නොවැම්බර් 22 : ජෝන් එෆ් කෙනඩි ඝාතනය වේ


1963 වසරේ අද වැනි දවසක , ජනපති ජෝන් එෆ් කෙනඩි සාහසික වෙඩි උණ්ඩයකට ගොදුරු වුයේ ඇමරිකානු ඉතිහාසය කණපිට හරවමිනි.
1963 වසරේ නොවැම්බර් මස 22 වැනි දින ටෙක්සාස් නගරයේ ඩලාස් නගරය ජනී ජනයාගෙන් පිරෙමින් පැවතුණු අතර ඔවුන් අපේක්ෂාවෙන් සිටියේ ඇමරිකානු ජනපති කෙනඩි ගේ සහ ඔහුගේ රූමත් ආර්යාව ජැකී ගේ සම්ප්‍රාප්තියයි. ඇල්මැරුණු යුග දිවියක පශ්චාත්තාපය මධ්‍යයේ වුව ද ප්‍රේමණීය ඉරියවු පල කළ ජැකී-කෙනඩි යුවල රැගත් විවෘත ලිමොසින් මෝටර් රථය දෙපස පොදි කන මහා සෙනග අතරින් ඉදිරියට ඇදී ගියේය.
එක්වරම නිකුත් වන වෙඩි හඬක් සමග , තම ගෙල පෙදෙස දෑතින්ම ආවරණය කරන ජනපතිවරයා ආර්යාව දෙසට නැඹුරු වන අතර , ඇයට යමක් සිතන්නට ඉඩ නොතබන අසුරු සැණකින් තවත් වෙඩි හඬක් පිට විය . ඒ ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනෙඩි ගේ දිවියට නැවතීමේ තිත තබන්නට තරම් භයානක වූත් - රූමත් ජැකලීන් වැන්දඹුවක් බවට ඇද දමන්නට තරම් අකාරුණික වුත් මරණයේ වෙඩි උණ්ඩයයි. 
ලේ මස් සමග හිසෙහි පැත්තක් සුනු විසුණු වී යන කෙනඩි අප්‍රාණිකව ඉදිරියට නැමෙද්දී රූමත් ජැකී , ලහි ලහියේ ඉදිරියට ධාවනය වන රථයේ පසුපස බඳ පෙදෙස මත බඩ ගාන ආකාරයක් ද පසුපසින් පැමිණි ප්‍රභූ ආරක්ෂකයා ඇය වලක්වන ආකාරයක් දක්නට ලැබිණි. තම ආරක්ෂාව පිණිස ඇය එසේ කරන්නට ඇතැයි බොහෝ දෙනා සිතුවද , පසුව ඇය ට පවසන්නට තිබූ දේ අසා ඔවුන් කම්පනයට පත් වුහ. ඒ සියුමැලි රූමතිය අනතුර නොතකා රිය බඳ වෙත පිවිසෙන්නේ වෙඩි උණ්ඩය ට බිලි වූ සැමියාගේ ගේ මොළයෙන් විසි වී යන කැබැල්ලක් අසුලා ගැනීමටය.

ඔවුන් ගත කළ යුග දිවිය කෙතරම් අමිහිරි වුවද අනතුර දුටු තැන අවදි වන ජැකී ගේ ගැහැණු සිත කෙනෙඩි වෙනුවෙන් කැප වන්නී,සැමියා මෙලොව හැර යනතෙක්ම වෛද්‍යවරුන් සමග අරගල කරමින් ඔහුගේ සිරුර අත් නොහැර රැදී සිටීමට ධෛර්යසම්පන්න විය.

චෝදනා පිට අත්අඩංගුවට ගත් සැකකරුවා පොලිස් රැකවල් මැද සිටියදී හදිසියේ කඩා වදින තුන්වැනි පාර්ශවයක් විසින් වෙඩි තබා මරා දමන්නේ කෙනෙඩි ඝාතනය අදටත් අබිරහසක් බවට පත් කරමිනි.
ඉනික්බිතිව එළඹුණු දුර්ගාන්ත කාල වකවානුවේදී ජැකලීන් කෙතරම් නම් චිත්ත පීඩාවෙන් පසු වූයේද යත් කිහිප වරක් ම සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ බව පසුව ඇය විසින්ම හෙළිදරවු කරන ලදී. වෙනකක් තබා තම සැමියා ජීවතුන් අතර සිටියදී ඔහු හා හොර රහසේ ඇසුරු කළ ලෝප්‍රකට සරාගිනිය මැරිලින් මොන්රෝ ගේ සිය දිවි නසා ගැනීම පිළිබඳව ද ඇයට ඇගේම අදහසක් තිබිණි. " අඩුම තරමේ මොන්රෝ නම් එහෙම හරි මේ පීඩාවෙන් ගැලවුණා" ජැකලීන් පසුකාලීනව තම සැමියාගේ රහස් ප්‍රේමවන්තිය පිළිබඳව පැවසුවේ එපමණකි. 
....................................................
1963 වසරේ නොවැම්බර් මස 22 වැනි දින ජෝන් එෆ් කෙනඩි මිය යන්නේය. 
ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයට එක් ජනපතිවරයෙක් අහිමි වී යද්දී විශාල, ගැඹුරු හදවතක් ඇති සියුමැලි ළඳකට තම සැමියාගේ දුක්ඛදායක වියෝගය සහ කම්පනය උරුම වන්නේය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment