දෙසැම්බර් 25 : රුමේනියාවේ ජනපති සහ ජනපති ආර්‍යාව වෙඩිතබා ඝාතනය කෙරේ


1989 වසරේ අදවැනි දවසක රුමේනියාවේ ජනපති නිකොලෙයි චෞෂෙස්කු (Nicolae Ceaușescu) සහ ජනපති ආර්‍යාව එලේනා වෙඩි තබා ඝාතනය කරනු ලැබිණ. පැයකට අධික නඩු තීන්දුවකින් පසුව ගත් මෙම තීරණයත් සමගම එරට ඒකාධිපති පාලනය නිම වූ අතර රුමේනියාවේ වසර 42 ක කොමියුනිස්ට් පාලනය සහමුලින්ම උදුරා දැමිණ.
නිකොලෙයි චෞෂෙස්කු යනු වචනයේ පරිසමාප්ත අරුතින්ම ඒකාධිපතියෙකි. කොමියුනිස්ට් රටවල් අතරින් වඩාත්ම මුග්ධ පාලනය ගෙන ගිය පාලකයා වූ ඔහු සෝවියට් භාවිතයන්හි අන්තයට ගොස් තිබිණ. ස්ටාලින්වාදය කරපින්නා ගත් චෞෂෙස්කු ගේ දරදඬු නීතිරීති ඔස්සේ එරට මාධ්‍ය නිදහස සහ භාෂණයේ නිදහස අසීමාන්තිකව මර්දනය කර තිබිණ.ඔහුගේ රජයේ නියෝජ්‍ය අගමැතිනිය වන්නේ ජනපති ආර්‍යාව වන එලේනා චෞෂෙස්කුමය. තරුණ කටයුතු ඇමතිවරයා වන්නේ සල්ලාලයෙක් සහ ශික්ෂණයකින් තොර බාල පුතු නිකූ ය.

එවකට රුමේනියාව යනු Secret Police සංකල්පය වඩාත්ම උපයෝගී කරගත් රටවල් වලින් එකකි. තම දේශපාලනික සතුරන් මැඩපැවැත්වීම පිණිස රහසිගතව ගෙනයන බලකායන්ගෙන් රුමේනියාව මර්දනය වී තිබිණ. තම ඒකාධිපතීත්වය හරහා මිනිසුන්ගේ ජීවිත පාලනය කළ චෞෂෙස්කු රුමේනියාවෙන් බිහි වූ ඉතිහාසගත ජිම්නාස්ටික් සූරිය නඩියා කොමනේච් හට රටින් පිටවීම තහනම් කරන ලදි. ඒ වනවිටත් ඇයගේ පුහුණුකරුවන් වූ බේලා - මාර්තා කාරොල්යී යුවළ අනශ්‍ය ඇඟිලි ගැසීම් සහ ජීවිත අනතුර පිළිබඳ ඉව වැටී ඇමරිකාවට පලා ගොස් තිබිණ. 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ජිම්නාස්ටික් ඉසව්ව සඳහා සම්භාවනීය අමුත්තෙකු ලෙස ලද ආරාධනය ලද නඩියා කොමනේසි එයට සහභාගී වන්නේ රජය විසින් සපයන ශරීරාක්ෂකයින් ද සමගිනි. රජයේ චරපුරුෂයන්ගෙන් මිදී වැසිකිළියට හෝ තනිවම යාමට අවසර නොලැබෙන නඩියා නැවත මව්බිමට පා තැබූ සැණින් උපන්බිමේ සිරකාරියක් වන්නීය. චෞෂෙස්කු විසින් මේ 22 හැවිරිදි යුවතියට රටෙන් පිටවීම තහනම් කළමුත් ඇය 1989 දී විප්ලවයට සති කිහිපයකට පෙර ඇමරිකාවට පළා ගියාය.

1989 දෙසැම්බර් 17 වැනිදා තිමිෂුවාරා හි විප්ලවවාදීන්ගේ විරෝධතාවයකට වෙඩි තබන්නට අණ දුන් චෞෂෙස්කු තම මරණ වරෙන්තුව ලියවා ගන්නේය. සතියක් තුළ කැරැලි ගසන විප්ලවකරුවන් චෞෂෙස්කු යුවළ ජීවග්‍රහයෙන් ගෙන නඩු අසති. මිනිස් සංහාරයට , බලය අවභාවිතයට , මහජන මුදල් අපහරණයට , රටේ ආර්ථික අවපාතයට වැරදිකරුවන් වන ජනපති සහ බිරිඳ වෙඩි තබා මරා දමති.
1989 දෙසැම්බර් 25 වැනිදා හිටපු පාලකයා වෙඩි තබා මරා දැමීමත් සමග රුමේනියාවේ කොමියුනිස්ට් පාලනය අවසන් විය. හරියටම වසර දෙකක් ගත වෙන දින 1991 දෙසැම්බර් 25 දා සෝවියට් සමූහාණ්ඩුවේ ජනපතිව සිටි මිහයිල් ගොර්බචොෆ් (Mikhail Gorbachev) සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නේය.
තිමිෂුවාරා හි විරෝධතාවයට වෙඩිතබන්නට අණ දුන් චෞෂෙස්කු එයට තම ජීවිතයෙන් වන්දි ගෙව්වේය. නිරායුධ විරෝධතා වලට වෙඩි තබා වගකීම පැහැර හැරි සමහර පාලකයින් පසුකාලීනව කටවැරදී එම වෙඩිතැබීමේ වගකීම භාරගන්නා අවස්ථා ද ඉතිහාසයේ ඇත.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment