදාවත් එක්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් නෙමෙයි. ඒත් ඔවුන්ගේ ප්‍රවාද , විශේෂයෙන් දීප්තිගේ ප්‍රවාද මට බලපෑවා. ඒ කියන්නේ මම දීප්තිගේ ප්‍රවාද වලට නතු වෙනවා කියන එක නෙමෙයි. ඔවුන්ගෙන් මතුවන මතවාද සහ ඔවුන් හඳුන්වාදෙන දාර්ශනික කියවීම් මම ගැඹුරින් හදාරන්න ගත්තා. රෙනෙ ඩෙකාර්ට්ස් , ඉම්මනුවෙල් කාන්ට් , මාර්ටින් හයිඩෙගර් , ප්‍රෙඩ්රික් හේගල් , කාල් මාර්ක්ස් , සිග්මන් ෆ්‍රොයිඩ් සහ ස්ලෙවොයි ජිජැක් දක්වා මනෝවිශ්ලේෂකයින්ගේ සිට දාර්ශනිකයින් දක්වාම දීප්තිගේ කියවීම් සහ ලිවීම් හැදෑරීමට මම පෙළඹෙනවා. ඒක මට නිසැකවම බලපෑමක් ඇති කරනවා.      

03. නමුත් ඔබ අසූව දසකයේ දී "දෙසතිය" සඟරාවේ විදෙස් පුවත් සංස්කාරකවරයෙක් ලෙස ඉතිහාසයක් ඇති විශ්ව සාහිත්‍ය පරිවර්තකයෙක් ලෙස ද නම දිනූ අයෙක්. එහෙත් දීප්ති කුමාර ගුණරත්නගෙන් ලබාගත් දෙයක් මිස ඔබ විසින් බිහිකළ නව දැනුමක් තියෙනවද ?   

අපි දැනුම ලබා ගන්නේ වෙන කාගෙන් හරි තමයි. සැමවිටම අපිව නිර්මාණය කරන්නේ අනිකා. එහෙම කියලා මම දීප්ති හෝ එක්ස් කණ්ඩායම සංවාදයට ගන්න කරුණු වලින් සෑහීමකට පත් වෙලා ඉන්නේ නැහැ. මම ඒ මුල් කෘතීන් හොයාගෙන කියවනවා. ඒ මුල් කෘතිය හැදෑරීම කියන්නෙත් දැනුමක්. දෙන්නෙක් එකම විදියට ලෝකය දැකීම කියන්නේ අනුකරණයම නෙමෙයි. මමයි දීප්තියි දෙන්නම ඉන්නේ එකම මතවාදයක නිසා අපි එක විදියට ලෝකය දකිනවා. ඒත් දීප්ති නවකතා ලියන්නේ නැහැනේ. මම ලියනවා. දීප්ති කියන්නේ මම දන්න විදියට මුල් කාලීනව කෙටිකතා ලියලා , සිනමාවට සම්බන්ධ වෙලා හිටිය කෙනෙක්. පසුකාලීනව අපි දීප්තිව අඳුනගන්නේ දේශපාලනික මාවතකට පිවිසුණු කෙනෙක් විදියට. එයාලා න්‍යායිකව ගේන දේවල් මම මගේ නිර්මාණ වලට ගේනවා. මගේ "අසන්ධිමිත්තා " සහ "අප්පච්චි ඇවිත්" කියන කතා දෙකටම මගේ ඒ හැදෑරීම බලපෑවා. විශේෂයෙන් "අප්පච්චි ඇවිත්" කෘතිය ලියන්නේ මම ඒ හදාරපු දේවල් ඇසුරෙන්. එහෙම බලනකොට මම කරන්නේ මගේ හැදෑරීම ප්‍රබන්ධගත කරන එක. ඒක නවකතාවක්. න්‍යායික පොතක් නෙමෙයි. ඒක වික්‍රමසිංහටත් වෙනවා. ඔහු විශාල හැදෑරීමක් තියෙන කෙනෙක්. ඔහුගේ ඒ හැදෑරීම කෘති හරහා එළි දැක්වෙනවා. ඒකයි මම කිව්වේ මගේ මුල් කෘති දෙක ගැන.ඒ කාලේ මම වැඩිපුර හදාරලා තිබුණේ නැති නිසා ඒ කාලේ මට නවකතාව ගැන තිබුණ ආකල්පයත් එක්ක මම ඒ පොත් දෙක ලිව්වා. මේ ගැන හොඳම උදාහරණය තමයි ගුණදාස අමරසේකර. අමරසේකර තමන් ලියපු " යළි උපන්නෙමි" සහ "දෙපා නොලද්දෝ" කෘති දෙක පසුකාලීනව ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඒ කෘති හරහා ඒ කාලේ අමරසේකර ලෝකය දිහා බලපු පුළුල් දැක්ම සහ ඔහුගේ මතවාදය පිළිබිඹු වෙනවා. මට නම් අදටත් ඒ කෘති දෙක තමයි අමරසේකරගේ හොඳම නිර්මාණ. 


04. මෑතකාලීන ඉතිහාසයේ "දෙන්නං බැටේ" විචාර කලාවට නිදසුන විදියට ගැනුණේ ඔබ. එහෙම වුණේ ඇයි ? 

ඒක වුණේ මෙහෙමයි. මම ඔය විචාර ලියන වැඩේ පටන් ගත්තේ ලක්බිම පත්තරෙන් නේ. ඒ කාලේ විචාර ගැන තිබුණේ ඇල්මැරුණු අදහසක්. පත්තරවල විචාර යනවද කියන එකවත් කවුරුත් ගණන් ගත්තේ නෑ. ඒ කාලේ කිසිම නරක පොතක් තිබුණේ නෑ. විචාර වල හැටියට ඔක්කොම හොඳ පොත්. එකිනෙකාගේ පිට කසාගන්නා විචාර තමයි තිබුණේ. A කියන පුද්ගලයා B ගේ නවකතාවට ප්‍රශංසා කරනවා. ඊට පස්සේ B කියන පුද්ගලයා A ගේ නවකතාවට ප්‍රශංසා කරනවා. එහෙම වාතාවරණයක තමයි අපි නවකතා විචාරයට ලක් කරන්න ගත්තේ. ඒක "දෙන්නං බැටේ" විචාරයක් නෙමෙයි. මෙහෙමත් කියන්න පුළුවන්.මම අවුරුදු ගාණක්ම ඔය විචාරය ලිව්වා. ඒකේ නැගලා ගියේ විචාරයට දාපු හෙඩිම. සියයට අනූවක් හොඳ කියපු පොතක කියන සියයට දහයක් විවේචන ඇසුරින් තමයි හෙඩිමට යෙදුණේ. ඒ නිසාම ලක්බිමේ විචාරය ඒ කාලේ හරි ජනප්‍රිය වුණා. ඒ ඇරෙන්න මම "දෙන්නං බැටේ" විචාරයක් කියන එක ගැන නම් එකඟ වෙන්නේ නැහැ. එහෙම වුණේ නරුමවාදී විචාර කලාවක් මැද්දේ ලේඛකයින්ව මුරුංගා අත්තේ නොතියා හැබෑ විචාරයක් කරපු නිසා. අපි නරුමවාදය කියන්නේ දන්නවා වුණත් නොදන්නවා වගේ ඉන්න එකනේ.   


05. මනෝවිශ්ලේෂණ වාදය අදාල නොවන තැන්වලදි භාවිතා කිරීම හරහා එය හෑල්ලුවට ලක් වන බව වරක් ලැකාන් ප්‍රකාශ කරනවා. නමුත් ඔබ මුල් කාලීනව මනෝවිශ්ලේෂණවාදී විචාරයක් අවශ්‍ය නොවන ෂානරයන් වල කෘති පවා ඒ මගින් නිර්දය ලෙස විචාරයට ලක් කළා නේද ?

ඒක මම මේ විදියට කියන්නම්.  ෂාක් ලැකාන් ගේ කියැවීම් වැඩි වශයෙන්ම හදාරපු සහ තමන්ගේ මතවාද වලට උපයෝගී කරගත්ත කෙනා තමයි ස්ලොවොයි ජිජැක්. ජිජැක්ගේ පැහැදිලි කිරීම් වලට වැඩියෙන්ම ගොදුරු වෙන්නේ Popular Culture එක. ඒ කිව්වේ ජනප්‍රිය සංස්කෘතිය. ඒ නිසයි  ඔහු හුඟක් දාර්ශනික කරුණු සිනමාව ඇසුරෙන් පැහැදිලි කරන්නේ. ඒ වුණත් ජිජැක්ම කියනවා සිනමාව කියන්නේ Pervert Art එකක් කියලා. විපරීත කලාවක් කියලා. ඉතාමත් සරලමතික දේවල් වල පවා කෙනෙක්ගේ ආත්මීය කාරණා තියෙනවා. ඒ නිසා ඕනෑම සරල , බොළඳ නවකතාවක් වුණත් මනෝවිශ්ලේෂණීය ලෙස කියවන්න පුළුවන්. "ගොළු හදවත" පවා මනෝවිශ්ලේෂණීය විචාරයකට ලක් කරන්න පුළුවන්. මෙහෙම හිතන්න. මනෝවිශ්ලේෂණය කියන්නේ සායනික කාරණා වලට මානසික රෝග පිළිබඳව අධ්‍යයන කරන භාවිතාවක්නේ. ඒකේ අරමුණ රෝගියාව කතා කරවීම . නමුත් ලැකාන් මේ දේ සාහිත්‍ය විචාර කටයුතු වලට ලස්සනට භාවිතා කරනවා. ඔහු එඩ්ගා ඇලන් පෝ ගේ "සොරාගත් ලියුම " කෙටිකතාව ප්‍රබල ලෙස සාකච්ඡාවට බඳුන් කරනවා.  මාරි බොනපාට් කියන සිග්මන් ෆ්‍රොයිඩ් ගේ ශිෂ්‍යාව ඇලන් පෝ ගේ සමස්ත සාහිත්‍යයම සහ ජීවිතයම මනෝවිශ්ලේෂණය හරහා කියවනවා.  එහෙම බලනකොට අපේ චිරන්තන සාහිත්‍යයේ පවා කොච්චර දේවල් තියෙනවද මනෝවිශ්ලේෂණීයව කියවන්න ? ජාතක කතා පවා පුළුවන්. මම " අසනග ජාතකය , නලිනි ජාතකය" වගේ ජාතක කතා කීපයක් ඒ ඇසුරෙන් කියෙව්වා. එහෙම බලනකොට ඕනෑම කෘතියක් ගැඹුරින් සහ ප්‍රබලව කියවන්න මනෝවිශ්ලේෂණය උපකාරී වෙනවා.  

06. 1997 අවුරුද්දේ මහවැලි කේන්ද්‍රයේ දී ඔබගේ "අඳුන් දිවි හිනාව" පරිවර්තන කෘතිය දොරට වැඩීමේ දී දීප්ති කුමාර ගුණරත්න ඇතුළු එක්ස් මතධාරීන් විසින් උත්සවයේ මූලාසනය දැරූ ආචාර්ය තිස්ස අබේසේකරයන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමෙන් උළෙලේ අරමුණ පීලි පැනීමක් සිදු වුණා. එසේ බලන විට විචාරය සහ මතවාදීමය ගැටුම හරහා නිර්මාණකරුවාට අසාධාරණයක් වන්නේ නැද්ද ?

ඒක නම් තිස්ස අබේසේකර සහ දීප්තිගේ කණ්ඩායම අතර ඇති වුණු මතවාදයක්. මට මතක විදියට එතකොට එක්ස් කණ්ඩායමක් පිහිටුවලා තිබුණේ නැහැ. දීප්ති , නිර්මාල් රංජිත් ඇතුළු කණ්ඩායමක් තමයි හිටියේ. අර්ජුන පරාක්‍රම තමයි දේශනය කළේ. දීප්තිලා ප්‍රශ්න කළේ තිස්සව.  එතන වුණේ තිස්ස අබේසේකර ට චැලේන්ජ් කිරිල්ලක්. "ඔයා විතරද දන්නේ" කියන එක වගේ දෙයක් තමයි ප්‍රශ්න කළේ.  ඒක ඒ තරම් දුර දිග ගියේ නැහැ. පස්සේ තිස්සම සභාව අවසන් කළා. මම හිතන්නේ දැන් නම් ඒක කාටවත් මතකත් නැහැ.    


සංවාදය : සහන් කසීර වික්‍රමසිංහ | ලක්බිම | මංජුසාව |  2017 නොවැම්බර් 26






Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment