බේබි ෆාර්ම්


• "මහද TV " රාත්‍රී පුවත් 
නිෂිතා දේවපුර
ප්‍රංශයේ ප්‍රමුඛ පෙළේ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන සැමන්‍තා මෑට්නෙට් නම් තරුණිය ශ්‍රී ලංකාවේ සිටින තමාගේ සැබෑ මව සොයන්නට උදව් ඉල්ලා ට්විටර් වෙබ් අඩවිය වෙත පණිවුඩයක් යොමු කර තිබෙනවා. දැනට 32 හැවිරිදි සමන්තා පවසන්නේ තමන් ශ්‍රී ලංකාවේ හැටන් ප්‍රදේශයේ උපත ලැබූ බවට සාක්ෂි ඇති බවයි. ඒ අනුව 1985 වසරේ ජූලි මස 24 වැනිදා හැටන්හි උපත ලබන ඇයව ලුඩ්මිලා කාර්ල්සන් නම් ස්වීඩන ජාතික කාන්තාවකට හදා වඩා ගන්නට දී තිබෙනවා. වසර දෙකක් ඇතුළත සිදු වූ හදිසි අනතුරකින් ලුඩ්මිලා මියගොස් ඇති අතර සැමන්තාගේ භාරකාරීත්වය ප්‍රංශයේ මෑට්නෙට් යුවළ වෙත පැවරී තිබෙනවා. ට්විටර් වෙබ් අඩවිය වෙත පණිවුඩයක් යොමු කරන සැමන්තා මෙසේ පවසා සිටියා.
"මා ළඟ තියෙන්නේ අම්මගේ මේ ෆොටෝ එක විතරයි. අම්මා මාව ලුඩ්මිලාට හදා ගන්න දුන්න එක ගැන මම තරහ නෑ. කාන්තාවක් විදියට මට අම්ම එදා පත් වුණු තත්‍ත්වය හොඳට තේරුම් ගන්න පුළුවන්. මාව විසි නොකර හදා ගන්න දුන්න එකම කොච්චර උදාර දෙයක්ද ? ඒ දේවල් වෙලා ඉවරයි දැන්. මම ආසයි අම්මගේ මූණ දකින්න. එක වතාවක්වත් මාව මේ ලෝකෙට බිහි කළ අම්මව වැළඳගන්න මම ආසයි. අම්මේ ... මේ පණිවුඩය කොහේ හරි ඉඳන් දකිනවා නම් මට කතා කරන්න. "
සැමන්‍තා අද වන විට ප්‍රංශයේ වැඩිම මිලක් අය කරන නිරූපිකාවන් දස දෙනාගේ ලැයිස්තුවේ රැඳී සිටින අතර ලෝක ප්‍රකට Louis Vitton සන්නාමයේ නිරූපිකාවක ලෙසින්ද ප්‍රසිද්ධයි. ප්‍රංශය කළඹවන අපේ රටේ තරුණියට සහාය වීම මහද TV කණ්ඩායමේ අපේක්ෂාවයි.

• Facebook ස්ටේටසයක්
Dineth Gode Godearachchi

" කොළොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම " කියලා ප්‍රදීපා ධර්මදාස එදා කිව්ව කතාව බූමරංග වගේ කැරකෙනවා. දැං ඉතින් හාමුගේ වහල්ලු වරෙල්ලා ඒකාලේ ලංකාවේ බේබි ෆාර්ම් තිබ්බේ නෑ කියලා.

• "මහද TV " රාත්‍රී පුවත් 
නිෂිතා දේවපුර

පසු ගිය දා ප්‍රංශයේ පළමු පෙළේ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන සැමන්‍තා මෑට්නෙට් තම ලාංකික මව සොයාදෙන්නැයි කළ ඉල්ලීම සම්බන්ධව " මහද TV" පළ කළ
පුවත මල් ඵල දරා තිබෙනවා.

කොටගල ප්‍රදේශයෙන් ලැබුණු නිර්නාමික ඇමතුමකට අනුව මෙම ඡායාරූපයේ සිටින කාන්තාව එවකට හැටන් ප්‍රදේශයේ සේවය කළ රජයේ සේවකයෙකුගේ දියණියක් බවත් අදාල කාන්තාව තවමත් මහනුවර ප්‍රදේශයේ වාසය කරන්නට ඉඩ ඇති බවත් සැල වුණා. කෙසේ නමුත් එම කාන්තාවගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරනු පිණිස අපගේ පුවත් කණ්ඩායම ඇයගේ අනන්‍යතාව හෙළිදරව් නොකරන අතර සොයාගත් සියලුම තොරතුරු සැමන්‍තා මෑට්නෙට් වෙත ලබා දී තිබෙනවා.
මේ අතර "මහද TV" ප්‍රවෘත්ති කණ්ඩායම වෙත තම ස්තුතිය පළ කරමින් සමන්තා මෙසේ ප්‍රතිචාර දක්වා සිටියා.
" මෙතරම් ඉක්මණින් .. මෙතරම් ඉක්මණින් මගේ මව පිළිබඳ තොරතුරක් හොයා ගන්න පුළුවන් වෙයි කියලා මම හීනෙකින් වත් හිතුවේ නෑ. ඒත් ඔයාලා ඒ හීනේ හැබෑ කළා. ලංකාව වගේ දුප්පත් පොඩි රටක මේ වගේ දෙයක් මේ තරම් ඉක්මණින් හොයාගත්ත එකම ප්‍රාතිහර්‍යයක් කියලා මගේ යාළුවෝ කියනවා. අම්මේ ... මම පුළුවන් ඉක්මණට එනවා මගේ ඇත්ත අම්මාව බලන්න. එතකං .. මම ඔයාට ආදරෙයි "

• Whatsapp පණිවුඩයක්
Akka ගෙන් මේධානී ඉලංගසිංහ ට

නංගි. ගෙදර ලෑන්ඩ් ෆෝන් එක ආයෙම වැඩ නෑ වගේ. රින්ස් යනවා විතරයි. වීකෙන්ඩ් එකේ ගියාම ටිකක් ටෙලිකොම් එකට කතාකරලා බලන්න. දැන් කීපාරක් නම් රී ප්ලේස් කළාද ඔය කෙහෙල්මල. තමුසේ මේ පාර සැරට දෙකක් කියනවා. ලංකාවෙන් ආපු එකම හොඳයි කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට

• "තරුලිය "පුවත්පත් සාකච්ඡාවක්
සාධනා දේවනාරායන

නිරූපණ ක්ෂේත්‍රය කියන එක ගැන හැමෝම බලන්නේ වැරදි ඇහැකින්. මොඩ්ලිං කියන්නෙ හරියට ඉගෙන ගන්නවා නම් හුඟක් රෙස්පෙක්ටබල් ප්‍රොෆෙෂන් එකක්. දැන් බලන්න. අර සැමන්තා මෑට්නෙට් පවා අපේ රටේ කෙනෙක්නේ. ලංකාවේ කෙනෙක්ට Louis Vitton වගේ බ්‍රෑන්ඩ් එකක Show Stopper වෙන්න පුළුවන් නම් ඇයි ඔයාලා තමන්ගේ උත්සාහය අත අරින්නේ ? 
අනූ හයේ ලක් රූ රැජණ තරගයේ තුන්වැනියා විදියට මම ලබපු අත්දැකීම් වලින් තමයි මගේ ඇකඩමි එක කරගෙන යන්නේ..


• දුරකතන ඇමතුමක්
මාලිනී ගෙන් මේධනී ඉලංගසිංහ ට

ලොකු නෝනා ආයෙම මුරණ්ඩු වෙලා. දවස් ගාණක් තිස්සේ කාමරෙන් එළියට එන්නේ නෑ. කන්නේ බොන්නෙත් නෑ. දවස තිස්සෙම ෆෝන් එක වදිනවා. මටත් උස්සන්න දෙන්නේ නෑ. අනේ මන්දා .. අහ්හ්.. ළඟදි ආයෙමත් නාට්‍යකාරයො ටිකක් ආවා. කැමරා එහෙම අරගෙන. ලොකු නෝනා ගේ දෙන්න බෑ කියන්න ඇති. බණිනවා ඇහුණා.

• Facebook සමූහයක පෝස්ටුවක් 
Rithu Snehaa විසින් " දැනුම බෙදමු"

මේ ෆොටෝ එකේ අම්මා වඩාගෙන ඉන්න දරුවගේ විශේෂත්වය මොකක්ද ? 
පොඩි ඉඟීයක් - නිව්ස් වලට කිව්වා මේ දවස් ටිකේ.


• පෝස්ට් කාර්ඩ් පතක්
කොඩිකාර යුවළගෙන් සමාරා ඉලංගසිංහ වෙත

Mrs ඉලංගසිංහ ,
ටෙලිෆෝන් එකට ආන්ස්වර් නොකළට කමක් නෑ. අපි හැම දේම දන්නවා. අපේ 
පුතාගේ මඟුල වෙන්නේ නෑ. ඒක දැනුම් දෙන්නයි මේ ලියන්නේ. පිළිතුරු අනවශ්‍යයි


• දුරකතන ඇමතුමක්
මේධානී ඉලංගසිංහගෙන් කාර්‍යාලයට

මගෙ මාමා කෙනෙක් නැති වෙලා මිස්ටර් රාජපක්ෂ. මට දවස් දෙකක් ලීව් ඕනේ . මන්ත් එන්ඩ් රිපෝර්ට්ස් ඔක්කම මම ඉවරයි. ඔයාගේ ඉන් ට්‍රේ එකේ තියලා ඇති

• "මහද TV" රාත්‍රී පුවත් 
නිෂිතා දේවපුර

තිස් දෙහැවිරිදි ප්‍රංශ මෝස්‍තර නිරූපණ ශිල්පිණිය සැමන්‍තා මෑට්නෙට් අද දින මධ්‍යම රාත්‍රියේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වීමට නියමිතයි. තම ලාංකික මව සොයාගැනීමට සහාය වන්නැයි ඇය විසින් පළ කළ ඉල්ලීම " මහද TV " හි ප්‍රචාරය වී දින තුනක් ඇතුළත ඡායාරූපයේ සිටි සැමන්තාගේ මව පිළිබඳ තොරතුරු සොයා ගැනීමට අප වාර්තා කණ්ඩායම් සමත් වුණා. 
කෙසේ නමුත් දැනට හෙළිදරව් වන පරිදි සැමැන්තාගේ මව ට දියණියන් දෙදෙනෙක් සිටින අතර වැඩිමල් දියණිය විදේශගතව අධ්‍යපනයේ යෙදෙනවා. සැමන්‍තා මෑට්නෙට් අප වෙත කළ ඉල්ලීමට අනුව සහ සදාචාරාත්මක හේතූන් මත ඔවුන්ගේ තොරතුරු හෙළි දරව් නොකිරීමට " මහද TV " තීරණය කළා.


• Whatsapp හඬ පණිවුඩයක්
Akka ගෙන් මේධානී ඉලංගසිංහ ට

නංගී. මොකද දැන් ඔයත් ෆෝන් ආන්ස්වර් නොකරන්නේ ? පිස්සු නටන්න එපා හලෝ. මට ඔක්කොම ආරංචියි. මෙහෙට දිගටම කෝල්ස් එනවා. කවටයාමූණේ ලොකු අම්මාත් කෝල් කළා. අප්පච්චි නැති වුණු දවසේ ඉඳන් ඔය එකෙක්වත් අපි ගැන ඇහැක් ඇරලා බලපු අයද? තමුසේ ඕවා ගණන් ගන්න එපා. අම්මගෙ හිත රිදෙන කිසිදෙයක් කියන්නේ එහෙම නෑ.
මම ලංකාවට එන්න ටිකට් දැම්මා. මම එනකං කලබල නොවී ඉන්නව. සංකල්පගේ අම්මලා පෝස්ට් කාර්ඩ් එකක් යැව්වා කියලා එයා මට මැසේජ් කළා. මම එනකං සද්ද නැතුව ඉන්නවා. අම්මට වචනයක් වත් කියන්නත් එපා. අහන්නත් එපා. ස්නායු කේස් එක ආයෙම ආවොත් ?
අරයා ලංකාවට එනවලු නේද ? ගෙදරට ආවොත් හොඳට කතා කරනවා හොඳේ ? මොනවා කරන්නද ? ඒ අපේ අම්මගෙම දරුවෙක් නම් අපිට එයාට වැරැද්දක් කියන්න බෑනේ හලෝ.
මේහ් .. තමුසේ මූඩ් නොගහා මට කෝල් එකක් ගන්නවා. ඕවා ප්‍රශ්න ද හලෝ මේ රටවල් වල වෙන ඒවා එක්ක. මගේ රූම් මේට් ගේ අම්මා ළඟදි අපිව සර්ප්‍රයිස් විසිට් කළා එයාගේ අලුත්ම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක. හ හා .. 
අඩු ගාණේ අපිට බැරියෑ හලෝ අරයගෙන් කැට් වෝක් එක හරි ඉගෙනගන්න. හ හා .. ඔන්න තමුසේ උදේට වැව රවුමේ කැට් වෝක් එකෙන් යන්න ගිහිං ඔෆිස් එකට ලේට් වෙනවා නෙමෙයි . හ හා ..


• දුරකතන ඇමතුමක්
මාලිනී ගෙන් මේධනී ඉලංගසිංහ ට

අනේ චූටි නෝනා !!!

• විවෘත ලිපියක්
සමාරා ඉලංගසිංහ මහත්මිය

ලොකු දුව සහ චූටි දුව වෙත ; 
ඒ ෆොටෝ එකේ ඉන්නේ මම. ඒ වුණාට ඒ මගේ බබෙක් නෙමෙයි. ඔය මම ඒ ලෙවල් කරලා හැටන් වල හිටිය කාලේ. ඒ කාලේ ඔයාලගේ සීයා තාත්තට එහේ පොඩි ක්වාර්ටස් එකක් තිබ්බා. මම මාස 8 ක් එහේ ඉඳගෙන සෙන්ට් ගේබ්‍රියල් කන්වන්ට් එකේ නෙට්බෝල් කෝච් විදියට හිටියා. මම ඔයාලට කියලත් ඇතිනේ. 
ඔය දරුවා වත්තේ ලැයිමක හිටිය තේ කඩන ගෑණු කෙනෙක්ගේ. වේනුජා කියන ඒ මනුස්සයා ඩිලිවරි එකේදි මැරුණා. තව ළමයි තුන් දෙනෙක් හිටියලු. ඩොක්ටර් අර්සෙකුලරත්නම්
තමයි මැදිහත් වෙලා ඒ දරුවාව ඔය රටට හදාගන්න දෙන වැඩ ටික කළේ. ඩොක්ටර් ගේ දුවත් නෙට්බෝල් ප්‍රැක්ටිස් ආපු නිසා ඩොක්ටර් අංකල් අපි දෙන්නවම හවසට කාර් එකේ එක්කගෙන එනවා. මම එදා ඒ වෙලාවේ එතනට යන්නේ ඒ විදියට. අපිත් අලුත් දෙයක් නිසා ආසාවෙන් බලා හිටියා. ලුඩ්මිලා ට බබාල හුරු නැති නිසා පිටත් වෙන්න ළං වුණාම දරුවා පරක් කරලා දුන්නේ මම. අපිව මතක් වෙන්න කියලා ඔය ෆොටෝ එක ගත්තේ එයාගේ මහත්තයා. ලුඩ්මිලා මට අතේ බැඳලා හිටිය රිදී පාට ඔරලෝසුවක් දුන්නා. ඒක මේ ලියුම එක්ක ඇති.

දැන් මේවා අහන්න සීයා තාත්තාත් නෑ. ඩොක්ටර්ත් නෑ. ලුඩ්මිලා ඒ කාලෙම මැරිලාලු. මට මේවාට උත්‍තර බඳින්න බෑ. ඔයාලගේ අප්පච්චි මට අඬ ගහනවා. මගේ දූලා දෙන්නා පරිස්සමෙන් ඉන්න. මං නෑ කියලා දුක් වෙන්න එපා. අපි දෙන්නම එක තැනක ඉඳන් බලා ඉන්නම් ඔයාලා දිහා. මගේ දරුවනේ ! අම්මාව විශ්වාස කරන්න. 
මට හිටියේ දුවලා දෙන්නයි. ඒ ඔයාලා දෙන්නා විතරමයි
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments: