අම්මා වෙත ;


අම්මා වෙත ;
ලබන සුමානේ අපි යන්න හිටිය විසිට් එක කැන්සල්. අපිට ලොක්කාගෙන් ඕර්ඩර් එක ආවා ඒ රටට යන තීරණේ අත් හිටෙව්වා කියලා. අපරාදේ , වෙනසකටත් එක්ක අලුත් රටකට යන්න හිටියේ.
අම්මට කියන්න , ඒ රටේ අපේ වගේ කම්මැලි ජීවිත නෑ. පැය හත අටක් විතරක් නිදියලා ඉතිරි දවසම කා එක්ක හරි රණ්ඩු වෙවී ඉන්න උද්‍යෝගිමත් ජනතාවක් ඉන්නේ. ඒක හරිම දුප්පත් රටක් වුණත් එයාලා හැම තිස්සෙම මොකක් හරි හේතුවක් කියලා ආඩම්බර වෙනවා. අපි මේ යන්න හිතුවේ ඒ හේතුව හොයාගන්න.
ඒත් අම්මේ. ඒක හරි ගියේ නෑ. ඒ රටේ ආර්ථිකේ අන්තිමයි. පාලකයෝ සිය ගාණක් හිටියට ජනතාව සියවස් ගාණක් තිස්සේ ප්‍රශ්න වලින් මිරිකෙනවා.
බලනකොට මේකට හේතුව එකම එක මනුස්සයෙක් ලු. ඒ මනුස්සයාගේ වැඩේම රටේ ඉන්න මිනිස්සුන්ට කෝල්ස් ගන්න එකලු. මෙච්චර ආර්ථිකේ කඩා වැටිලා තියෙන රටේ වෙළඳ හා ආර්ථිකය ඇමතිට ටෙලිෆෝන් කෝල් 84 යි. ඇමතිගේ නෝනට කෝල් 320 කුයි දුවට කෝල් 18 කුයි අරගෙන. රටේ ආර්ථිකේ දියුණු කරන්නේ කොහොමද මුළු පරම්පරාවටම එක මනුස්සයෙක් ඉඳගෙන කෝල් කරද්දි ? පවුල් නොකැඩී බේරුණ එකම මදැයි ?
ඒ දුප්පත් රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න හිටියේ ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ඇමති විතරයි. අර යකා ඒ මනුස්සයාටත් කෝල් 62 ක් අරගෙන. වෙනදා ඔරුවක නැගලා කෙහෙල් ගෙඩි බෙදලා රටේ බඩගින්න තුරන් කරපු මනුස්සයාට එහෙම බාධා කරන එක හරිද?
පාරවල් වල සරඹ පෙන්නලා , ටී වී එකේ මල්ලවපොර දාලා , වැඩක් නැති වෙලාවට සිංදු කියලා මහජනතාවගේ ප්‍රශ්න අමතක කරපු කරුණාවන්ත ඇමති කෙනෙක්ටත් මේ මනුස්සයා කෝල් කරලා. වැඩේ කියන්නේ අම්මේ ;
ඒ මනුස්සයාගෙන් කෝල් ආවා කියලා කියවෙන සමහර පාලකයෝ තමන්ගේ පාර්ලිමේන්තුවේ හිටි බවත් ජනතාව දැනගත්තේ නම් ප්‍රසිද්ධ වුණාට පස්සෙයි. හැබෑටම ඒ මිනිස්සු කවුද කියලා හොයන්න ගිහිං රටේ වර්ධනය තවත් අඩපණ වෙලාලු.

ඔය තියෙන තත්ත්වේ හැටියට ඒ රටට යන එක බොහොම බයානකයි කියලා අපිට උපදෙස් ආවා. වෙනදා වගේම රොස්වෙල් හරි නෙවාඩා හරි ෆලෝ අප් විසිට් එකක් යන්න කියලා කියයි දැං.
අම්මා හිතන්න ! නිකමට හරි අපි ඔය රටට ගොඩ බැස්සා කියමුකෝ. වැරදිලාවත් ඔය අර්ජුන ඇලෝෂියස් කියන මනුස්සයාට ආරංචි වුණොත් ( ආහ්. කියන්න බැරි වුණා. ඒ එයාගේ නම ) අපිටත් කෝල්ස් ගන්න ගනියි එක සීරුවට. ආයේ ඉතිං ආලෝක වර්ෂ ගාණක් යනකං අපේ ග්‍රහලෝකෙට එන්න වෙන එකක් නෑ. මම හිතන්නේ මෙච්චර කාලෙකට ඔය රටට අපේ අය ගිහිං නැත්තේ මේ වගේ බයානක
මිනිස්සු ඉන්න හින්දා වෙන්න ඕනේ.

එහෙනම් මම දැන් නිදියන්න යනවා. 
මා ඔමෙරි මා - තුමෙරා ලාඩ්ලා
 ( ඒ අර යන්න හිටිය රටේ මිනිස්සු අහන සිංදුවක්. එච්චර හිතන්න එපා)
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment