දෙසැම්බර් 17 : අරාබි වසන්තයට මග පාදමින් ටියුනීසියානු පදික වෙළෙන්දෙක් සිය දිවි නසා ගනී


2010 වසරේ අදවැනි දවසක ටියුනීසියාවේ පදික වෙළෙන්දෙක් වූ මොහොමඩ් බෞසීසි රජයට විරෝධය පාමින් සිය සිරුරට ගිනි තබා ගනී. දින දහ අටක් කාලයක් තිස්සේ මරුවා සමග සටන් වදින බෞසීසි ජීවිත සටනින් පරාජයට පත් වෙද්දී ටියුනීසියානු පාලකයාගේ දුර්දාන්ත සමය උදා විය. ජනපති සීන් එල් අබිදීන් බෙන් අලි මාසයක් ගත වන්නට මත්තෙන් ඉල්ලා අස් විය. අරාබි වසන්තයේ ආරම්භය එලෙස ටියුනීසියාවෙන් සනිටුහන් විය.
සිදි බෞසිද් නුවර වීදියක පළතුරු වෙළෙන්දෙක් වූ මොහොමඩ් බෞසීසිගේ පළතුරු කරත්තය පොලිසිය මගින් රාජසන්තක කිරීම මේ සිද්ධියේ මුලාරම්භයයි. පොලිස් භටයන්ට අල්ලස් ලබා දීමට තරම් මුදලක් අත නොතිබුණු ඔහු ප්‍රසිද්ධියේ පහර කෑමකට ද ලක් වෙයි. තම ජීවන වෘත්තිය අහිමි කිරීමෙන් දැඩි ආවේගයට සහ වේදනාවට පත් වූ තරුණ වෙළෙන්දා පසු දිනයේ රජයට සහ පාලනාධිකාරීන්ට විරෝධය පාමින් වීදි මධ්‍යයේ තම සිරුරට ගිනි තබා ගන්නේය. " මම ජීවත් වෙයි කියලා උඹලා හිතුවේ කොහොමද ? " ගිනි තබා ගන්නට පෙර ඔහු මහ හඬින් කෑ ගැසුවේය. සියයට තිහක් විරැකියාවෙන් පෙලෙන රටක ස්වයං රැකියාවක යෙදෙන තරුණයෙක්ගේ පළතුරු කරත්තයක් රාජ සන්තක කිරීමේ අවසානය එය වේ.


මොහොමඩ් බෞසීසි ගේ සිදුවීමත් සමගම මෙතෙක් අළු යට ගිනි මෙන් පැවති විරෝධතා දළු ලා වැඩෙන්නට විය. ටියුනීසියාව යනු විරැකියාව, උද්ධමනය, දුෂණ සහ වංචා නිසා අගතියට පත් වී තිබූ රටකි. අයහපත් ජීවන පසුබිමකින් යුතු එරට දේශපාලනික නිදහසද සීමා වෙමින් පැවතිණ.ෆේස්බුක් සහ වට්සැප් වැනි සමාජ සන්නිවේදන මාධ්‍ය හරහා සංවිධාන වූ පිරිස් බෞසීසි ගේ ජීවිතය පිළිබඳව රජයට චෝදනා නගමින් වීදි බසින්නට විය. දින දහ අටකට පසු ජනවාරි 04 වැනිදා බෞසීසි මියයාමත් සමග තත්ත්වය උග්‍ර අතට හැරේ. "පිච්චමල් විප්ලවය" ලෙසින් ලෝකයා හඳුන්වන්නට ගත් ටියුනීසියානු කැරැල්ල ජනපතිගේ බලාධිකාරිය ඉක්මවා යන්නට වූයෙන් බෙන් අලි ජනවාරි 14 වැනිදා තම තනතුරෙන් ඉල්ලා අස් වන්නේය. සිය බිරිඳ ද සමග සෞදි අරාබියට පලා යන ජනපතිවරයා " තම පාලන සමයේ වැරදි , අවභාවිතයන් සහ උල්ලංඝනය කිරීම් සිදු වූ බව"ට 2016 නොවැම්බර් මාසයේ තම නීතිඥයා හරහා ප්‍රකාශයක් නිකුත් කළේය. 1987 වසරේදී දී එවකට ටියුනීසියානු අගමැතිවරයා ව සිටි බෙන් අලි හිටපු ජනපතිවරයා පලවා හැර ජනපති ධූරයට පත් දේශපාලනික කුමන්ත්‍රණය හැඳින්වූයේ " පිච්චමල් විප්ලවය " ලෙස ය. දෛවයේ සරදමක් ලෙසින් බෙන් අලි වසර දහ හතරක් ගත වන්නට මත්තෙන් තවත් " පිච්චමල් විප්ලවය" කින් සිහසුන අහිමි කර ගන්නේය. එතැනින් නොනැවතී අරාබි වසන්තය නම් වූ මහා ජන පිබිදීමකට ඉඩ හසර පාදන්නේය.

ජන රැල්ල කලාපය පුරා පැතිර ගියේය. පැරණි පාලකයන්ට විරුද්ධව වීදි බසීන්නට වූ අරාබිකරය, ඊජිප්තු පාලක හොස්නි මුබාරක් ද යේමන පාලක අලි අබ්දුල්ලා සාලේ ද බලයෙන් පහ කරනු ලැබූ අතර ලිබියානු නායක ගඩාෆිව කැරලිකාර හමුදා මගින් මරා දමන ලදි. ඇල්ජීරියාව , ජෝර්දානය , ඕමානය , සූඩානය සහ බහරේනය වැනි රටවල් වල පැවති ඒකාධිපති බලතල යම්දුරකට බිඳ වැටිණ. නමුත් ටියුනීසියාව අදටත් දේශපාලනිකව අස්ථාවර රාජ්‍යයකි. දෙවැනි පෙළකින් වියුක්තව ඒකාධිපතීත්වය වන්දනා කරමින් සිටි රටකට ආපතිකතා සැලැස්මක් නොමැති වීම අනෙක් පසින් පුදුමයකට කරුණක්ද නොවේ.

ලංකාවේ ද ගිනි තබා ගන්නා සහ ගිනි මැද දැවෙමින් ජීවත් වන්නා වූ වැඩ කරන ජනතාව ඕනෑ තරම් ය. නමුත් ඔවුන් ගිනි තබා ගත් පමණින් රජයක් පෙරළන විප්ලව කිසිවක් හට නොගන්නා අතර ඒ මාතෘකාව වෙනුවෙන් යුනිකෝඩ් විප්ලව පමණක් හටගනු ඇත.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment