නොවැම්බර් 24 : කෙනඩි ඝාතනයේ සැකකරු පොලිස් අත්අඩංගුවේදී ඝාතනය වේ

1963 වසරේ අද වැනි දවසක , ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයේ සැකකරු පොලිස් අත් අඩංගුවේ සිටියදීම වෙඩිතබා මරා දමන ලදි. ඒ වනවිට ලී හාවි ඔස්වල්ඩ් නම් වූ එම සැකකරු ඩලාස් පොලිස් මූලස්ථානය වෙත ගෙන එන දර්ශනය රූපවාහිනියේ සජීවව විකාශය වෙමින් තිබිණ. සජීව විකාශය නරඹමින් සිටි ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන් එම දසුනින් තිගැස්මට පත් වෙද්දී නොවිසඳුණු අබිරහසක් අද දක්වාම ඉතිරි විය.

24 හැවිරිදි සේලරුවෙකු වූ ලී හාවි ඔස්වල්ඩ් , ජනපති කෙනඩි ඝාතනයෙන් මිනිත්තු හතළිස් පහක් තුළ දී අත් අඩංගුවට ගෙන තිබිණ. ජනපතිවරයා ඝාතනය කළ පසුව දියත් කළ සෝදිසි මෙහෙයුමේදී තමාව පරීක්ෂා කිරීමට සැරසුණු පොලිස් නිළධාරියෙක් හට වෙඩිතබා මරා දැමූ නිසා ලී හාවි ට එරෙහිව ජනපතිවරයා ඝාතනය කිරීමේ චෝදනාව ද එල්ල විය. නමුත් ඔහු එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය. අනතුරුව දින දෙකකට පසු හාවි ඩලාස් පොලිස් මූලස්ථානය වෙත ගෙන එන්නේ සියලුම ආරක්ෂක රැකවල් ද තර කරමිනි.

එක්වරම ඉදිරියට පනින ජැක් රූබි නම් වූ පුද්ගලයෙකි. ඔහු ගෑවෙන නොගෑවෙන දුරට පැමිණ හාවි හට වෙඩි තබයි. වෙඩි ප්‍රහාරයෙන් මරණාසන්න වන හාවි ඇද වැටෙන විට රූබි අත් අඩංගුවට පත් වන්නේ ජනපති ඝාතන මෙහෙයුම අවුල් ජාලාවක් බවට පත් කරමිනි. අධි ආරක්ෂිත කලාපයක්ව තිබූ ඩලාස් පොලිස් මූලාස්ථානය තුළට ජැක් රූබි වැනි පිටස්තරයෙක් පිවිසුණු ආකාරය පිළිබඳව ඇමරිකානු ආරක්ෂක අංශවලින් අදටත් පැහැදිලි කිරීමක් නැත.


"" මට වීරයෙක් වෙන්නට උවමනා නැහැ. මම මේ දේ කළේ ජැකලීන් කෙනඩි වෙනුවෙන්" වසර දහයක් තිස්සේ ඩලාස් හි සමාජශාලාවක් පවත්වාගෙන ගිය ජැක් රූබි පසුව එසේ පවසයි. ඔහු දිගින් දිගටම පවසා සිටියේ මේ හේතුවම වූ අතර 1964 දී ඔහුට මරණ දණ්ඩනය නියම විය.නමුත් එය ක්‍රියාත්මක වන්නට පෙර , 1967 දී පිළිකාවක් හේතුවෙන් ජැක් රූබි මෙලොවින් සමුගනී.
කෙනඩි ඝාතනය අදටත් අබිරහසකි. ලී ඔස්වල්ඩ් හාවි ඝාතනය ද අදටත් අබිරහසකි. ජැක් රූබී කෙසේ පැවසුවද ඔහුද මේ අබිරහස් දාමයේ එක් වැදගත් පුරුකකි. 
නමුත් ඉතිහාසය තවමත් එතැනම නැවතී ඇත.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: